Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙලොවම වනසන ආර්ය උපවාදය

මහ ගුණ ඇති ආනන්ද මහ තෙරුන් වහන්සේ වැනි කෙනෙකුට මන්ත්‍ර බලයකින් හෝ ඉනාවක් දීමෙන් මුලා කළ බව කියැවෙන වැනි කතා නිසා අපේ මේ බෞද්ධ සමාජය කොතරම් නම් ආර්ය උපවාද අකුසලය සිදුකැර ගන්නවාද යන්න සිතා බලන්න. සමාජය පුරා බොහෝ කලක සිට පැතිර යන කතාවක් තමයි ආනන්ද හාමුදුරුවන්ට ක්‍ෂුද්‍ර කුලයේ ගැහැණියක් ඉනාවක් දුන් බව කියන කතාව.

අප දන්නා නිවෙසකට වෙළෙදාමක් පිණිස එක්තරා පුද්ගලයකු පැමිණියා. ඔහු අත කුළු වට්ටි , පෙට්ටි වගේ දේවල් තිබුණා. එහෙත් මේ ගෙහිමියනට මේ කිසිවක අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඒ නිසා මේ වෙළෙඳ භාණ්ඩ එම නිවසින් ප්‍රතික්‍ෂේප කෙරුණා.

දෙවනුව මේ ආගන්තුකයා තවත් ව්‍යාපාරික කටයුත්තකට අර ඇද්දා. ඔහු අත තිබූ කුඩා පොතක මන්ත්‍රයක සටහනක් තිබුණා. ඔහු එය මේ ගෙහිමියනට පෙන්වා පැවසුයේ මහා පුදුම කතාවක්.

තමන්ගේ ඥාති පරපුරම යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත කටයුතු වලට ඉතා දක්ෂ බව මොහු පැවසුවා. එසේ ම කවුරුන් හෝ විවාහ අපේක්‍ෂාවෙන් පසුවන අයකු වේ නම් තම තමන් කැමැති කෙනෙකු වශී කර කැඳවා දීමට තමන්ගේ මන්ත්‍ර බලයට හැකි බව මොහු කීවා. එපමණක් නොව මොහු තවත් පුදුම කතාවක් පැවසුවා. එනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ බුදුන් වහන්සේගේ උපස්ථායක ආනන්ද මහ තෙරුන් වහන්සේව ද මුලා කිරීමට තම පරපුරේ මුතුන්මිත්තන් යොදාගත් මන්ත්‍රය තමා සතු බව මොහු පැවසුවා.

මේ නිවසේ සිටි සියලුම දෙනා ඉතා ශ්‍රද්ධාවත් බෞද්ධ පිරිසක්, එම නිසාම මෙවැනි ගුප්ත කර්මවලින් මෙලොව යහපත තකා ඉටුකර ගැනීමට දෙයක් නොමැති බව තේරුම් ගෙන සිටියා. ඒ නිසාම මේ පුද්ගලයා හිස් අතින් ආපසු හැරුණා.

සැබවින්ම මේ නිවෙසේ විවාහ වන වයසේ තරුණ දරුවකු නොසිටියා නොවේ. එමෙන්ම මොවුනට ඥාතීන් වන කිහිප පොළකම එවැනි දරුවන් සිටියා. එහෙත් මොහු දැමූ මුලාවේ වැටී ලෞකික අපේක්‍ෂා නිසා සසර ගමන දීර්ඝ කැර නොගැනීමට තරම් මේ පිරිස බුද්ධිමත් වුණා.

මෙයින් සලකා බැලිය යුතු සුවිශේෂම කාරණය මෙය නොවේ. මහ ගුණ ඇති ආනන්ද මහ තෙරුන් වහන්සේ වැනි කෙනෙකුට මන්ත්‍ර බලයකින් හෝ ඉනාවක් දීමෙන් මුලා කළ බව කියැවෙන වැනි කතා නිසා අපේ මේ බෞද්ධ සමාජය කොතරම් නම් ආර්ය උපවාද අකුසලය සිදුකැර ගන්නවාද යන්න සිතා බලන්න.

