UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සූරියවැව බැද්දේවැව මහා විහාරය


පුන්පෝදා දසුනක්

එක්දහස් නවසිය හැත්තෑතුන වසරේ දී කුඩා පැල්පතකින් ආරම්භ වූ සූරියවැව බැද්දේවැව පුරාණ මහා විහාරය වර්තමානය වන විට සකලාංගයන්ගෙන්ම සපිරි පින් බිමක් බවට පත් වී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැද්දේවැව බටහිර ග්‍රාමසේවා වසමේ සූරියවැව හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ සූරියවැව නගරයට කී.මී. 1 ක් පමණ දුරින් මෙය පිහිටා ඇත. නිල්වන් කෙත් යායක් මැදින් ගමන් කර ඉන් ඉම ඇති මෙම පුණ්‍ය භූමියට සමීප විය හැක.

මෙම විහාරස්ථානය ඓතිහාසික මුල්කිරිගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බිහි වූ විහාරස්ථානයකි. මුල් කිරිගල රජමහා විහාරස්ථානයේ වර්තමාන වර්ධනයේ ආදී කර්තෘවරයා වූ වටරක්ගොඩ ශ්‍රී ධම්මපාල ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කළ මුල්කිරිගල සංඝ පරම්පරාවට මෙයද අයත් වේ. මෙහි ආරම්භක විහාරාධිපතින් වහන්සේ මෙන්ම වර්තමානයේ ද මෙහි විහාරාධිපතිත්වය උසුලන පලපොත විමලානන්ද ලොකුහාමුදුරුවන් වහන්සේ කුඩා පැල්පතකට ගෙවදීමෙන් ආරම්භ කළ විහාරස්ථානය උන්වහන්සේගේ මහත් වූ දිරිය පරිශ්‍රමය හා කැපවීමේ උසස් ලක්‍ෂණයන්ගෙන් පෝෂිතව විහාරස්ථානයේ ප්‍රගතියද ඵල දරන්නට විය.


බුදු මැදුර

එම පින්බිමට පය ගැසූ විට ඒ බව මොනවට පසක් වේ. හේන් කුඹුරු වගාවන් බහුල මෙම ප්‍රදේශයේ අධ්‍යාත්මික වර්ධනය, සැනසුම් සුවය වෙනුවෙන් සැබෑ වූ ගමේ පන්සලකින් විය යුතු පළල් වූ කාර්ය සාධනයෙහි ලා, බැද්දේවැව පුරාණ විහාරය වෙතින් විහිදෙන ආලෝකය ගම්බිම් සිසාරා පැතිරීයමින් පවතී. බැද්දේ වැව බටහිර ග්‍රාමසේවා වසම නැගෙනහිර ග්‍රාමසේවා වසම නබඩගස්වැව වැනි ගම්බිම් මෙහි ගොදුරු ගම් ය.

රජය විසින් විහාරස්ථානය වෙනුවෙන් පූජා කළ භූමියෙහි ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත්තේ 1994 වසරේදී ය. තරමින් දැවැන්ත නොවූ වද වියළි දේශගුණික ලක්‍ෂණයන්ගෙන් හෙබි පෙදෙසෙක හාත්පස සිසාරා නැඟී හිඳින පිවිතුරු ධවල පැහැ චෛත්‍යය මේ වියළි බව අභිබවමින් නෙත් සනහමින් සිත් නිවමින් රැගෙන එන දර්ශනය සිතට සැනසීම උදාකරලයි.


