UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදු දහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව බුදුරජාණන් වහන්සේ එක් දේවතාවකුට දෙසු ගාථාපාඨයකින් පැහැදිලි වේ. ‘කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න විමසූ විට උන්වහන්සේ සද්ධීය විත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් ශ්‍රද්ධාව පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර
“ධම්මපද” ග්‍රන්ථයෙහි ප්‍රකීර්ණක වර්ගයෙහි ලෞකික හා ලොකෝත්තර වශයෙන් ශ්‍රද්ධාවෙහි ප්‍රභේද දෙකක් පෙන්නුම් කර ඇත. ‘සද්ධො සීලෙන සම්පන්නො යසො භෝග සම්පිතො’ යනුවෙන් දැක්වේ. (යසො හොග - සම්පතො) සද්ධො යන්න ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් විස්තර කරයි. මෙහි ත්‍රිවිධ ගුණ මෙනෙහි කොට කුසල ධර්ම කෙරෙහි සිත පැහැද වීම ලෞකික ශ්‍රද්ධාව නම් වේ. මාර්ග ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිවන් අරමුණු කොට සිත පහදා ප්‍රසන්න තත්ත්වයකට පැමිණීම ලොකෝත්තර සද්ධා නම් වෙයි. මෙවැනි ශ්‍රද්ධාවන් ලැබූ පුද්ගලයා සීලයෙන් යුක්ත යසස් ඇති සම්පත් ඇති නිසා ඒ තැනැත්තා සෑම තැනදීම පුදනු ලැබීමට සුදුසු බවද සඳහන් වෙයි. බෞද්ධ ශ්‍රද්ධාව භෝභන චෛතසිකයක් වශයෙන් අභිධර්මයෙහි සඳහන් වෙයි. චෛතසික කාණ්ඩයෙහි ශෝභන චෛතසික 25 අතුරෙන් 19 වන ශෝභන සාධාරණ වශයෙන් දැක්වීමෙහිදී මුලින්ම සඳහන් වන්නේ ‘සද්ධා’ චෛතසිකයයි. මෙහි ‘සද්ධා’ නම් සිත්හි යෙදෙන බුද්ධාදී උතුමන් අරමුණු කොට පහදවන ස්වභාවයයි.

ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ දෙකක් මෙහිදී විස්තර කරයි. එනම් ‘සම්පසාදන ලක්‍ෂණ සම්පක්ඛන්ධන ලක්‍ෂණය’ වශයෙනි. මිළින්ද ප්‍රස්නයෙහි දී මිළිඳු රජු නාගසේන හිමියන්ගෙන් ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට මේ ලක්‍ෂණ දෙකම කමනීය නිදර්ශන දෙකකින් හඳුන්වා දෙයි. සම්පාදන ලක්‍ෂණය විස්තර කරන්නේ මෙසේ ය. චක්‍රවර්ති රජකුගේ ‘උදකප්‍රසාදක මාණික්‍යය කැලැත්තූ බොරදියට දැමූ විට බොර මඩ සෙවෙල් ඈ අපිරිසුදු දේ බැහැර වී ජලය ඉතා නිර්මල බවට පත්වන්නාක් මෙන් ශ්‍රද්ධාවෙන් සිත අති ප්‍රසන්නවෙයි. එසේ ශ්‍රද්ධාව ඇතිවත්ම පංචනීවරණදී ක්ලේශ ධර්මයන් යටපත්වී සිත මනාව ප්‍රසන්න වන්නේ ය.

සම්පක්ඛන්ධන ලක්‍ෂණ විස්තර කරන මිළින්ද ප්‍රශ්නය මෙසේ විස්තර කරයි. මහා මේඝයක් පර්වත මුදුනින් ඇද හැලී කඳු, ගල්, ගස් ඈ යටකරමින් යන සැර ගැඹුරු ගඟ දිය දැක දෙපසින් ආ ජනයා ජල ඕඝයට බියෙන් ගං තෙර රැස්ව සිටිති. එතැනට එන නිර්භීත බලැති පුරුෂයෙක් කැසපට ගන්වා දියට බැස කඩුවෙන් දැති මෝරුන් කපමින් තමාද එතෙර වෙන අතර අන්‍යයන්ද එගොඩ කරවීමට උපකාර කරන්නේ ය. මේ අනුව සමහරු ධෛර්ය සිත් උපදවා එතෙරට යාමට උත්සාහ කරති. එමෙන්ම යෝගී පුද්ගලයා ද අනුන්ගේ මිදුනාවූ සිත් බලා සතර ඵලයට පැමිණිමට වීරිය කරනුයේ මේ සම්පක්ඛන්ධන ලක්‍ෂණයයි.
 


ප්‍රශ්නය
යමක් නැතිව යමක් පවතින්නේ නැතිනම් පළමුවැන්න එහි හේතුව වන්නේ ය.

