UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

බහුංවෙ සරණංයන්ති
පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
මනුස්සා භය තජ්ජිතා
නේතං ඛෝ සරණං ඛේමං
නේතං සරණ මුත්තමං
නේතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති

සුපින්වත්නි,

සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාගේ අග්ගිදත්ත නම් පෙරෙව් බමුණා ඇතුළු පිරිසගේ සාවද්‍ය පිළිවෙත් නිමිති කරගෙන මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.අග්ගිදත්ත බමුණා මහ කොසොල් රජතුමාගේ පුරෝහිත තනතුර දරමින් අනුශාසනා කළ උගත් පින්වත් තැනැත්තෙකි.

මහ කොසොල් රජතුමාගෙන් පසු ඔහු පුත් කොසොල් රජතුමාටද පුරෝහිතකම් කරමින් සිට මහලුකල රජුගෙන් සමුගෙන ගිහි සැපත් අතහැර තාපස වේශධාරීව දහස් ගණන් සපිරිවරින් මගධ හා කුරුරට ඇසුරුකොට ආරාමයක තවුස්දම් පුරති. ඔවුන් අතරින් කෙනකුට කෙලෙස් සිතක් පහළ වූ විට එක් තැනකට වැලි ගොටුවක් දැමීමට සම්මතයක් විය. කලක් ගතවනවිට විශාල වැලිගොඩක් වී එහි විශාල නාග රාජයෙක් ද වසන්නට විය. එම ආරාමය ආශි‍්‍රත ජනයා නාරජුට පුද පූජා පවත්වති. අග්ගිදත්ත තාපසයෝද තම ශිෂ්‍ය තාපසයන්ට අනුශාසනා කරන්නේ බියක් ත්‍රාසයක් ඇති වූ විට එයින් මිදීමට ආරාම, රුක්ඛ පර්වත සරණකොට ගන්නා ලෙස දේශනා කරති.

දිනක් බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් ලොව බලා වදාරන සේක්. මෙම අග්ගි දත්ත බමුණු තවුසාණන් ඇතුළු පිරිස බුද්ධිමත් වාසනාවන්තයින් බව දැක මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවකයන් වහන්සේ සමග එම ස්ථානයට වැඩ නාරජු දමනය කොට අග්ගිදත්ත තවුසාණන් ඇතුළු පිරිසට ධර්ම දේශනා කළ සේක.

බොහෝ මිනිස්සු බියක් ත්‍රාසයක් ඇති වූ විට ඉන් මිදීමට පර්වත, වන ආරාම, වෘක්ෂ සරණකොට පුද පූජා පවත්වති. එහෙත් මේ සරණය සෙත පිණිස හෝ දුකින් මිදීමට හෝ හේතු නොවේ. එමෙන්ම ඒ නිසාම ඒ සරණ යාම උතුම් නොවේ.

යමෙක් බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් සරණ යන්නේ නම් එය ක්‍ෂේම වේ. උතුම් වේ. එම සරණයාමෙන් සියලු දුකින් මිදීමට හැකිවන්නේ ය. පරිසරයෙන් උපදින හැදෙන වැඩෙන මිනිසා පරිසරයට ගරුසරු වීම සැලකිලිමත් වීම නිසර්ග ගතියකි.

පරපුරෙන් පරපුරට ලබන ජීවන අත්දැකීම් අනුව පරිසරයේ විශාල ප්‍රමාණයෙන් පෙනෙන, තවත් ප්‍රයෝජන ලබන කඳු, ගංගා, වෘක්‍ෂ වන ගුහාලෙන් ගින්න ජලය, මුහුද, ඉරහඳ ආදී භෞතික වස්තුන්ට දේවත්වය ආරෝපණය කොට පුද පූජා බාරහාර වීම, ඈත අතීතයේ සිටම ක්‍රියාත්මක වෙමින් පවත්නේ ය.

