Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මවක් තම එකම දරුවා ජීවිත පරිත්‍යාගයෙන් රුක ගන්නා පරිද්දෙන් අප සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත් සිත් වර්ධනය කළ යුතුය. ‘සිව් බඹ විහරණ’ (සතර බ්‍රහ්ම විහාර) වලින් පළමුවැන්න මෙත්තා විහරණයයි. බුදු දහමට අනුව ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යන දේශනාවන් හා එකඟවෙමින් ‘මෙත්තා’ (මෛත්‍රිය) පිළිබඳ සමාලෝචනයක් කරන්න.

පිළිතුර - මෛත්‍රිය කළයුත්තේ මවක් එකම පුතු රකින ලෙස යයි දැක්වීමෙන් පැහැදිලි වන්නේ කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට හිත මිතුරු ආකල්ප වැඩිය යුතු බවයි. එය පේ‍්‍රමය නොවේ. පේ‍්‍රමය සෝකයත්, බියත් ඇති කරවයි. (පෙමතී ජායතී සොකො) එසේම මෛත්‍රීය යනු කාමයවත් රතියවත් තෘෂ්ණාවත් නො වේ. තමාට හිතවත් අය හා ඇල්ම තමා පි‍්‍රය කරන දෙයට පි‍්‍රයමනාපවීම ප්‍රේමයයි. හදවතෙහි මෘදු බව හෙවත් නියම මිතුරෙකුගේ ස්වභාවය මෛත්‍රියෙන් අදහස් වෙයි. මෛත්‍රිය නම් වූ මනහර ගුණය සියලු පටු පරිමිතීන් අතික්‍රමණය කරයි. මුළු ලොවම තම මව්බිම සේත්, සියලු වැසියන් සුහදයන් සේත්, සිතන්නට මෛත්‍රීය අප හුරු කරයි. සූර්ය රශ්මිය කිසි භේදයක් නොමැතිව හැම තැන පැතිරෙන්නා සේ මෙත් සිතද ලොකු , කුඩා, දුප්පත්, පොහොසත් උසස් පහත් සාධු, අසාධු, ස්ත්‍රී පුරුෂ මිනිස් තිරිසන් හැමදනා වෙතම පැතිරෙයි.

තමන් වෙත පැහැද බැති සිතින් ඇප උපස්ථාන කළ අයට මෙන්ම වෛර කරමින් වධ හිංසා කර මරා දමන්නට තැත් කළ අයටද බුදුරජාණන් වහන්සේ එකසේ මෛත්‍රිය පැතිර වූ සේක. සියපුත් රාහුලට මෙන්ම සතුරු දේවදත්තටද උපස්ථායක ආනන්ද හිමියන්ටද තමන් අගය කළවුන්ට මෙන්ම සතුරන්ටද එකසේ මෙත් වැඩූහ.

ප්‍රශ්නය - අනුරාධපුර යුගයේ සිට වර්තමාන යුගය දක්වා ශ්‍රී ලාංකික භික්ෂු පරපුරේ සමාජ ක්‍රියාකාරිත්වය සමාලෝචනය කරන්න.

පිළිතුර - මූලික වශයෙන් අනුරාධපුර සමාජය තුළ කේන්ද්‍රිය භික්ෂූ ආයතනය වූයේ මහා විහාරය නිකාය වන අතර එම වකවානුව තුළම අනෙක් පාර්ශ්වය නියෝජනය කරනු ලැබූ වේ. අභය ගිරි නිකායයි. මෙයින් පළමු පාර්ශ්වය මහා විහාර පාර්ශ්වය ථෙරවාද න්‍යායික සම්ප්‍රදාය අනුගමනය කළ අතර දෙවැන්න වූ අභයගිරි පාර්ශ්වය මහායාන බලපෑම් මත ප්‍රායෝගික ආකල්පයක් අනුගමනය කළේය. මෙම දෙපාර්ශ්වය නිසාම ශාසනික අධ්‍යාපනික ශාස්ත්‍රිය මෙන්ම සමාජයීය උන්නතියක් මෙරට ඇති වූ බව පිළිගත යුතුය. නාමික වශයෙන් තරමක් වෙනස් මුහුණුවරක් දක්නට ලැබෙතත් අභ්‍යන්තරික වශයෙන් මුල් යුගයේ එතරම් පැහැදිලි ප්‍රභේදයක් දක්නට නොලැබිණි.

1. මහා විහාරය - විසුද්ධි මග්ග
2. අභයගිරිය - විමුක්ති මග්ග

ශ්‍රී ලාංකික සිංහල භික්ෂූ වංශයෙහි විකාශනය සැලකීමේදී විද්වතුන් විසින් ආකෘති හෙවත් අවස්ථා හතරක් ගෙනහැර දක්වා ඇත.

