UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ සාහිත කෙත සරු කළ සද්ධර්ම රත්නාවලිය

මෙරට සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වශයෙන් දඹදෙණි යුගය සැළකෙයි. දඹදෙණි යුගය වන විට සිංහලයේ පරිහානි යුගය පසු කොට , සතළිස් වර්ෂයක් පමණ ඉක්ම ගොස් තිබුණි. මහ පැරකුම්බා රජතුමාගෙන් පසුව, එම පරිහානි යුගය එළඹුණි මාඝ,ජයබාහු, වැනි දෙමළ රජවරුන්ගේ පාලන සමයෙහි ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දුන්නේ ඛේදනීය තත්ත්වයකටය. එකල සාහිත්‍යය, සංස්කෘතිය පෝෂණය කරනු තබා, එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට ද සිංහලයනට හැකියාව නොලැබුණි, මෙවන් පරිහානි යුගයකින් පසු, තුන්වැනි විජයබාහු ‘නොහොත් , ‘වත්හිමි’ කුමරු මායා රටෙහි දඹදෙණිය රාජධානිය කැර ගනිමින් රාජ්‍යත්වයට පත් විය. එම රජුගේ පුත්‍ර’කලිකාල සාහිත්‍ය සම්බඤ්ඤු පණ්ඩිත 2 වන පරාක්‍රමබාහු ‘රාජ්‍යත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ යළිත් සෞභාග්‍යමත් යුගයක් උදා විය.

දඹදෙණි සාහිත්‍යය යුගය වශයෙන් සැළකෙන්නේ ‘තුන්වැනි විජයබාහු ‘ , ‘දෙවන පරාක්‍රමබාහු’, හතරවන විජයබාහු’, පළවන බුවනෙකබාහු’, යන රජවරුන් මෙරට පාලනය කළ අවුරුදු පනස් දෙකක් පමණ වන කාලයයි. මෙම රජවරුන් රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කිරීමට උත්සුක වූ අතර, උගත් පඬිවරු , පොත්පත් ලියමින් සාහිත්‍යය පෝෂණය කිරීමෙහි නිරත වූහ.

ඔවුන් බිහි කළ ග්‍රන්ථ අතර, සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහාත්, උගතුන්ගේ ධර්ම ඤාණය දියුණු කිරීම සඳහාත්, පොදු ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය දියුණු කිරීම සඳහාත්, එසේම කතුවරුන්ගේ පාණ්ඩිත්‍යය විදහා දැක්වීම සඳහාත් ලියැවුණු ඒවා දක්නට හැකිය. එම යුගයෙහි බිහි වූ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්තෘවරුන් අතර, විජයසුන්දරාරාමාධිපති සංඝරක්ඛිත හිමි,ආරණ්‍යවාසි මේධංකර හිමි, අනෝමදර්ශි හිමි, පංච මූල පරිවේණාධිපති හිමි, වේදේහ හිමි, දෙවැනි පරාක්‍රමබාහු රජු, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි, චෝලිය බුද්ධප්පිය හිමි, ත්‍රිපිටකධාරි ධර්මසේන හිමි, ගෝතම හිමි යන පඬිවරුන් ප්‍රධාන තැනක් ගත්හ.