ආනන්ද මහ තෙරුන් වහන්සේ පිළිබඳව පැතිරී තිබෙන මේ කතාව එක් පසෙකින් ව්‍යාපාරයක් කැරගෙන තිබෙනවා. ඔවුනට සිදුවන අනන්ත අකුසලය වාගේම මේ කතා විශ්වාස කැර තම අපේක්‍ෂා මුදුන් පමුණුවා ගන්නට වෙර දරන පිරිසට සිදුවන අකුසලයත් ඉතාමත්ම බරපතලයි. මේ බව විශේෂයෙන් තරුණ දූ දරුවන් මෙන්ම තරුණ දූ දරුවන් සිටින මවුපියන් ද මැනවින් සිතට ගත යුතු වෙනවා.

එමෙන්ම සමාජය පුරා බොහෝ කලක සිට පැතිර යන කතාවක් තමයි ආනන්ද හාමුදුරුවන්ට ක්‍ෂුද්‍ර කුලයේ ගැහැණියක් ඉනාවක් දුන් බව කියන කතාව.මේ කතාව පතුරවමින් එය අදහමින් බොහෝ දෙනා ආර්ය උපවාද සිදුකර ගන්නවා.

එක්තරා අටුවා කතාවක ආනන්ද තෙරුන් වහන්සේට ඉනාවක් දුන් බව තිබෙනවා සැබැයි එහි එසේ සඳහන් වුවත් අප බුද්ධිය පාවිච්චි කර මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලිය යුතු වනවා. මෙහි දී පැහැදිලිව කිවයුතු කරුණක් තිබෙනවා. අටුවා ආචාරින් වහන්සේලා මෙසේ කිව්වාට මේ බවක් සූත්‍ර පිටකයේ සඳහන් වන්නේ නැති බව. අප පිළිගත යුතු වන්නේ සූත්‍ර පිටකයයි. අටුවාව මුළුමනින්ම බැහැර කරන්නට කියනවා නොවෙයි. අටුවාවල ඉතා වැදගත් කරුණු අන්තර්ගත වනවා. එහෙත් ඒවා ඇතැම් විට සංකීර්ණයි.

ඉහත කාරණය පිළිබඳව අපි සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙනවා. මේ කියන අවස්ථාව වන විට ආනන්ද හිමියන් සෝවාන් පලයට පත්වෙලයි සිටියේ. නමුත් සෝතාපන්න වූ කෙනෙකුට රාගය පහළ වෙනවා. කාම , රාග, පටිඝ, ප්‍රහාණය වන්නේ අනාගාමී පළයේදියි.

නමුත් ආනන්ද මහ තෙරුන් වහන්සේ ඉතාමත්ම ආශ්චර්යවත් කෙනෙක් බව අපට කරුණු මැනවින් විමසිමේදී පෙනී යනවා. උන් වහන්සේ උදානය දක්වන ථෙර ගථාවේ දැක්වෙන අපූර්වතම අදහසකින් අපට ඉහත කාරණයේ සත්‍ය අසත්‍ය බව පැහැදිලි කර ගන්නට පුළුවන.

ඒ ඒ තෙරවරුන් තෙරණිවරුන් මෙසේ උදානයන් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අරහත් භාවයට පත් වූ පසු දැනෙන ලොව්තුරු සුවය ලෝකයට හැඟවීමටයි. ඒ අනුව ආනන්ද තෙරුන්වහන්සේ උන්වහන්සේගේ තේර ගාථාවේ මෙසේ දක්වා තිබෙනවා.

“මං අවුරුදු 25 ක්ම ගත කෙළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්‍ෂුවක් හැටියට මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැගීමක් වත් නෑ.

මේ අනුව ආනන්ද තෙරුන් වහන්සේ කුමන ආකාරයේ උතුමන් වහන්සේ කෙනෙක් ද කියා ඉතාමත්ම පැහැදිලියි.

මෙබදු විශේෂිත අපූර්වතම ගුණ දම් ඇති අය අප අතරත් සිටිනවා. ඇතැමුන් කිසිවෙකුටත් බිය නෑ. එය උපතින් ගෙනා ආකර්ෂණීය අපූර්වතම ගති ලක්‍ෂණයක්.

ආනන්ද මහ තෙරුන් වහන්සේ කියන්නේ ඒ ආකාර ඉතාමත්ම අසිරිමත් චරිතයක් උපතින්ම රැගෙන ආ උතුමන් වහන්සේ කෙනෙක්. උපතින්ම උන් වහන්සේට කෙළෙස් බොහෝමයක්ම අඩුයි. රාගය කවම කවදාවත් ඇතිවෙලා නෑ.