එමෙන්ම මව්වරුන් දරු සම්පත් අපේක්ෂාවෙන් වෘක්ෂ දේවතාවන්ට පුද පූජා පවත්වා ප්‍රතිඵල ලබාගත් බව බෞද්ධ සාහිත්‍යයෙන් දක්නට පුළුවන. එමෙන්ම සුජාතා සිටුදේවියද අජපාල නුගරුකට කිරිපිඬු දානය පූජා කළේද එවන් උතුම් අපේක්ෂාවක් සම්පුර්ණ කර ගැනීමටය. වෘක්‍ෂ හා පර්වත වන දේවතාවන් පිළිබඳ විස්තර ජාතක කතාවන්හි දක්නට ඇත. බුද්ධාගම ව්‍යාප්ත වූ සෑම දේශයකම වෘක්‍ෂ දේවතා පූජා පිළිබඳ සිරිත් විරිත් දක්නට පුළුවන.

මේ පරිසර දේවතාවන් ඇදහීමෙන් තාවකාලික සහනයක් ලැබෙන බව බුද්ධිමත් විශ්ලේෂණයෙන් ප්‍රත්‍යක්ෂ වේ. ගසක් ලඟ ඉපදී ගසක් මුල බුදු වී ගස්වැල් අතර වැඩහිඳ ප්‍රථම ධර්ම දේශනය පවත්වා ගසක් සෙවණේ පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ බෝගස්, නුගගස්, නාගස්, සල්ගස් ආදී ගස්වැල් සෙවණේ ගතකර අවසනද සල්ගස් දෙකක් අතර පිරිනිවන් පා වදාළේ යම් යම් හේතු සාධක ඇතිවය. එය ප්‍රසන්න හා විවෘත එමෙන්ම සරල ජීවිතයක සාධනීය ලක්ෂණය යි.

ස්වභාවයෙන්ම සත්ත්වයාට පරිසරය ඉතා ප්‍රයෝජන වූවද භයානක ද වේ. මේ නිසා පරිසරයේ අත්භූ®ත ක්‍රියාකාරීත්වයට නම්‍යත්වයෙන් දේවත්වය හා අමනුෂ්‍යත්වය ආරෝපණය කිරීමෙන් ආගමික චින්තා පහළ වුවද සංසාර විමුක්තියට හේතු නොවේ.

යෝච බුද්ධංච ධම්මංච
සංඝංච සරණං ගතෝ
චත්තාරි අරිය සච්චානි
සම්මප්පඤඤාය පස්සති

පින්වත්නි,

උතුම් බුදුන් දහම් සඟුන් සරණයාම මතුමත්තෙහි ආර්ය ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය දැනගෙන නිර්වාණ ශාන්තිය ලබාගැනීමට හේතු වාසනා වන්නේය.

නමස්කාරයේ පටන් පිළිවෙලින් තෙරුවන් සරණයාම පංචසීලාදී ගුණධර්ම ආරක්ෂා කිරීම නිසා සීලයෙන් පිරිසුදු වූ ශීලවිශුද්ධියද භාවනාව නිසා චිත්ත විශුද්ධියද ආදී ලෙස ඤාණ දර්ශන විසුද්ධිය දක්වා භාවනාව ආර්ය ඤාණයෙන් ප්‍රභාමත් වීමට පසුබිම වන්නේ තෙරුවන් සරණ යාමයි. භෞතික වස්තු අරමුණට ගැනීමෙන් ගුණාත්මකභාවයක් හෝ කුසල සම්පාදනයක් නොමැති නිසා විමුක්තියක් නොමැත්තේ ය. බුද්ධාදී රත්නත්‍රයේ ගුණය අනන්ත වන්නාසේම එය සිහිපත් කිරීම මහා කුසල බලමහිමයක සංයුතියක් වන්නේ ය.

අප්පමානෝ බුද්ධෝ, අප්පමානෝ ධම්මෝ, අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරිංසපානි. ආදී වශයෙන් දැක්වෙන්නේ ලෝකෝත්තර ගුණැති බුද්ධාදි තෙරුවන් පිළිබඳ ගුණාත්මක භාවය පිළිබඳ විශ්ලේෂණ ය යි.