1. මහා විහාර
2. පොළොන්නරු කතිකාවත
3. දඹදෙණි කතිකාවත
4. සරණංකර සංඝරාජ සමය

ප්‍රශ්නය-අංනි හත්ථාකාලවක සූත්‍රය ඇසුරෙන් සිද්ධියක් ගැන දක්වමි දිනක් මහ පිරිස් සහිතව “හත්ථාලවක” බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියේය. මේ විශාල පිරිසට කෙසේ සංග්‍රහ කරන්නේ දැයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළහ. බුදුන් වහන්සේ විසින්ම දේශිත සතර සංග්‍රහ වස්තුවෙනැයි “හත්ථාලක” පිළිතුරු දෙයි. එවිට බුදුහිමියො මෙසේ වදාරති. “ ඉතා මැනවි හත්ථක , මහ පිරිස් සංග්‍රහයට ඔබගේ මේ උපායම වේ. අතීතයේ මහ පිරිස් යමකු විසින් සංග්‍රහ කැරුණේද? අනාගතයේ දී ද එසේ කෙරේද? දැන් එසේ සංග්‍රහ කෙරේද? ඒ සියල්ලෝම මේ සතර සංග්‍රහ වස්තු වෙන්ම සංග්‍රහ ලබති. එම සිව් සඟරාවතින් දෙවැන්න “පෙය්‍යවජ්ජ” හෙවත් පි‍්‍රය වචනයයි පැහැදිලි කරන්න.

පිළිතුර

ම. නි. සාලෙය්‍යක සූත්‍රාගත තොරතුරු අනුව පි‍්‍රයවචනය මෙසේ විස්තර වෙයි. පරුෂ වචන හැරපියා පරුෂ බසින් වැලකියේ වෙයි. නිර්දෝෂ වූ කණට සුව ඵලවන පේ‍්‍රමනීය වූ ළගන්නා, ශිෂ්ට මිනිසුන් ගේ භාවිතයට සුදුසු වූ බොහෝ දෙනාට පි‍්‍රය වූ බොහෝ දෙනාගේ සිත සැනහීමට පත්වන්නා වූ යම් බසක් වේ ද? ඒ පි‍්‍රයවචනයයි. අසන්නාට පි‍්‍රය වන්නේ අසත්‍යයෙන් රවටනු ලැබීමට නොවේ.

සත්‍ය වූ වචනයටය. තමා හා අනෙකකු බිඳවන කේළාම් වලට නොවේ. දෙදෙනෙකුගේ මිතුරුකම් තහවුරු කරන වචන වලටය. කාලය නිකරුනේ නාස්ති කරන ප්‍රලාප වලට නොවේ. තමනටත් අනුන්ටත් යහපතක් සිදුවන අර්ථවත් වචන වලටය. කණට අමිහිරි , හිත රිදවන, ගොරෝසු වදන් වලට නොවේ. සවන් පිනවන සිත් නිවන වචන වලටයි. ද්වේෂය, ඊර්ෂ්‍යාව, හිංසාව, ආත්මාර්ථය, මානය, මසුරුකම ආදී දුෂ්ට චේතනාවලින් පිරි හදවතක් ඇත්තාගෙන් පිටතට ගලා එන්නේ අමිහිරි වචනයයි. කරුණාව, දයාව, සමානාත්මතාව , ත්‍යාගශීලිබව පරහිතකාමිත්වය වැනි උදාර චේතනාවන්ගෙන් පිරිපුන් මනසක් “ පසන්නෙන චෙතසා - භාසති වා කරොති වා “ ඇති තැනැත්තා ගේ වචනය පි‍්‍රයමනාප වදන්ම වේ.

ප්‍රශ්නය - මිය යන පුද්ගලයකු තුළ එම අවස්ථා වෙහි දී (මරණ මංචකයේදී) “කම්මං “- “ කම්ම නිමිත්ත “ “ ගති නිමිත්ත” යන මේවා පහළ වන බව බුදු දහම අවධාරණය කරයි. ඒ පිළිබඳ කෙටි විවරණයක් කරන්න.

පිළිතුරු

“කම්ම “ යන්නෙන් අදහස් කරන්නේ එම පුද්ගලයා විසින් සිය ජීවිත කාලය තුළ හෝ මරණයට සුළු මොහොතකට පෙර කරගත් කුසල හෝ අකුසල ක්‍රියාවන් බව අදහස් වෙයි. එය කුසල චිත්තයක් හෝ අකුසල චිත්තයක් විය හැකිය. මිය යන පුද්ගලයා පංච ආනන්තරිය කර්මයක් (ගරුක කර්මයක්) කර ඇත්නම් හෝ ධ්‍යානයක් වඩා ඇත්නම් ඔහුට මරණයට පෙර එම කර්මයේ අනුභූතියක් (ඇඟවීමක්, දැනීමක්) ලැබෙයි.

