UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහමෙහි අගය

 

 

විවිධ විසමතා වලින් නූතන සමාජය සංකීර්ණව ධර්මයේ අවශතාව තව තව ද වැඩි වෙමින් පවතින බව නොරහසකි. ධර්මයෙන් තොරවෙත්ම ජීවිතයේ, හා ලෝකයේ ඇති නිස්සාරත්වය, අස්ථිර බව, වෙනස්වන සුළු බව ආදිය නොවැටහෙයි. සම යථාත්ථිවබෝධය නැති වීම නිසා, කුඩා කුඩා ගැටලු වලට ද ඔරොත්තු නොදෙන බවක් ඇති වෙයි. දුර්වල මනසක් ඇති වෙයි. දිනෙන් දින ඇති වන විවිධ අභියෝගවලට ශක්තිමත් මනසකින් මුහුණ දීමට හැකි වන්නේ ද ධර්මයෙන් පදම් වූ මනසක් ඇති විටෙකයි.

“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

“සොතානුධතානං භික්‍ඛවෙ ධම්මානං වචසා පරිචිතානං මනසානුපේක්ඛිතානං දිට්ඨියා සුප්පටිවිද්ධානං චත්තාරො ආනිසංසා පාටිකංඛාති...”

පින්වත්නි,

ධර්මය ඇසීම, ඉගෙනීම, දැරීම හා එය වනපොත් කොට අනුන්ට හැදෑරවීම යන කරුණු සද්ධර්මයාගේ චිර පැවැත්ම පිණිස හේතුවන බවත් එසේ නොකිරීම සද්ධර්මයේ පරිහානියට හේතුවන බවත් මහාකාරුණික බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ සද්ධම්ම සම්මෝස සූත්‍රයේ දී දේශනා කළහ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ සිව්වනක් පිරිස වන භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා යන හැම දෙනා විසින්ම බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය මැනවින් ඉගෙන ගත යුතු ය. ඉගෙන ගත් ධර්මය මැනවින් වාචොද්ගත කළ යුතු ය. එසේම එම ධර්මය සජ්ක්‍ධායනා, කිරීම ද කළ යුතු ය. එපරිද්දෙන්ම අන්‍යයන්ට එම ශ්‍රී සද්ධර්මය ඉගැන්වීමද කළ යුතු ය.

ශ්‍රී සද්ධර්මය යනු බුද්ධ වචනයයි. බුද්ධවචනය නිවැරැදි ලෙස දැන ගැනීමට නම් ත්‍රිපිටක ධර්මයම හැදෑරිය යුතු යි. එයට හේතුව වන්නේ ශ්‍රී මුඛ පාඨය සුරක්‍ෂිත ලෙස තැන්පත්ව ඇති ඉපැරැණි ග්‍රන්ථ සමූහය ත්‍රිපිටකය වීමයි. ථෙරවාද ත්‍රිපිටක ධර්මයට හිමිකම් කියන ශ්‍රී ලාංකික අප මහා භාග්‍යවන්තයෝ වෙමු. එබැවින් ම ඒ භාග්‍යයට උරුමකම් කියන අප හැම දෙනාම සෙසු විෂයන්ට අතිරේකව ප්‍රමුඛත්වයෙහිලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත යුතු ය. ඕනෑම විෂයයක් හදාරන්නෙකුට වූවද බුද්ධ වචනයෙන් හෙවත් ත්‍රිපිටකයෙන් ලැබෙන පිටුවහල අති මහත් ය.

‘සීලෙන අනුපෙකස්ස සුතේනෙත්‍ථා න විජ්ජති’ යනුවෙන් දේශනාවෙහි සඳහන් වන්නේ ද එයයි. හික්මීමෙන් තොර උගත්කම නිරත්ථිකි වූවකි. හික්මීම පුද්ගලයෙකුට ලැබෙන්නේ ධර්මයෙනි. ධර්මයෙන් තොර වූ උගත්කම තමාට මෙන්ම අන්‍යයන්ට ද හානි කර වූවකි.

සංවේදී බව නූතන සමාජයෙන් ඇතැම් විට තොර වීම ඇත්තේ ද ධර්මයෙන් ලද පහස අඩු වී ඇති හෙයිනි. සමාජයේ පැවැත්මට සංවේදී බව ඉතාම අවශ්‍ය වූවකි. සාක්‍ෂරතාවෙන් ජන සමාජය ඉහළ ගියද, තොරතුරු තාක්‍ෂණයෙන්ද සම්පූර්ණ වුවද, ගොඩනැඟිලි හා වෙනත් ශිල්පීය තාක්‍ෂණයෙන් පරිපූර්ණ වූවද මිනිස් මනසේ ගුණ ධර්ම පිරිහීමක් දක්නට ලැබෙන්නේ එහෙයිනි.

කුඩා කල සිට ධර්මයෙහි පිහිටා ධර්මය හදාරා ගත සිත දෙක ගුණ, නැණ දෙකෙන් සමබර කරගත් අනුපාතයට ගුණවත්, සිල්වත්, පින්වත් පුද්ගලයෙක් නිර්මාණය වෙයි. දෙමාපියන්ගේ වගකීමද එය බව පාපා නිවාරෙන්ති, ‘කළාණෙ නිවෙසෙන්තී’ යන සිඟාලෝවාද සූත්‍රා ගත දේශනා පාඨ වලින් පෙනේ. මෙ කරුණු කෙතෙක් දුරට ඉටුවේදැයි තම තමා විසින්ම පරීක්‍ෂා කොට බැලිය යුතු යි.

