UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ධවල ප්‍රමෝදය

බුදුසරණ පාඨකයන් පොප් ගායක මයිකල් ජැක්සන් ලෝලීන් නො වුව ද අද දින කතු වැකිය ඔහු වෙනුවෙන් වෙන් කැරේ. ඔහු ගේ ජීවිතය හා මරණය පිළිබඳ ව නිවැරැදි විග්‍රහයක් දක්නට නො ලැබීම ඊට එක් හේතුවකි. අනෙක් කරුණ නම්, මේ ආකාරයේ සිදුවීම් නො සලකා හැරීම අප පාඨකයන් දැනුවත් කිරීමට ලැබෙන අනඟි අවස්ථා මඟ හැරීමක් වීම ය.

පසුගිය ජුනි මස 25 වන දා ජීවිත වේදිකාවෙන් බැස ගොස් ජූලි මස 07 වන දා ලොස් ඇන්ජලීස් නගරයේ ෆොරස්ට් ලෝන් සුසාන භූමියෙහි මිහිදන් වූ මයිකල් ජැක්සන් (1958 - 2009 ) ගායකයකු ලෙස ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේ වයස අවුරුදු පහේ දී ය. බ්‍රේක් ඩාන්ස් නර්තන ශෛලිය කරළියට ගෙන ආ ඔහු ත්‍රිලර් (ප්‍රමෝදය) නමැති ගීත ඇල්බමයෙන් සන්ත්‍රාසය දනවන චිත්‍රපට සම්ප්‍රදාය අනුගමනය කැර තිබිණ. පිටපත් මිලියන හතළිහක් විකිණී ගිය එම ගීත ඇල්බමයෙන් පසු 1987 දී නිකුත් කළ බෑඩ් (නරක) නමැති ගීත ඇල්බමය ද අතිශයින් ජනපි‍්‍රය විය. මයිකල් ජැක්සන් ගේ ගීත සමුච්චයන්හි පිටපත් මිලියන 700 ක අලෙවිය ලෝක වාර්තාවක් ලෙස සැලැකේ.

විශාල ධනස්කන්ධයක් ඉපැයූ මයිකල් ජැක්සන් මිය යන මොහොත වන විට ණය බරින් මිරිකී සිටියේ ය. එම ණය බරින් මිඳීම සඳහා වසර තුනක් ලොව පුරා සංගීත සංදර්ශන පැවැත්වීමට, ගීත ඇල්බමයක් නිකුත් කිරීමට හා ත්‍රිලර් නමින් කැසිනෝ සමාජ ශාලාවක් ඇරඹීමට සැලසුම් කැර තිබිණ. මේ අතර සමේ පිළිකාවකින් පෙලුණු ඔහු, නාසයේ හා එක් අතක වැඩී තිබුණු මස් වැදැලි ඉවත් කිරීමේ ශල්‍ය කර්මවලට භාජනය වූ බව අනාවරණය විය.

මේ සියල්ල ඔහු ගේ ජීවන රටාවෙන් උරුම වූ රෝගී තත්ත්වයන් ය. සම සුදු පැහැ ගැන්වීම සඳහා අධික ලෙස භාවිත කළ ආලේපන නිසා ඔහුට සමේ පිළිකා ඇති වූ බව ද, ස්වභාවික පෙනුම වෙනස් කිරීම පිණිස සිදු කළ විස්මිත ප්ලාස්ටික් සැත්කම නිසා විකෘති ශාරීරික ලක්‍ෂණ මතු වූ බව ද පැවැසේ.

මයිකල් ජැක්සන් නමැති දැවැන්ත ප්‍රාසාංගික ප්‍රතිරූපය නිර්මාණය කළ ඇමරිකානු සමාජ පසුබිම අපි දැන් විමසා බලමු. සඳ තරණයෙන් උද්දාමයට පත් වුව ද වියට්නාම් යුද්ධය නිසා සසල වූ සමාජ වාතාවරණයක් එදා ඇමරිකාවේ තිබිණ. 1968 දී මාර්ටින් ලූතර් කිං ඝාතනය කිරීම නිසා නතර වු කළු ජාතික දේශපාලනය කලා නිර්මාණ බවට පත් විය. එල්රිජ් ක්ලීචර් නමැති ඇමරිකානු ලේඛකයා ගේ වචන වලින් පවසන්නේ නම්, එදා සිටියේ අවලස්සන ඇමරිකානුවෙකි.