සත්‍ය දැකීමට සත්‍ය අරමුණක් තිබිය යුතු වේ. ස්වභාවික වස්තු කෙරෙහි අරමුණුවල ඇලී ගැලී සිටින්නා ජීවිතාන්තය දක්වා වස්තුන් හා තණ්හාදී අකුසල් රැස්කොට යළිත් බියෙන් ත්‍රාසයෙන් මැරී ඉපදී අනවරාග්‍ර සංසාරයේ අනේකවිධ දුක්කම්කටොලු වලට භාජනය වේ.

බුද්ධාදී රත්නත්‍රයේ ගුණ දැනගෙන ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් සරණ යනවිට චිත්ත ප්‍රසාදය ප්‍රමෝදය ඇතිවේ. ප්‍රමෝදයෙන් සසර දීර්ඝ කාලීනව පවත්නා සොළොස් උපක්ලේශයෝ අනුක්‍රමයෙන් දුරුවෙති. විෂමලෝභය, ව්‍යාපාදය, දස ආඝාත වස්තුවෙන් උපන් ක්‍රෝධය උපනාහය හෙවත් බද්ධ වෛරය අනුන්ගේ් සම්පත කෙරෙහි පවත්නා ඊර්ෂ්‍යාව, මසුරුකම, නැතිගුණ අඟවන මායාව කපටිකම, තදබව, එකිනෙකට කිරීමේ සාරම්භය මාන අතිමාන මද ප්‍රමාද යන සිත කිලිටි කරණ උපක්ලේශ ධර්මයන් සිතින් බැහැර කිරීමට බුද්ධාදී රත්නත්‍රය සේවනය කළ යුතු වේ.

රත්රන් මෘදු වූ අනර්ඝ ආභරණ තැනීමට යෝග්‍යවුවද යකඩ, ලෝහ, තඹ, ඊයම් රිදී යන ලෝහජාතිවලින් මිශ්‍රවූ විට කාය¸ක්‍ෂම නොවේ. එමෙන්ම සිත කිලිටි කරන තවත් උපක්ලේශ ධර්මයෝ පස්දෙනෙක් වෙති. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යන පංචනීවරණයෝද සිතේ උපක්ලේශ වෙති. බුද්ධාදී තෙරුවන් සරණ යාමෙන් දස්සනානුත්තරීය ආදී අනුත්තරීය ලාභ හයක් සන්තානය සතු වේ. උපක්ලේශයන්ගෙන් මිදුණු සිත ආශ්‍රවක්ෂය කර ඤාණය දක්වා ලොව්තුරා ගුණ ලැබීමට සමත් වන්නේ ය.

තිසරණ සරණගත සත්ත්වයන් ඒ අරමුණම නිතර භාවිතා කෙරේනම්, මරණින් මතු සතර අපා දුකකට භාජනය නොවී සුගති සංඛ්‍යාත දෙව්මිනිස් සැප කෙළවර නිවනින් සැනසීමට පුළුවන.

පින්වත්නි,

උතුම් මිනිසත් බව ලැබූ ඔබ සෑම දෙනාම සිහිබුද්ධියෙන් කල්පනා කොට උතුම් තෙරුවන් සරණ ගොස් සීලාදී ගුණදම් වඩා දෙව්මිනිස් සැප කෙළවර ශාන්ත සුන්දර අමාමහ නිවන් සුව ලබාගන්නට උනන්දු වන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

 

නිකිණි පුර පසළොස්වක
පෝය


නිකිණි පුර පසළොස්වක
පෝය අගෝස්තු 5 වන දා බදාදා පූර්ව භාග 4 ට ලබයි. 6 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 6.26 දක්වා
පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 5 වන දා බදාදාය

මීළඟ පෝය අගෝස්තු
13 වන දා බ්‍රහස්පතින්දා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

First Quarterපුර අටවක

අගෝස්තු 27

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]