Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාධු සමාජ පාසල් බෞද්ධ පුනරාලෝකය

විවිධ ජනමාධ්‍ය ඔස්සේ විෂම සංස්කෘතීන් සමාජගතවීමෙන් අපේ අනාගත පරපුර දිනෙන් දින බිලිගනිමින් පවතින වත්මන් යුගයේ බොදු ප්‍රතිපදාව සුරකින, හෙළ බොදු සිරිත් විරිත්වලට මුල් තැන ලබාදෙන බෝසත් පරපුරක් තනනු වස් අප සැම දෙනා ජාතික යුතුමක් හා වගකීමක් ඉටුකිරීමට එකමුතු විය යුතු කාලය දැන් උදා වී ඇත. මේ ගෙවෙන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අතිපාරිශුද්ධත්වයට පත් අපේ ධර්මද්වීපය ලොව හමුවේ තියුණු අභියෝග රැසකට එකවර මුහුණදී සිටින කාලයකි. අපේ මාතෘභූමියේ අතිජාත දූපුතුන්ගේ පිහිට හා රැකවරණය ලක්මාතාව අයැද සිටින මොහොතක් ලෙස හැඳින්වීමේ ද කිසිදු වරදක් නොමැත. දේශයට, ආගමට ලැදි අපේකම හඳුනන ලක් දූ පුතුන්ට අද දවසේ මාතෘභූමියේ තිගැස්ම මැනවින් පෙනෙනු ඇතැයි සිතමු.

ජාතියේ හා ආගමේ ඉරණම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් පැවරී ඇති වකවානුවකයි අද අප සැම ජීවත්වී සිටින්නේ. මිල මුදල් මත පමණක් ලොව දකින්නන් නිදිගැට හැරපියා අවදිකළ යුතු කාලය එළඹ ඇත. දෙදහස් පන්සියවසරක් තිස්සේ අතිපූජනීය මහා සංඝරත්නය හා ශ්‍රද්ධා සම්පන්න අපේ මුතුන් මිත්තන් අප්‍රමාණ ධෛර්යෙන් හා කැපකිරීම් මත රැකගෙන ආ නිර්මල අති උත්තම බුදුදහමෙන් අපේ බොදු ජනතාවත් විශේෂයෙන්ම අනාගත පරපුරක් ඈත්වෙමින් වැරැදි මගක යන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් යන මේ වැරදි ගමන් මගේ බිහිසුණු බව වඩාත් හොඳින් අපට දැනෙනුයේ අදට වඩා මතු දිනෙක බව කණගාටුවෙන් වුවද කිවයුතු වේ. ඒ කාලයේ දී පිරිහී අගාධයට වැටී තිබෙන අපේ සමාජය කිසිවෙකුට යළි ගොඩගත නොහැකිවනසේ අන්තයටම පිරිහී තිබෙනු ඇත. කඳුළු සලසලා හඬා වැටෙනු විනා වෙන කිසිවක් කරන්නට අපට එදා ඉතිරි නොවෙනු ඇත.

සැබවින්ම මේ උතුම් මාතෘභූමියේ හෙට දවස, වඩාත් දැහැමි හා සුන්දර එකක් බවට පත්කිරීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ අපේ මාතෘ භූමියට ඉහළ අව්‍යාජ ආදරයක් ඇති දූ පුතුන් වන ඔබේ ක්‍රියාකාරීත්වය හා කැපවීම මත බව සිතන්න. ඒ සඳහා අපේ අනාගත පරපුර, උතුම් බොදු ප්‍රතිපදාමඟට ගැනීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙමින් පවතී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාණන්ගේ ආශිර්වාදයෙන් මේ වන විටත් ඉහත සඳහන් කළ උතුම් අරමුණු, පරමාර්ථ සපල කිරීමට ‘සාධුසමාජ’ නමින් පාසල් මට්ටමින් බෞද්ධ පුනරාලෝකන වැඩපිළිවෙළක් දියත් කොට ඇත.