ඉහත සඳහන් පඬිවරුන් අතර ත්‍රිපිටකධාරි ධර්මසේන හිමි, මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමි යන දෙනම සැබවින්මැ ශ්‍රේෂ්ඨ ගත් කතුවරුන් වූහ. මෙම යුගයෙහි ඇතැම් දේශපාලකයන් අනුන්ගේ කෘති මුදලට ගෙන, තමන්ගේ නිර්මාණ ලෙසින් එළි දක්වන බව අසන්නට ලැබෙයි. එහෙත් දඹදෙණි යුගයෙහි ලක් රාජ්‍ය විචාල දෙවන පැරකුම්බා රජතුමා ‘විසුද්ධිමාර්ග මහා සන්නය, නිස්සන්දේහ නම් වන විනිස සන්නය. හෙළ සාහිත්‍ය කෙතෙහි අසහාය කාව්‍ය ග්‍රන්ථයක් වන ‘කව්සිළුමිණ ‘ වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කළේය.මේ සියලු කෘතීන් එම රජතුමාගේ ස්වයං නිර්මාණ බව සක්සුදක් සේ පැහැදිළිය. මෙම සියලු පඬිවරුන්ගේ කෘතීන් තුළින් ධර්ම ඤාණය උදෙසාත්, පාලි, සංස්කෘත, සිංහල භාෂාවන් හැදෑරීමේ පහසුව උදෙසාත්, වෛද්‍ය ශාස්ත්‍රය, නක්ශාස්ත්‍රය, වැනි ශාස්ත්‍රයන් හැදෑරීමේ පහසුව උදෙසාත් ලියවුණු ග්‍රන්ථ ඇත. මෙයින් සාමාන්‍ය ජනතාව උදෙසා ලිහිල් බසින් ග්‍රන්ථ රචනා කළෝ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍රහිමි සහ ත්‍රිපිටකධාරි ධර්මසේන හිමි යන දෙනම වූහ. මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍රයන් වහන්සේ වනාහී වේදේහ හිමියන්ගේ පැවිදි සොයුරෙකි. බුද්ධපුත්‍රයන් වහන්සේගේ කෘතීන් අතර ‘පූජාවලිය’ වෛද්‍ය ග්‍රන්ථ දෙකක් වන ‘යෝගාර්ණවය’ සහ ‘ප්‍රයෝගරත්නාවලිය ‘ යන ග්‍රන්ථ ප්‍රධාන වේ.

‘දහම් නමැති රුවන් ඇමුණූ වැල ‘ යන තේරුම ගෙන දෙන ‘සද්ධර්ම රත්නාවලිය ‘ නමැති ග්‍රන්ථය ඉහත සඳහන් ‘ධර්මසේන ‘ හිමියන්ගේ කෘතියකි. එම යුගයෙහි බිහිවූ දහම් පොත් අතර, ප්‍රමාණයෙන් මෙන්මැ සාහිත්‍යමය අගයෙන් ද වඩා වැදගත් වන එකම ග්‍රන්ථය මෙම ‘සද්ධර්ම රත්නාවලිය ‘ බව සිතිය හැක. මෙම ග්‍රන්ථය අවසානයේ කතු හිමියන් පිළිබඳ හැදින්වීමක් කරයි.

සද්ධම්මට්ඨිති මිච්ජන්තො
ධම්මසේන යතීස්සරෝ
අකාසි පවරං ඒතං

සද්ධම්ම රතනාවලිං ‘ සද්ධර්මයෙහි චිර පැවැත්ම අපේක්ෂාවෙන් ධර්මසේන යතීශ්වරයන් විසින් මෙම සද්ධර්ම රතනාවලිය කරන ලද්දේය. යනු එහි අරුත වෙයි.මෙම කෘතිය සඳහා මූලාශ්‍රය වන්නේ ‘පාලි ධම්මපදට්ඨ කථාවයි. එහෙත් ධම්මපදට්ඨ කථාව හැරුණුවිට වෙනත් ග්‍රන්ථ වලින් ද කථා වත්ථු උපුටාගෙන ඇත. ඒ අනුව ‘මිලින්ද ප්‍රශ්නයේ නාගසේන කථාව, දීඝ නිකා අටුවාවේ එන බරණැස් රජුගේ කථාව ද, සූත්‍රනිපාත අටුවාවේ එකන කාෂ්ඨවාහන කථාව, සාතාගිර හේමවත කථා පුවත ද, බුද්ධවංස පාලිය සහ එම අටුවා ආශ්‍රයෙන් ලියන ලද සූවිසි විවරණ කථා සහ බුද්ධ චරිතයද, බුද්ධවංස දේශනා, අනාගතවංස දේශනා පච්චේක බුද්ධ කථා ආදිය ධම්මපදට්ඨ කථාවට අයත් නොවූ, බැහැරින් ගත් කථාවන් බව පෙනෙයි. ධම්මපදට්ඨ කථාවෙන් ගත් දෙසිය අනූ නවයක් කථා වස්තූන් ඇතුළත් කැර, සද්ධර්ම රත්නාවලිය නිර්මාණය කැර ඇත.