ආනන්ද මහ තෙරුන් වහන්සේ පුදුමාකාර පිරිසුදු ජීවිතයක් ගත කළා. මෙබඳු තත්ත්වයක සිටි ආනන්ද මහ තෙරුන් වහන්සේ සම්බන්ධව අද පවා පැතිරෙන ප්‍රචාරය තමයි ඉනාවක් දී ඒ ඉනාවට හසු වූ බව කියැවෙන කතාව. මෙහි ඇති අසත්‍යතාවය හා පරස්පරතාවය වැටහෙනවා ඇති.

කෙනෙකුගේ හිත ගැනීමට මෙබඳු ආකාරයේ ඉනාවල් දෙන්නට හැකියි. එය සත්‍ය තත්ත්වයක්. බුද්ධ දේශනාවල මෙබඳු කරුණු පැහැදිලි කැර තිබෙනවා. ඒ අනුව පිණ්ඩපාතේ ගිය භික්‍ෂූන් වහන්සේට ඇතැම් කාන්තාවන් ඉනා දී තිබෙනවා.

එසේ ඉනා දුන්නාම කෙලෙස් තිබෙන පුද්ගලයකුගේ හිත ඒ ඉනා දුන් කාන්තාව දෙසට ඇදී යනවා. මේ තත්ත්වය බුදු රජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා.

ඉනාවකින් ප්‍රතිඵල ලබන්න නම් එය ශරීර ගත වූ තැනැත්තාට රාග සිතුවිලි පහළ විය යුතුයි. අප ඖෂධ පාවිච්චි කළාට පළක් නෑ. එම ඖෂධ අපේ ශරීරයේම ප්‍රතික්‍රියාකාරිත්වයක් තිබිය යුතු වනවා. නැති නම් පළක් නෑ. ඒ හා සමානයි මේ ඉනාව පිළිබඳ ප්‍රතිචාරයත්. එය ක්‍රියාත්මක වන්නේත් ඊට සුදුසු ශරීරයක් ලැබුණොතින් පමණයි.

මෙබඳු අභූත කතා ප්‍රකාශ කිරීමෙන් , ප්‍රචාරය කිරීමෙන්, ඒවා සත්‍ය බැව් හඟවමින් ආර්ථික ලාබ ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ දැරීමෙන් මහා සාවද්‍ය අකුසල කර්මයක් වන ආර්ය උපවාද අකුසලය සිදුවනවා. මේ බව අද සමාජයේ සියලුම දෙනා විසින් අවබෝධ කොට කටයුතු කළ යුතුයි.

සෝවාන්, සකෘර්දාගාමී, අනාගාමී, අරහත්, මාර්ගඵල ලබපු උත්තමයන්ට මෙන්ම එම මාර්ගඵල සඳහා ගමන් ගන්නා උත්තමයන්ට වුවද අපවාදයක් අපහාසයක් උපහාසයක් කලොත් පෙර කී ආර්ය උපවාද අකුසල කර්මය සිදුවනවා. එම නිසා භික්‍ෂු , භික්‍ෂූනී, උපාසක, උපාසිකා, සිව්වනක් පිරිස අතුරින් කුමන හෝ අයකුට අපහාස කිරීම, ගැරහීම වැනි ක්‍රියා කිරීමට පෙර බුද්ධිමත් මිනිසුන් හැටියට කවුරුන් වුණත් කල්පනා කළ යුතුයි. එය තම තමන්ට නිරයෙ වැටී දුක් විඳීමෙන් ගැළවීමට මහා උපකාරයක් වනු ඇති.

ඒ ඒ භික්‍ෂූන් කරන වැරැදි වලට තනි තනි වශයෙන් දෝෂ දර්ශනයට ලක් කිරීමත් පොදු වශයෙන් මහා සංඝ රත්නය යැයි කියා බැන වැදීමත් කරුණු දෙකක් බව අප මුල දී පැහැදිලි කළා. මෙතැන ද ආනන්ද මහ තෙරුන් වහන්සේ තනි චරිතයක් ලෙසට සැලකුවත් පොදු වශයෙන් අයිති වන්නේ ආර්ය මහා සංඝ රත්නයටයි. ඒ උන් වහන්ස් මඟ පළ ලාභී උතුමන් වහන්සේ කෙනෙකු නිසයි. එය උදාහරණ කොට ගනිමින් කිසි දිනෙක ආර්යයන් වහන්සේට අපවාද, උපහාස කිරීම ගැරහීම යන ක්‍රියා නොකොට සිටීමට සිතට ගැනීම දෙලොවටම වැඩදායක වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.