ගාල්ල

දිස්ත්‍රික්

සභාපති

රන්සර කුලතිලක


කැඳවුම්කරු

සජින්ත කලංසූරිය

ගා /මහින්ද විද්‍යාලය


සම්බන්ධීකරණ නිලධාරී

සුජිත් ද

කොස්තා

ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බද්දේගම දේවරක්ඛිත, ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී බෙලිගල්ලේ ජිනවංස, දකුණු පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති හබරකඩ සෝරත, ශාස්ත්‍රපති බේරතුඩුවේ ඤාණවිසුද්ධි, ශාස්ත්‍රවේදී හීනටිගල පියනන්ද යන නායක ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීම මත පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින මෙම සාධු සමාජ පාසල් වැඩපිළිවෙළ ආරම්භ විය. 2011 වසරේ දී යෙදෙන 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ දී මෙම වැඩපිළිවෙළ මුළු දිවයින පුරා සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට අෂේක්‍ෂිතයි.

බුදුදහම යනු ලෝවැසියන්ට සදාකල්හිම සුවයක්, සැනසීමක් ලබාදෙන සත්‍යවාදී දහමකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව මේ නිර්මල උතුම් දහම සිය ජීවිතවලට බද්ධ කරගෙන එතුළින් සසර ජයගත්තෝ එමට ය.

මනුෂ්‍යයෙකු වශයෙන් අපල ද සුවිශේෂතම අංගය වන්නේ බුද්ධියක් සහිතව යමක් සිතිය හැකිවීමයි. අපගේ බුද්ධිය පිළිබඳව නිවැරැදි තක්සේරුව ලැබෙන්නේ හරවත් දේ හරවත් ලෙස ග්‍රහණය කර ගැනීමත් නිසරු දේ නිසරු ලෙස තේරුම් ගෙන බැහැර කිරීමත් තුළිනුයි. මේ කුසලතාව යමෙක් තුළ තිබේ නම් එය උද්දීපනය වන්නේ හරවත් දේ මුණ ගැසුනුවිට පමණයි. එතෙක් ඔහුට හරවත් දේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැත. එබැවින් නිරු දේ සරු දේ ලෙස සිතමින් ඒ පසුපස දිවයන්නටත් ඉඩ තිබෙනවා. මේ ව්‍යසනයට වත්මන් සමාජයේ බහුතරයක් ගොදුරු වී තිබෙන බව පෙනෙනවා. නමුත් සැබෑ හරවත් දේ පිළිබඳව යමෙක් ගවේෂණය කරනවා නම් නිවැරැදි ලෙසටම සජීවීව නිර්මල උතුම් බුදුදහම ඔවුනට හමුවන බව කිවයුතු වේ. මේ උතුම් දහම අදත් ජීවමානව එහි යෙදෙන්නන්ට පිළිසරණ වී ඇත. බුදුදහම බුද්ධිමතුන්ගේ භාෂාවක්, බුද්ධිමතුන්ගේ විෂයයක් – බුද්ධිමතුන්ගේ සොයායාමක්, බුද්ධිමතුන්ගේ රුචිකත්වය නිර්මාණය කරන තැනක් ලෙස ප්‍රකට වී ඇත්තේ ඒ නිසා විය යුතු යි. අපේ අනාගත පරපුර බුද්ධිමතුන් කරන්නට වෑයම් කිරීමේ දී මේ නිර්මල උතුම් බුදුදහම ඔවුනට පිළිසරණ වී විවර වනු ඇත.

ලොව සැබෑ යථාර්ථය මැනවින් විවර කරදෙන්නා වූ බුදුදහම කුඩා අවදියේ සිටම අපේ දූ දරුවන්ට දායාද කරදීම තුළින් සමාජ විෂමාකාරී බවින් මුදවා ගැනීමට අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා පෙරමුණ ගත් පාසල් ‘සාධු, සමාජ’ වැඩපිළිවලේ පළමු පියවර ලෙස පාසල් බෞද්ධ සංගම් ක්‍රමවත්ව ප්‍රතිසංවිධානය කරනු ඇත. බිම් මට්ටමින් සංවිධානය කරන මෙම පාසල් බෞද්ධ සංගම්හි ප්‍රධාන ශිෂ්‍ය නිලධාරී දූ දරුවන් ඒකරාශී කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ‘ප්‍රාදේශීය සාධු සමාජ’ පිහිටුවන අතර පසුව දිස්ත්‍රික්, පළාත් හා ජාතික මට්ටමින් ද ඔවුන් එක් රැස් කොට සංවිධානගත කරනු ලැබේ.