රොක් ඇන්ඩ් රෝල් රජු යැයි විරුදාවලිලත් එල්විස් ප්‍රෙස්ලි (1935 - 77 ) ගේ හදිසි අභාවය ද , බීට්ල්ස් සංගීත කණ්ඩායම ඔස්සේ ජනපි‍්‍රයත්වයට පත් ව සිටි ගායක ජෝන් ලෙනන් (1940 - 1980 ) ඝාතනය කිරීම ද ඇමරිකානු සංගීත ක්‍ෂේත්‍රයෙහි විශාල හිඩැසක් ඇති කැරැ තිබිණ. 1982 දී ත්‍රිලර් සංගීත ඇල්බමයෙන් එම හිඩැස පිරැවූ මයිකල් ජැක්සන්, තමාට ජන්මයෙන් හිමි ව තිබූ පුරුෂ ලක්‍ෂණ ඉවතලා අර්ධ නාරි දේහ විලාසයක් ආරෝපණය කැර ගැනීම කළු පෞරුෂයට බිය ව සිටි සුදු මනසට අස්වැසිල්ලක් වන්නට ඇත. එයින් නො නැවතී ඔහු, කළු සම මකා බබළන සුදු පැහැති සිරුරක් හා කළු අනන්‍යතාව වන බොකුටු හිසකෙස් වෙනුවට එල්ලා වැටෙන කෙස් වැටියක් මවා ගත්තේ ය. ඇමරිකානුවන් උද්දාමයට පත් කළ සඳ තරණය සංකේතවත් කැරෙන “ මූන්වෝක් “ (සඳ මත ඇවිදීම) ප්‍රසංග වේදිකාවෙහි ප්‍රතිනිර්මාණය කළේ ය.

ඔහුගේ සාර්ථකත්වයට හේතු වුයේ ඔහු සතු විශිෂ්ට හැකියාව පමණක් නො ව අධිපති සමාජ මානසිකත්වයට මැනවින් අනුගත වීම ය. එහෙත් ඔහු ගේ අකල් මරණයට හේතු වූ සෞඛ්‍ය පිරිහීම මෙන් ම අධික ණය බර ද එම සමාජ ඉල්ලුම සපුරා ලීමට දැරූ උත්සාහයේ අතුරු ප්‍රතිඵල වේ. (මයිකල් ජැක්සන් පමණක් නො ව අධි පරිභෝජනවාදී සමස්ත ඇමරිකාව ම අද වන විට දැවැන්ත ආර්ථික පරිහානියකට ගොදුරු වී ඇත.) සුදු අධිපතිවාදි පරාජිත මානසිකත්වය ප්‍රමෝදයට පත් කළ ඔහුට ඇමරිකානු මාධ්‍ය අනුග්‍රහය විශාල වශයෙන් ලැබුණු බව නො රහසකි. මාර්ටින් ලූතර් කිං ඝාතනය කළ අවස්ථාවේ දී ඇමරිකානු මාධ්‍ය හැසිරීම පිළිබඳ ව රුසියානු පුවත්පත් කලාවේදියකු වන ස්තනිස්ලාව් කොන්ද්‍රෂොව් විසින් කිං ගේ මරණය සහ ජීවිතය නමැති කෘතියෙහි තබා ඇති මේ සටහන ඉතා වැදගත් ය.

“පස්වරු 8.40 ට ඒ.බී.සී. හත්වන විකාශය නිවී ගියේ ය. “ නිව්ස් ෆ්ලෑෂ් “ නමැති වචනය පුන පුනා තිරයේ දිස් විය. සෙසු විකාශ මඟින් පසු නොබානු පිණිස ඉක්මනින් කතා කළ නිවේදකයෙක් මාර්ටින් ලූතර් කිං මිය ගිය බව අසන්නන්ට දැනුම් දුනි. නිවේදකයා ගේ පසු තලයෙහි ප්‍රවෘත්ති මැදිරියක් දක්නා ලදී. එය කමිස වලින් සැරැසී සිටි කඩිසර නොසන්සුන් වාර්තාකරුවන් ගෙන් පිරී තිබිණ.”

“යළිත් වරක් ප්‍රවෘත්ති විකාශයෙන් තිරය මත අනුකම්පා විරහිත ලෙස පතිත වූයේ දැන්වීමකි. ඉක්මන් කරන්න ! ඉක්මන් කරන්න! චවලට් කාර් ඉතා සහනදායක ණය ක්‍රමයක් යටතේ මේ දැන් මිල දී ගත හැකි ය. මනා පිරිපුන් පුළුල් උකුල් තලයට තදවන සේ සුදෝ සුදු කලිසමකින් සැරැසී සිටි රූමත් තරුණ කතක් මිල අඩු කරන ලද චවලට් රියේ සුක්කානම පිටුපස අසුනේ වාඩි ගත්තා ය. ඇගේ කෙස් වැටිය සුළඟේ පාවෙයි. ඇය සමඟ, ඇත්තෙන් ම වුයේ හැඩි දැඩි පුරුෂ අංග ලක්‍ෂණයන් ගෙන් හෙබි නිර්මල 1968 - මෝස්තරයේ පිරිමියෙකි. පාරාදීසයට යන මඟ නිරූපණය කැරෙන මාවතක් ඔස්සේ ඔවුන් රිය පදවා ගෙන යත් ම ජයග්‍රාහී සංගීතය ඔවුන්ට එකතු විය . “

මාර්ටින් ලූතර් කිං ගේ මරණය දෙස නො බලා කාන්තා විලාසයකින් ඇමරිකානු චවලට් රථයට ගොඩ වූ මයිකල් ජැක්සන් ගේ ඛේදජනක මේ ගමනාන්තය ගැන අප මවිත විය යුතු ද?

ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය ජූලි මස 15 වන දා බදාදා පූර්ව භාග 03.27 ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි මස 15 වන දා බදාදා ය.

මී ළඟ පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]