සද්ධර්ම රත්නාවලියෙහි එන භාෂා විලාශය නිසා උගත්, නූගත් කාටත් එකසේ තේරුම් ගැනීමට හැක. එකල ව්‍යවහාර සිංහල භාෂා විලාශයට අනුවැ ලියන ලද මෙහි විවිධ රසයෙන් රසවත් වූ, හාස්‍ය රසයෙන් පිරි, කථා වස්තූන් නිසා සැදැහැ ඇත්තන් මෙන්මැ, සැදැහැ නැත්තන් ද කියැවීමට එකසේ රුචියක් දක්වති. එසේම බෞද්ධ සහ බෞද්ධ නොවු අයගේද අවධානයට ලක් වු ග්‍රන්ථයකි.

බුදු දහම පිළිබඳ අවබෝධයක් නැති අයට ද මෙය කියැවීමෙන් මනා දහම් අවබෝධයක් ලබා ගත හැකිය. එසේම ජන සමාජය පිළිබඳ ගවේෂණය කරන විද්වතුන්ට දඹදෙණි යුගයේ සමාජ, සංස්කෘතික තත්ත්වය ගැන හොඳ අවබෝධයක් මෙම ග්‍රන්ථය ඇසුරෙන් ලබා ගත හැකිය. දඹදිව ජන සමාජය ඇසුරෙන් ලියැවුන මෙහි එන කථා වස්තූන් ධර්මසේන හිමියන් විසින් දඹදෙණි යුගයට අනුගත වන අයුරින් නිර්මාණය කැර ඇත. එම නිසාම මෙම ග්‍රන්ථය පරිශීලනය කරන විට හැඟී යන්නේ මෙහි එන කථා පුවත් ගොඩනැගී ඇත්තේ සිංහල ජන සමාජය තුළින් බවය.

ධර්මසේන හිමියන් තරම් උපමා උපමේය යෙදීමේ දක්ෂයකු එදා මෙදාතුර සිංහල සාහිත්‍ය වංස කථාවේ බිහිවී නැති බව පැහැදිළිය. ශ්‍රාවකයාගේත්, පාඨකයාගේත් රුචිකත්වය වැඩි වන සේ, අර්ථ රසයට හානියක් නොවන අයුරින් එම උපමාවන් යොදාඇති අයුරු විශ්මිතය. එසේම ඉතා සුළු කරුණක් වුවද අනුප්‍රාස යොදමින් දීර්ඝවැ විස්තර කිරීමේ හැකියාව ද උන් වහන්සේට ඇත. විශේෂයෙන් බුදු දහමේ ඉගැන්වෙන ගැඹුරු දහම් කරුණු තමන් අවට ජන සමාජයේ නිතර භාවිතා වන, කවුරුත් දන්නා සරල උපමාවන් මගින් ගෙනහැර දක්වමින් අවබෝධ කැරවීමට උන් වහන්සේ තුළ තිබූ හැකියාව අනෙකුත් පඬිවරුන් කෙරෙහි විද්‍යාමාන නොවුණි. මෙම උපමා මගින් දඹදෙණි , යුගයේ සමාජ තත්ත්වය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.

එදා ජන සමාජයේද ව්‍යාජ වෙදුන් සිිටිය බව ‘පය බරවායට පිටි කර බෙහෙත් බඳිනාසේ ‘ (මට්ටකුණ්ඩලී වස්තුව) වැනි උපමා යෙදීමෙන් පැහැදිළි වේ. එසේම කළ යුතු කරුණ පසෙකලා, වෙනත් කාර්යයන් කරන පුද්ගලයන් ගැන ද මෙමගින් සිහිපත් කරයි. ‘යන්නෙ කොහේද, මල්ලෙ පොල් ‘ වැනි ප්‍රස්ථා පිරුළු මේවා ට සමාන වේ. ‘බඩු මිළ ඇත්තවුන් බොහෝ වස්තුව හැර ගන්නා සේ ‘ (නාගසේන වස්තුව) මෙවැනි උපමා මගින් පෙන්වන්නේ මුදල් හදල් යහමින් තිබෙන ඇත්තන් එදත් බහුභාණ්ඩිකයන් වූ බවයි.