බෝධීන් වහන්සේ

ඇඟ දැවටෙන උණුසුම් දැඩි දාහයට කඩොළු බඳිමින් සිසිලැල් මද පවන් පොදක පහස ලබන්නට හැකි ලතාවකට සැලෙනා බෝපත් ද අතු ඉති විහිදුවමින් ගිනිලූ අව්රශ්මිය නවතා ලද බෝරුක් සෙවන ගතේ මෙන්ම සිතේ දාහයද නිවා දමයි. අලුතෙන් ඉදිකර ඇති විහාර මන්දිරයේ ආකෘතිය ද නෙත් සිත ඇද බැඳ ගැනීමට සමත් ය. ඒ තුළ නිර්මාණය කර ඇති ධර්ම චක්‍ර මුද්‍රාවෙන් වැඩ වසනා සම්බුදුරජාණන් වහන්සේගේ පිළිමයේ නේත්‍ර ප්‍රතිශ්ඨාපනය කර ඇත්තේ 2007 වසරේදී ය. මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ ඩබ්ලිව්.එම්. ලැන්ටිස් නම් මූර්ති ශිල්පියා අතිනි. ඉසිපතනයේ මිගදායේ දී බුදුන්වහන්සේ පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනාවේ ඒ අසිරිමත් සිදුවීම අළලා සැකසෙන පස්වග මහණුන් වහන්සේලාගේ සිතුවම් තවමත් සැකැසෙමින් පවතී. විහාර මන්දිරය, චෛත්‍ය සහ බෝධීන් වහන්සේ හැරුණු කොට ධර්මශාලා දෙකක් පොහොය ගෙය ආදියෙන් ද විහාරස්ථානය සම්පූර්ණ වී තිබේ. දැනට ඇති එතරම් පහසුකම් වලින් තොර සංඝාවාසය වෙනුවට නව සංඝාවාසයක් ඉදිවෙමින් තිබේ. එහි සම්පූර්ණ කිරීමට තවත් සැලකිය යුතු මුදලක් අවශ්‍ය බව විහාරාධිපති හිමියෝ පවසති. විහාරස්ථානයෙන් කෙරෙනා ප්‍රමුඛ කාර්ය අතර දාන ශීල භාවනා වැඩසටහන් බෝධි පූජා ආදියද, දරු දැරියන් හාරසියයක් පමණ ගුරුමණ්ඩලය පහළොවකින් පමණ සමන්විත දහම් පාසලක්ද මෙහි ක්‍රියාත්මක වෙයි. පුර පසළොස්වක පෝ දිනට අවට ගම් වැසි උවසු උවැසියෝ බොහෝමයක් මෙහි ශීල සමාදානයේ යෙදෙති. විහාරස්ථානයේ ඉදිකිරීම් කර්මාන්තයේ දී ඩී.බී. විජේතුංග හිටපු ජනාධිපතිතුමා මෙන්ම මහින්ද රාජපක්‍ෂ වත්මන් ජනාධිපතිතුමා ද මූල්‍ය ආධාර සපයා තිබීම අගය කළ යුතුවේ. එමෙන්ම චමල් රාජපක්‍ෂ ඇමැතිතුමා ද මෙයට ආධාර උපකාර කර තිබේ.

පොල්අතු පැලින් ඇරැඹි බැද්දේවැව විහාරය වත්මන් ප්‍රවර්ධනය දක්වා වූ දැවැන්ත කාර්යභාරයක් සඳහා දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් කැපවීමෙන් කටයුතු කළ ආරම්භයේ සිට මෙතෙක් ආ වෙහෙසකාරී දුෂ්කර ගමනක සාර්ථකත්වයේ නියමුවාණන් වූ පළපොත විමලානන්ද ලොකුහාමුදුරුවන් පැවසුවේ බහුතරයක්, දුෂ්කර දිවිපෙවෙතක් ගෙවූවද සතරපේරුවේ දායක දායිකාවන් උන්වහන්සේව හුදෙකලා නොකර හැකි පමණින් උන්වහන්සේට උදව් උපකාර කළ බවයි.

එමෙන්ම ආගමික පාර්ශ්වයට අමතර සමාජයට ප්‍රගතියට දායාද කළ විශ්ව උසස් අධ්‍යාපන ආයතන මගින් බාහිර උපාධි ලබාදීමටත් ශීල සමාදාන සමිතිය ඇතුලු සෙසු සමිති සමාගම් වලට අනුශාසකත්වය දෙමින් ප්‍රදේශයේ දියුණුවට කටයුතු සළසාදීමක් ද නොනැවතී තම නිවැරදි ගමන් මගට ප්‍රවිශ්ට කළ ආගමට සමාජයට වැඩදායක වූ උගත් බුද්ධිමත් ගෝලයන් පිරිසක් සැදීමටත් උන්වහන්සේට හැකිවීම සමාජ සත්කාර්යයට තිළිණ කළ මහත් ඵලයකි.ශාස්ත්‍රපති බැද්දේවැව ප්‍රේමසිරි හිමි තංගල්ල ජාතික පාසලේ ගුරු වෘත්තියේ යෙදෙන අතර ආචාර්ය බැද්දේ වැව විමලසිරි හිමි අලි ඔලු ආර විජිතාලෝක පිරිවෙනහි ආචාර්ය වරයකු වශයෙන් කටයුතු කරයි. කණිෂ්ට ශිෂ්‍ය සූරියවැව විමලධම්ම හිමි පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටියි. ආගමික පසුබිමෙක අධ්‍යාත්මික වර්ධනයත් සමග අපමණ වූ දුෂ්කරතා ජය ගනිමින් භෞතික දියුණුව කරා එළඹෙතත් සරළ සැහැල්ලු අල්පේච්ඡතා ලක්‍ෂණයන්ගේ සීමාවන් නොයික්ම වූ බැද්දේවැව විහාරස්ථානය සූරිය වැව වැනි ශුෂ්ක ප්‍රදේශයක් සිහිල් කරනා කෙම් බිමක් වැනි ය.


 විමලානන්ද හිමි

 

 

බක් අමාවක පෝය
 අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]