කෙනෙකුගේ පුණ්‍ය කර්මයකට වෙනෙකකු බාධා කළා යැයි එයට කෝපවීම සමාව දිය හැක්කක් නොවේ. ක්‍ෂාන්තිය තරම් වූ උග්‍ර වූ වෙන තපසක් ඇත්තේ නැත. ඇත්ත වශයෙන්ම මේ එයට අවස්ථාවයි. ‘හිඟනන් සෙවීම ලෝකයේ ඉතාපහසු ය. එහෙත් තමනට හිංසාවක් කරන්නාවූ කෙනෙකු සොයා ගැනීම අපහසු ය. මක් නිසාද? මා විසින් කෙනෙකුට වරදක් කරනැත්නම් කෙනෙකු මට වරදක් නොකරන නිසා ය. උත්සාහයකින් තොරව ලබාගත්තා වූ, ගෙදර ම තිබී සොයා ගත්තා වූ ධන නිධානයක් පරිදි වූ මාගේ සතුරා බුද්ධත්ව මාර්ගයේ යාමට උපකාරී වන්නා වූ මිතුරෙකු ලෙස සලකා අගය කළ යුතු ය. මේ ආකාරයෙන් ඔහුගේ නරක චේතනාව ඇසුරු කොටගෙන (මා තුළ) ක්ෂාන්තිය ජනිත වෙයි. එසේ නම් ක්ෂාන්තියේ හේතුව වන්නේ ඔහු ය. එම නිසා සද්ධර්මයට ගරු කරන්නාක් මෙන් මා ඔහුට ගරුකළ යුතු ය. මේ ක්‍රමයට අනුව සියලුම නරක දේ තමාගේ ආධ්‍යාත්මික ගුරුවරයෙකු බවට පත්වන්නේ ය. ශාන්තිදේව හිමි බෝධි චර්යාවතාර (පී 182) හොඳ හා නරක පිළිබඳව බෞද්ධ චින්තනය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා ගොනු කළ සටහනකි මේ. විවාදයකට හේතුවක් කර නොගෙන හොඳ හා නරක පින හා පව පිළිබඳව බෞද්ධ මාර්ගය තවදුරටත් පැහැදිලි කරන්න.

පිළිතුර
පිළිතුර සකස් කිරීමෙහිදී තන්ත්‍රයාන බුදු සමයෙහි එන අදහසක් ද එකතු කර ගැනීමෙන් අදාළ කරුණ වඩාත් පැහැදිලි කරගත හැකි ය.

නරක හොඳ බවට පරිවර්තනය කිරීම පිළිබඳ අදහස මහායානයෙහි දී විශේෂයෙන් ම තන්ත්‍රයානයෙහිදී කේන්ද්‍රිය තැනක් උසුලයි.

මෙය හඳුන්වන්නේ බෞද්ධ රස ශාස්ත්‍රය හෙවත් කුණු රොඩු වලින් ‘රත්රන්’ සාදා ගන්නා වූ ශාස්ත්‍රය යනුවෙනි. මෙහිදී අනුගමනය කළ යුතු උපක්‍රමය නම් නරක දෙය අභියෝගයක් ලෙස සලකා එයින් ඉගෙන ගත යුතු බවත් එසේ ඉගෙන ගැනීමෙහි දී ඔවුන් අවධාරණය කරන්නේ නරකදේ පවතින්නේ නැතිනම් ‘සද්ගුණයන්ද නොපැවතිය හැකි බවයි.’ ශාන්ති දේවයෝ තම බෝධි චර්යාවතාරයෙහිදී මෙම ක්‍රියාවලිය සවිස්තර ව දක්වති. ඔහු කියන්නේ සතුරා සැලකිය යුත්තේ අවහිරයක් හෝ කරදරයක් හැටියට නොව ආශීර්වාදයක් ලෙසය. මක්නිසාද? ඉතාම උසස් සද්ගුණයක් වන උපේක්‍ෂාව ප්‍රගුණ කිරීමට එම සතුරා විසින් මා හැඟි ඉඩ ප්‍රස්ථාවක් සලසා දෙන බැවිනි.

ඔහු ඉදිරිපත් කරන ප්‍රබල තර්කය නම් උපේක්‍ෂාව නමැති සද්ගුණය සතුරෙකුගෙන් තොර පැවතිය නොහැකි බවයි. සතුරන් නොමැතිව අපට බෝධිසත්වයන් විය නොහැකි ය. බෝධි සත්ව මාර්ගය පුහුණු කිරීමට සතුරන් අත්‍යවශ්‍යය. පාලි පෙළදහමට අනුව යම් යම් වෙනසක් දක්නට ඇතත්, පිළිවෙත පිටමංකර ආමිසය වැළඳගන්නා සම්ප්‍රදායට වඩා සුචරිතවත් සමාජය කරා සුබවාදී ගමනක් සඳහා මෙබඳු අදහස් බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.


ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එක් අවස්ථාවකි මේ. බෝසතාණන් වහන්සේගේ පි‍්‍රයංකර රූප සම්පත්තිය සිතාගත නොහැකි තරමටම අතුරුදන් වී ගොස් ය. රන්පැහැ සම දුර්වර්ණ වී තිබිණ. ලේ සිඳීගොස් ය. මස් දියවී නහර පෑදී ඇස් ගිලී බොර පැහැවී තිබිණ. බැලූ බැල්මට බෝසත් උතුමා පණ ඇති ඇටසැකිල්ලක් සේ ය. නේරංජර නදීතීරයෙහි මේ අවිනිශ්චිත මොහොතේ ඇති වූ සිදුවීම්, පිළිබඳව ශ්‍රාවකයා විසින් දැනගත යුතු අසිරිමත් සිදුවීමක් ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
නමුචි හෙවත් මාරයා බෝසතාණන් වහන්සේ වෙත පැමිණ කාරුණික වදනින් මෙසේ අමතයි. ඔබතුමා කෘශවී දුර්වර්ණ වී මරණයට ගොදුරු වීමට ඉතා ආසන්නයෙහි සිටින්නෙහිය. මරණයට දහසක් හිමිනම් ජීවිතයට ඔබට හිමිව ඇත්තේ එකක් පමණි. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යය ජීවත් වන්න. ජීවත් වුවහොත් ඔබට පින් කරගත හැකි ය. එසේ කී මාරයාට බෝසත්හු මෙසේ පිළිතුරු දුන්හ. පාපිය, දුශ්චරිතයන්ගේ ඥාතිවරයා ඔබ මෙහි ආවේ ඔබේම ප්‍රයෝජනය පිණිසය. බින්දු මාත්‍ර වූ හෝ පිනකින් දහමකින් මට ප්‍රයෝජනයක් නැත. පිනේ ප්‍රයෝජනයක් ඇති අය සොයාගොස් ඔබේ ඔවදන් ඔහුට දෙන්න. මට ශ්‍රද්ධාව තපස (ආත්මදමනය) වීර්ය හා ප්‍රඥාව තිබේ. මෙසේ වීර්ය වඩන මගෙන් ඔබ කුමට ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ද? නමුචි (මාරය) මේ ඔබේ සේනාවෝ ය. කාමා, කාමය ඔබේ පළමුවන සේනාවයි. අරතිය බ්‍රහ්මචරියාව කෙරේ නොඇලෙන ගතිය. දෙවැන්නයි. චුප්පිපාස, කුසගින්න හා පිපාසය තෙවැන්නයි. තණ්හා, තෘෂ්ණාව සිවුවැන්නයි. ථීන මිද්ධය අලස බව පස්වැන්නයි. භීරු - භය හය වැන්නයි. විචිකිච්ඡා සැකය හත්වැන්නයි. මක්ඛ ගුණමකු බව ථම්භ – තදබව අටවැන්නයි. ලාභ සිලොක - සක්කාර – යස - වැරැදි මගින් ලබාගන්නා ලාභ ප්‍රසංශා - සත්කාර – හා කීර්තිය නව වැන්නයි. අත්තුක්කංසන පරවම්භන තමා උසස් කොට අනුන් පහත්කොට සිතන ගතිය දසවැන්නය.

බියගුල්ලන්ට මේ හමුදාව පරාජය කළ නොහැකි ය. එහෙත් මොවුන් පරදවන ශූරයාට සැප හා සතුට හිමිවෙයි. මම ජයග්‍රාහී ‘මුංජ’ හිස් වැසුම ඔබට දක්වමි. ‘සංගාමෙ මතං සෙගියපා යං චෙ ජීවෙ පරාජිතො’ සටන් බිමෙහි මියයාම පරාජිතව ජීවත්වීමට වඩා ශ්‍රේෂ්ඨය. සිල්වතුන් ගමන් කරන මග නොදත් ඒ මග නොයන ඇතැම් මහණ බමුණෝ මේ සටන් බිම ඇද වැටෙති. ඇතුපිට නැගි මාරයා තම සේනාව සමග වටලා සිටිනු දකිමිනුත් මම යුද පිටියේ ඉදිරියටම යමි. මට හිමි තැනින් මා නෙරපා හරින්නට මාරයා සමර්ථ නොවෙයි. දෙවි මිනිසුන් සහිත ලෝකයෙ කිසිවකුත් විසින් පරදවනු නොහැකි ඔබේ මරසෙනග නොපිළිස්සුණු වළඳක් ගල් පහරකින් කුඩු කරන්නා සේ මම මගේ ප්‍රඥාවෙන් සුන්කරලමි. මගේ සිත දමනය කරගෙන සුපිහිටි සිහියෙන් යුතුව බොහෝ ඉතා යහපතෙහි පිහිටුවමින් මම දේශ දේශාන්තරයන්හි සැරිසරන්නෙමි. නැණවත්ව අප්‍රතිහත වීර්යයෙන් යුතුව මගේ ධර්මය පිළිපදින්නෝ ඔබ අභිබවා ශෝකය නැති නිවුණු තැනට පත්වෙති.

බක් අමාවක පෝය
 අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]