Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හපුගල ශ්‍රී සුධර්මාරාමය

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙන් විද්‍යාමාන වන අනන්ත වූ බුදුගුණ සාගරයේ කිමිදෙමින් සැදැහැවතුන්ට බොදු බැතිය වඩා වර්ධනය කර ගැනීමට ඉවහල් වන පුදබිම් දකුණු ලකට අතිමහත් වූ බෞද්ධාගමික වටිනාකමක් ගෙන එයි.


විහාර මන්දිරය

ගාලු පුරවරයේ සිට වක්වැල්ල පාරේ කිලෝ මීටර් 5 ක් පමණ ඔබ්බෙන් නිල්වන් කෙත්යායකට මුහුණ ලා රමණීය පරිසරයෙක පිහිටි හපුගල ශ්‍රී සුධර්මාරාමය ද එම වගකීම ඉටුකිරිමෙහිලා දායක කාරකාදින්ගේ මහත් වූ උනන්දුව හා කැපවීම මත දර්ශනීයත්වයට පත්වෙමින් එන බෞද්ධ කේන්ද්‍රස්ථානයකි.


නව ගොඩනැගිල්ලේ සැලැස්ම

පැරණි පොත පතේ සඳහන්ව ඇති ගෘහ නිර්මාණ කලා ශිල්පයන් අකුරටම අනුගමනය කරමින් එම සම්ප්‍රදායයන් අනුව මෙම පුදබිමේ නිර්මිතව ඇති බුදු මැඳුර, බෝධිඝරය, ආවාසගෙය, දහම් මන්දිරය ආදි සකල විහාරාංග බැතිමතුන්ගේ සිත් ඇද බැඳ ගන්නා සුළු ය.

සිය වසකට ආසන්න කාල පරාසයක් තුළ ප්‍රදේශවාසීන්ට දහම් රසය බෙදාදෙන මෙම විහාර භූමි භාගයේ විශාලත්වය අක්කර 5 කි. පූජ්‍ය තුඹල්වැල්ලේ ධම්මරතන නමින් එවකට ප්‍රකටව සිටි සංඝ පීතෘන්වහන්සේ නමකගේ අනුශාසනා පරිදි ජයසුන්දර වලව්වේ ජයසුන්දර මුදලිතුමා විසින් සතර දිගින් වඩින මහා සංඝරත්නයේ විහරණය සඳහා සසුනට පූජා කරන ලද බිම් කඩෙක එතුමාගේ ධන පරිත්‍යාගයෙන් මුලින්ම ඉදිකරවන ලද මෙම සුධර්මාරාම විහාරස්ථානයේ ආදිපත්‍යය ඒ වන විට දරන ලද්දේ කුඹල්වැල්ලේ නාහිමියන් විසිනි.

උන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති පදවියට පත් අහංගම මංගල නා හිමියන්ගෙන් පසුව වත්මන් විහාරාධිපති ධූරය හොබවන පූජ්‍ය වීරපාන හේමාලෝක හිමියෝ කුඹල්වැල්ලේ ශ්‍රී රේවත විද්‍යායතන පරිවෙනාධිපති ධූරය දරන අතර, ගාලු දිස්ත්‍රික්කයේ පිරිවෙන් ගුරු උපදේශක තනතුරක් ද හොබවති. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ දොලොස් නමක් මෙහි වැඩ සිටින නිසා ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීම මෙම විහාරස්ථානය මගින් ඉතා සාර්ථක ලෙස ඉටු කළ හැකි වී ඇති අතර, උන්වහන්සේලාගේ පහසුකම් සැපයීමේදී දායක පින්වතුන් මහත් කැපවීමකින් කටයුතු කරනු දැක්ම සතුටකි.


චෛත්‍යය

විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු ලබන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරයද උන් වහන්සේ විසින්ම හොබවනු ලබයි. එම ධර්ම නිකේතනයේ දහම් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව මේ වන විට දහසකට ආසන්නය. දහම් අධ්‍යාපනයේ නිරතව සිටින දහම් ගුරු භවතුන් 22 කි. තවද මෙහි සතරපෝයට පෙහෙවස් සමාදන් වන හා වෙනත් ආගමික වතාවත් වල යෙදෙන පින්වතුන්ගේ පහසුව සඳහා ධර්ම ශාලාව වෙනුවෙන් එක් මහලකුත් දහම් සිසු පිරිසට සිය අධ්‍යාපන කටයුතු වඩාත් විධිමත්ව හා ඉඩකඩ ඇතිව කරගෙන යා හැකිවන අයුරින් තවත් මහලකුත් වශයෙන් සැලසුම් කරන ලදුව දැනට ලහිලහියේ ඉදිවෙමින් පවතින සුවිසල් දෙමහල් මන්දිරයේ කටයුතු නිමවීමෙන් පසු මෙම පුද බිමට මහත් ආකර්ෂණීයත්වයක් මෙන්ම වැදගත් කමක් එක්වනු ඇත.


විහාරාධිපති වීරපාන හේමාලෝ හිමි

මෙම ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් අසූපන් ලක්‍ෂයකි. සැදැහැවතුන්ගෙන් ලද නොමසුරු මුදල් ආධාර නිසා එහි රුපියල් විසිලක්‍ෂයක වියදමින් මූලික කටයුතු දැනටමත් අවසන් කිරීමට ගොඩනැගිලි කමිටුව සමත් වී තිබේ.

විහාරස්ථ දායක සභාව තුළින් පත්කර ගත් විශේෂ ගොඩනැගිලි කමිටුවක් මගින් නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුවීගෙන යයි. විහාරාධිපති හේමාලෝක හිමියන්ගේ අනුශාසනාවන්ට අමතරව ගොඩනැගිලි ඉදිකිරීමේ කමිටුවේ සභාපති කේ. කේ. ජී.ඇස්. කුමාරසිරි ලේකම් රංජිත් බටුවත්ත, භාණ්ඩාගාරික ජයතිස්ස බෙලාක් යන නිලධාරි මහතුන් ඇතුළු පින්වත් දායක පිරිසගේ මහත් පරිශ්‍රමයෙන් මෙම සත්කාර්ය කරගෙන යනු ලබයි.


ඉදිවෙමින් පවතින නව දෙමහල් මන්දිරය සහිත දසුනක්

මෙම දර්ශනීය සුවිසල් ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් තවත් විශාල මුදලක් වැය වන බව ගොඩනැගිලි සංවර්ධන කමිටුව ප්‍රකාශ කරයි.

හපුගල ශ්‍රී සුධර්මාරාම පින්බිමෙන් විසිරී පැතිරී යන දහම් සුවඳ මුළු රටටම ශාන්තියක් හා සැනසිල්ලකි.

 

 

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.