UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තමන් සතු දේ නො දැකීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව අපි පසුගිය සතියේ කතා කළෙමු. එම සිද්ධිය වෙනුවෙන් ම අද දින කතු වැකිය ද වෙන් කැරේ.එහෙත් අප ගේ අරමුණ වෙනත් ඉසව්වක් කරා පාඨකයන් කැඳවා ගෙන යෑම ය.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ මානසික ආතතිය නැති කිරීම සඳහා පැවැති වෛද්‍ය සායනය අද දින අවධානය යොමු කැරෙන කරුණ ය. ඉන්දීය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් හා එංගලන්තයේ කිංග්ස් මනෝ වෛද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අතුල සුමතිපාල මහතා එම වෛද්‍ය සායනය පැවැත්වීම සඳහා මෙහි කැඳවා තිබේ. සැබවින් ම මෙ සේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ මානසික තත්ත්වය ගොඩනැඟීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම පැසැසිය යුතු කරුණකි. එහෙත් බොහෝ අවස්ථාවල අප පෙන්වා දී ඇති පරිදි බුදු දහම සමාජයීය ඵලයක් බවට පත් කැර අන්තර්ජාතික ප්‍රජාව වෙත රැගෙන යෑමට අපොහොසත් වීම මේ කාරණයේ දී පවා දක්නට ලැබිණ. එය සරල ලෙස පවසන්නේ නම්, බෞද්ධකම අප ගේ අන්තර්ජාතික ක්‍රියාකාරකම් මඟින් ලෝකයට දැනවීමට අපි අපොහොසත් වී සිටිමු.

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය හා අප ගේ බෞද්ධකම ලෝකයට ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වීම අතර ඇති සම්බන්ධය තේරුම් ගැනීම සඳහා වෛද්‍ය අතුල සුමතිපාල මහතා මාධ්‍ය වෙත පවසා තිබූ මේ අදහස් ඉතා වැදගත් වේ.

“ සත්‍ය වශයෙන් ම මෙ වැනි සිද්ධියකට මුහුණ දුන් පුද්ගලයන් ගේ පවුල් වල සාමාජිකයන් තුළත් විශාල කම්පනයක්, මනෝ ප්‍රතික්‍රියා පරාසයක් ඇති විය හැකි යි. ඒ නිසා අපි මේ සියලු දෙනාට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නයි කටයුතු කරමින් ඉන්නේ. මේ ප්‍රතික්‍රියා තත්ත්වය රෝගී තත්ත්වයක් නො වන බව පැහැදිලි ව අවබෝධ කැර ගත යුතු යි.”

“අප සිදුකරන්නේ ක්‍රීඩකයන්ට හා ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය වන වෛද්‍යමය දෘෂ්ටිකෝණයකින් කළ යුතු ප්‍රතිකාරක මැදිහත්වීමයි. මෙහි දී අවශ්‍ය වන්නේ මනෝ මැදිහත්වීමයි.”

‘අපේ රටේ ජනතාවට ඕනෑම ආකාරයේ මානසික පීඩාවකට මුහුණ දීමේ ශක්තිය තිබෙනවා. ඒ නිසා මෙය ඔවුන්ට කෙටි කාලයකට පසු භයංකර මතකයක් පමණක් වේවි. ආගමික හා සංස්කෘතික පසුබිමත් වියෝදුක තුනී කැර ගැනීමේ අපේ හැකියාව ඉහළ නංවනවා. බටහිරට වඩා අපට ඉතා හොඳ සංස්කෘතික හුරුපුරුදු තිබෙනවා. දුකේ දී අපේ රටේ සමාජයීය මැදිහත් වීම ඉතා ඉහළ යි’’.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගොදුරු වී සිටින මානසික ආතතිය නැති කිරීම සඳහා බුදු දහම යොදා ගැනීම ට ඇති හැකියාව පිළිබඳ ව කුකුසක් මෙහි දී යමකු තුළ ඇතිවන්නට පුළුවන. වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් ලියන ලද ‘යුද ආතතියේ මනෝ විද්‍යාත්මක බලපෑම ‘ නමැති කෘතියෙහි සඳහනක් උපුටා දැක්වීමෙන් එම කුතුහලය සන්සිඳවීම අප ගේ බලාපොරාත්තුවයි.

“ලංකාවට බුදු දහම ලැබෙන්නේ අශෝක අධිරාජයා යුද ආතතියකට ලක් වීම නිසා ඇති වූ චිත්ත විපර්යාසයන් නිසා ය. කාලිංග යුද්ධයේ දී දුටු විනාශයන් නිසා අශෝක අධිරාජයා තුළ කලකිරීම වැඩිවෙයි. යුද්ධය අත්හරින ඔහු නීග්‍රෝධ සාමණේරයන් ගේ අවිහිංසා දර්ශනය අඩංගු වූ බුදු දහම පිළිබඳ ව දැනගනියි. ඉතිහාසඥ එච්.ජී. වේල්ස් ගේ පවා ගෞරවයට ලක් වූ අශෝක අධිරාජයා පසුකාලීන ව මිනිසුන් ගේ හිත සුව සඳහා තම කාලය කැප කළේය. බුදු දහම පිළිබඳ පණිවුඩය සමඟ ක්‍රි.පූ. 307 දී ඔහු තම පුතා වූ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට එවනු ලබයි.”

එ සේ නම් බුදු දහම මානසික ආතතියට පිළියමක් බව පැහැදිලි ය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය තවමත් නො දනී. මානසික ආතතිය දුරු කිරීම සඳහා යුරෝපීය ජාතිකයන් බුදු දහම කෙරෙහි තබා ඇති විශ්වාසයට මිරිස්සේ ධම්මික හිමියන් විසින් ලියූ Stress Reduction for youth through Mindfulness and loving kindness medtation කෘතිය පමණක් වුව ද ප්‍රමාණවත් සාධකයකි. උන් වහන්සේ එය ලියා ඇත්තේ කැනේඩියානු තරුණ පරපුරේ මානසික ආතතිය දුරු කිරීම සඳහා බුදු දහම යොදා ගැනීමෙන් ලද අත්දැකීම් මත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලාංකේය සංස්කෘතික දූතයන් බවට පත් කැර නොමැති බව පෙන්වීමට සුළු නිර්දර්ශනයක් දැක්වීමට කැමැත්තෙමු. අප කණ්ඩායමේ සිංහල බෞද්ධ පිතිකරුවකු පවා ලකුණු සියයක් රැස්කළ විට අහසට නෙත් යොමා දෙවියන්ට ස්තුති කිරීම දක්නට ලැබේ. මෙය දේව නිර්මාණවාදී ආගම් අදහන විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් අනුකරණය කිරීමකි. එහෙත් මේ දේවවාදී මනෝවිකාරයන් පරාජය කිරීම නිසා බුදු දහම උපන් බව මොවුහු නො දනිති.

මෙය , ඛේදවාදකයක් නො වේ ද?

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]