පළමු වැඩසටහන ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ ‘සාධු සමාජ’ පාසල් වැඩසටහනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ‘ප්‍රාදේශීය සාධු සමාජ’ ආරම්භ කොට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. ගාලු දිස්ත්‍රික්කයේ පාසල් 240 ක පාසල් බෞද්ධ සංගම් ක්‍රමවත්ව ප්‍රතිසංවිධානය කළ අතර සමස්ත සාමාජික සංඛ්‍යාව 41881 කි.

ප්‍රාදේශීය සාධු සමාජවල ප්‍රධාන නිලධාරීන් ඒකරාශී කරන දිස්ත්‍රික් මහ සමුළුව ජූලි 17 සිකුරාදා ගාලු පුරහලේ දී පවත්වන්නට යෙදුනු අතර දහසකට අධික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට සහභාගි වූහ. දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත, මහෝපාධ්‍යාය පල්ලත්තර සිරි සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ මෙහි මූලාසනය හෙබවූහ. දකුණු පළාත් ආණ්ඩුකාරවර කුමාරි බාලසූරිය මැතිණියගේ හා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ අනුග්‍රාහකත්වය මේ සඳහා නොමඳව ලැබී තිබුණි. රුහුණේ ප්‍රකට විද්වතෙකු ලෙස සාහිත්‍යසූරී ගාමිණී කුමාර විතාන මහතා ප්‍රධාන දේශනය පැවැත් වූ අතර උපදේශක මණ්ඩලය වෙනුවෙන් ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස ස්වාමීන් වහන්සේ ද කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙනුවෙන් ශාස්ත්‍රපති කොහොලන්කල කෝවිද, ශාස්ත්‍රවේදී මැටරඹ නන්දාලෝක යන ස්වාමීන් වහන්සේලා ද විශේෂ දෙසුම් පැවැත්වූහ.

ශ්‍රී ලාංකික පාසල් අධ්‍යාපන ක්‍ෂේත්‍රය නවමඟකට ගෙනයාමට ඇරැඹුණු මෙම ‘සාධු සමාජ’ පාසල් වැඩපිළිවෙලේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ලෙස ප්‍රජිත් ද කොස්තා මහතා කටයුතු කරන අතර ගිහි, පැවිදි විද්වත් උපදේශක මණ්ඩලයකින් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයකින් ද මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට විශාල පිටුබලයක් ලැබී ඇත. ගාලු දිසාවේ පාසල් බෞද්ධ සංගම්හි නායකත්වය වන දිසා සභාපතිධූරයට ගාල්ල මහින්ද විද්‍යාලයේ රන්සර කුලතිලක ශිෂ්‍යා තේරී පත් වූ අතර පනස් දෙනෙකුගෙන් සමන්විත දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලය ගාලු දිසාවේ පාසල් බෞද්ධ ප්‍රබෝධය ඇතිකිරීමට කටයුතු සම්පාදනය කරමින් සිටී.

දෙවන වැඩසටහන ලෙස සැප්තැම්බර් 17 දින මාතර රාහුල විද්‍යාලයේ දී හා සැප්තැම්බර් 22 දින කඹුරුපිටිය නාරන්දෙණිය ම.ම.විද්‍යාලයේදීත් තෙවැනි වැඩසටහන ලෙස සැප්. 29 දින අම්බලන්තොට ථෙරපුත්තාභය ම.වි.දී හා ඔක්තෝබර් 02 දින වීරකැටිය ඩී.ඒ. රාජපක්‍ෂ ම.ම.විද්‍යාලයේදීත් ‘සාධු සමාජ’ පාසල් බෞද්ධ පුනරාලෝකන වැඩසටහන පැවැත්වීමට යෝජිතයි. පසුව අනෙකුත් පළාත්වලද පියවරෙන් පියවරට මෙම වැඩපිළිවෙළ ව්‍යාප්ත කරනු ඇත. කුසට පමණක් තැනදෙන සමාජයක හිසට හා හිතට තැනක් නොමැත. කුස කොතරම් පිරවූවත් සෑහීමකට පත් නොවෙමු. කුස පුරවන අතරේ හිස හා හිත පිරවූ විට හැම ගැටලුවකටම විසඳුම් සැමදෙනාම හොඳින් අවබෝධ කරගනී. එදිනට එකිනෙකා අතර ගැටුම් අවම වනු ඇත. වෛරය සන්සිඳෙනු ඇත. සාමය, සමගිය, හා සහෝදරත්වය රජවනු ඇත. සාධුසමාජය තුළ බිහිවන අලුත් ශ්‍රී ලංකාව වන්නේ ද එයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.