එබැවින් සමාජගත අප හැම දෙනාටම ධර්මය තුළින් යහපත් සමාජයක් ගොඩ නැඟීමේ වගකීම පැවරී ඇත.

ධර්මයෙන් තොර වූ විට පිරිහීම ඇති වන බව ‘අස්සවණ්තා ධම්මස්ස පරිහායන්ති’ යන දේශනා පාඨයෙන් ද පෙනේ. “ධම්මකාමො භවං හෝති ධම්ම දෙස්සී පරාභවො” යන පරාභව සූත්‍ර පාඨයෙන් ඉගැන්වෙන්නේ ද ධර්මයට කැමැති තැනැත්තා පුරපස සඳමෙන් දියුණු වන බවත්. ධර්මයට ද්වේශ කරන තැනැත්තා පිරිහෙන බවත් ය. විවිධ විසමතා වලින් නූතන සමාජය සංකීර්ණව ධර්මයේ අවශතාව තව තව ද වැඩි වෙමින් පවතින බව නොරහසකි. ධර්මයෙන් තොරවෙත්ම ජීවිතයේ, හා ලෝකයේ ඇති නිස්සාරත්වය, අස්ථිර බව, වෙනස්වන සුළු බව ආදිය නොවැටහෙයි. සම යථාත්ථිවබෝධය නැති වීම නිසා, කුඩා කුඩා ගැටලු වලට ද ඔරොත්තු නොදෙන බවක් ඇති වෙයි. දුර්වල මනසක් ඇතිවෙයි. දිනෙන් දින ඇතිවන විවිධ අභියෝගවලට ශක්තිමත් මනසකින් මුහුණ දීමට හැකි වන්නේ ද ධර්මයෙන් පදම් වූ මනසක් ඇති විටෙකයි.

ඒ බව අංගුත්තර නිකායේ එන නන්දධාතු සූත්‍රයෙන් පැහැදිලි වෙයි. තම එකම පුතු බලෙන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමූ විටත්, තම සැමියා අඩු වයසින් ද මැරී යක්‍ෂයෙක්ව ඉපිද පෙර සැමියා මෙන්ද දිනපතා සිහිනෙන් පෙනී සිටියද වෙළුකණ්ඨකී නන්ද මාතාවගේ හිත, දාරක ප්‍රේමයෙන්ද හෝ ස්වාමියා පිළිබඳ කාම සංඥාවකින් හද කම්පනය නොවූයේ ද ධර්මානුකූල පැවැත්මකට තම මනස හුරු කරගත් බැවිනි. එය වෙළුකණ්ඨකි නන්ද මාතාවගේ ආශ්චර්යමත් හා අද්භූත කාරණාවක් ලෙස ද ධර්මයේ සඳහන්ව ඇත.

නූතන සමාජයේ ජීවත්වන අපට ද නන්දමාතාවගෙන් ද ලද හැකි ආදර්ශය අති විශාල බව පෙනේ. මෙසේ ධර්මයෙන් ලැබිය යුතු ඔරොත්තු දෙන මනසක් නැති නිසාම සමාජයේ බොහෝ දෙනෙක් සුළු සුළු ප්‍රශ්නවලට පවා සිය දිවි හානි කර ගනිති. පවුල් අවුල් ඇතිකර ගනිති. එබැවින් ද වාසයට සුදුසු සාමකාමී පරිසරයක් ගොඩ නැගෙන්නේ ද ධර්මයෙන් ගොඩ නඟාගත් මනසක් ඇතිතාක් පමණි.

එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, ධර්මය මැනවින් ඉගෙන ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු බවයි. බෞද්ධ අධ්‍යාපනයේ මූලධර්මයක් ලෙස සැලකිය හැකි විවිධ ක්‍රමයක් ද ධර්මය ඉගෙනීම සඳහා භාවිතා කළ බව ඉහත කී මාතෘකාවෙන් පැහැදිලි වෙයි.

සුත – මැනවින් ඇසීම

ධත – ඇසූ ධර්මය මැනවින් සිත්හි තබා ගැනීම.

වචසා පරිචිත අසා සිත්හි තබාගත් ධර්මය මැනවින් උච්චාරණය කිරීම, හෙවත් සජ්ඣායනා කිරීම.

මනසානු පෙක්ඛිත – එම සද්ධර්මය තවදුරටත් මනසින් දැකීම.

දිට්ඨියා සුප්පටිවිද්ධ – මනසින් ද දුටු එම ධර්මය තමාගේම දෙයක් බවට (ස්වායක්ත) පත් කර ගැනීම.

යනු ඒ කරුණු පහයි. පෙර අපේ බෞද්ධ අධ්‍යාපන ක්‍රමය ඉහත කී ක්‍රමයට එසේම තිබුණි. සංවේදී බවක් ඇති වීමට ඇති ඉඩ ප්‍රස්තා අඩුවන බවක් ම පෙනේ. අප ජීවත්වන ලෝකය හා පරිසරය අපටම එරෙහිව නැඟී සිටින්නේ ද ධර්මයෙන් ඈත් වීම නිසාම බව පෙනේ.

එබැවින් ද 2011 වසරේදී එළඹෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යන තේමා යටතේ ද ක්‍රියාත්මක වන ජාතික වැඩ පිළිවෙළ සක්‍රීය කොට තව දුරටත් ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙළකට අවතීර්ණ වීද ගුණවත් සිල්වත් පින්වත් සමාජයක් ගොඩ නැඟීමට දායක වෙමු.

තිසරණ සරණයි

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]