ගොවිතැන් කිරීමෙහි ක්‍රමවේදයන් තිබුණි, යල, මහ වශයෙන් කන්න දෙකක් තිබූ අතර, එම කන්න වලට නියමිත කාලයේ දී ගොවිතැන් කටයුතු කළ යුතුය. එසේ නොවුන හොත් නිසි පරිදි අස්වැන්න ලබා ගත නොහැකිය. එබැවින් නිසි කලට ගොවිතැන් කළ යුතු බව, ගොයම් කලමනා වක තබා පියා කල් පසු කොට කරන ගොයමක් සේ ‘ (නාගසේන වස්තුව) වැනි උපමා වලින් පැහැදිළි වේ. ගොවිතැන් කැර, එම අස්වැන්න අටු කොටුවල තබා ආරක්ෂා කර ගන්නේ මතු ප්‍රයෝජනය සඳහාමය. කෘෂිආර්ථික රටාවක් තුළ සිංහල ජන සමාජයේ එලෙස කටයුතු කිරීම චාරිත්‍රයකි. අටුකොටු හිස් කැර ගැනීම පරිහානියට පත්වීමේ ලක්ෂණයකි. ‘අටුවක කොටුවක ලාලු දෙයක් කා නිමි කලට ඒ අටුකොටුවේ තිබෙන දෙය එතෙක්ම වන්නා සේ ‘ (නාගසේන වස්තුව) වැනි උපමාවන්ගෙන් ඒ බව පැහැදිළි වේ.

අප ඉගෙන ගන්නා යමක් වේද , ඒවා සිතෙහි ධාරණය කැර ගත යුතුය. නොඑසේ නම් එයින් පලක් නැත. ඒ බව සරළ උපමාවකින් ධර්මසේන හිමියෝ පැහැදිළි කරති. ‘සිදුරු ඇති කළයක වත් කළ පැන් නොරඳන කලක් මෙන්’ (ථුල්ලතිස්ස වස්තුව) වැනි උපමාවන්ගෙන් ඒ බව පැහැදිළි වේ. වරදක් කළොත් එහි පල විපාක එම වරද කළ පුද්ගලයා කෙරෙහිමැ පැමිණෙයි. “උඩු සුළඟ සිට දැමූ රඩු දැමූවන් කරාම යන්නා සේ (ථුල්ලතිස්ස වස්තුව)මෙවන් උපමා මගින් උත්සාහ කැර ඇත්තේ නූගත් ජනතාවට පහසුවෙන් ධර්මය අවබෝධ කැර දීමයි.

උපමා දහස් ගණනක් සද්ධර්ම රත්නාවලියෙහි අන්තර්ගතවැ ඇත. ‘නුවණ මදවන් කුශලච්ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ පින්කම හැසිර නිවන් සාධා ගනිත් නම්, එසේ වූ සත් පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. යනුවෙන් උන් වහන්සේගේ අභිප්‍රාය දක්වා ඇති පරිදි, එම කාර්යය මැනවින් ඉෂ්ඨ සිද්ධ වී ඇති බව පෙනෙයි. එබැවින් ධර්මසේන හිමියන්ම සඳහන් කැරෙන පරිදි, ‘ප්‍රයෝජනය පමණක් සිතා නුවණ නමැති ඇස්හි මෝහ නැමති පටලය වැසී,අකුසල් මග වලට වැද, නිවන් පුරයට ගොසින් තුබූ කුසල් මහවත නොදක්නවුන් සද්ධර්ම රතනාවලිය නමැති බෙහෙතින් මෝහ නමැති පටලට නැති කොට නුවණැස අඳුරු හැර කුසල් මඟවතට නිවන් පුරයට සුවයෙන් යා යුතුයි.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]