මේ කර්ම කෙතරම් බලගතු ද කිවහොත් අනෙකුත් සියලු කර්ම අභිබවා පෙරට අවුත් ඔහුගේ සිතෙහි රජ කරයි. එබඳු බරපතළ කර්මයක් කර නැත්නම් මරණයට ඉතා ආසන්නව කළ කර්මයක් (ආසන්න කම්ම, ඔහුගේ මරණාසන්න චිත්ත වීථියට අරමුණ වෙයි.

ආසන්න කර්මයක් නොමැති නම් කුසල හෝ අකුසල හෝ නිතර කර පුරුදු කර්මයක් (ආචිණ්ණ කම්ම) වෛද්‍යවරයෙකුට නම් රෝගියෙක් සුවපත් කිරීමක් භික්‍ෂු නමකට නම් ධර්ම දේශනා කිරීමක් හොරෙකු නම් කළ හොරකමක් වැනි යමක් සිහියට නැගීමට ඉඩ තිබේ. මේ කිසිවක් නොමැති නම් කිසියම් සුළු කුසල හෝ අකුසල කර්මයක් (කටත්තා කම්ම) මරණාසන්න චිත්ත වීථියට අරමුණු වෙයි.

“කම්ම නිමිත්ත” නම් කිසියම් කුසල ක්‍රියාවක් හෝ අකුසල ක්‍රියාවක් කරද්දී ප්‍රමුඛව (මූලිකව) පැවැති කිසියම් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් හෝ සිතුවිල්ලක් සංකේත වශයෙන් සිතට නැගීමයි. ගව ඝාතකයකුට නම් ආයුධ මරණයට පත්වන සතුන් ආදිය ද උපාසක තැනැත්තෙකුට නම් වන්දනා කිරීමක් වැනි ක්‍රියාවක් ද වෛද්‍යවරයෙකුට නම් රෝගීන් සුවපත් කිරීමක් වැනි ආකාරයෙන් පෙනෙන්නට පුළුවන. “ ගති නිමිත්ත “ නම් මරණින් පසු උපදින්නට සිදුවන ස්ථානය පිළිබඳ කිසියම් සංකේතයක් ඉදිරිපත් වීමයි. මිය යන පුද්ගලයාට බොහෝ විට මෙය දක්නට ලැබෙන අතර ඔවුන් ගේ මුහුණට ප්‍රසන්න හෝ අප්‍රසන්න ලක්ෂණ ආරෝපණය කරයි. එම ගති නිමිති පහළවන විට ඒවා එතරම් පි‍්‍රය ජනක නොවේ නම් වෙනස් කර ගැනීමට ද හැකිවෙයි. එය කරන්නේ මිය යන පුද්ගලයාගේ සිතිවිලි වලට බලපෑමක් කිරීමෙනි.

මෙබඳු අනාගත දර්ශනවල ගින්දර වනාන්තර කඳු පෙදෙස් මව්කුස දිව්‍ය විමාන ආදිය ඇතුළත් විය හැකිය. මරණය ක්‍ෂණිකව සිදුවන අවස්ථාවකදී වුවද මෙම කම්ම නිමිත්ත ගති නිමිත්ත හා මේ සියල්ල ක්‍රමානුකූලව සිදුවෙයි. (අපවත් වී වදාළ නාරද හිමිපාණන්ගේ බුදුදහම කෘතිය ඇසුරෙනි)

ප්‍රශ්නය - අනගාරික පැවිදි වතට සිවුපසය ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුකරගත යුත්තකි. මෙහිදී අනගාරික අරමුණු වලට යෝග්‍ය වන පරිදි ඒවා ලබාගත යුතු බව බුද්ධ නියමයයි. භික්ෂු විනය නය අනුව අධාර්මිකව කෙසේ හෝ ඒවා ලබාගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් මෙන්ම “ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ජිකරණත්ථාය “ යනුවෙන් සඳහන් කළ මූලික පරමාර්ථයෙන් බැහැරට යාමකි. භික්ෂුවකට පහසුව හා නිරවද්‍යභාවයෙන් ලබාගත හැකි සිව්පසය සඳහන් කරන්න.

පිළිතුර

අංනි ii චත්තාරි අප්පානි - සුලභානිච
අනවජ්ජානිච යනුවෙන් සඳහන් කළ පරිදි
1.පාංසකූල චීවර - පාංසුකූලික සිවුරු
2.පිණ්ඩියා ලොව භෝජන -
පිණ්ඩපාත භෝජන
3.රුක්ඛ මූලික - රුක්මුල් සෙනසුන්
4.පූතිමුත්ත භෙසජ්ජ - බෙහෙත්


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.