UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ආගමික ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, අතීත උරුමය හා ජන ජීවිතයේ අපූර්වත්වය විදහා දැක්වෙන විචිත්‍ර රූපාවලියක් පසුගිය දා නිමාවට පත් වූ ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියෙහි විස්තර විචාරය අතරතුර අපට දක්නට ලැබිණ. එම රූපාවලිය විකාශය කිරීමේ අරමුණ විදේශ සංචාරකයන් ආකර්ෂණය කැර ගැනීම බවට සැකයක් නොමැත. කෙ සේ වූව ද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලොවට විදහා දැක්වීම පිණිස මෙ බඳු අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් ආදිය යොදා ගැනීම වරදක් යැයි අපි නො සිතමු. එහෙත්, එ බඳු අවස්ථාවන්හි දී අප රටේ ප්‍රතිරූපයට හානි සිදු නො වන ආකාරයට ඒවා සංවිධානය කිරීම අප සියලු දෙනා ගේ වගකීම ය. එම වගකීම නිසි පරිදි ඉටු නො වේ නම් සිදුවන හානිය අති විශාල ය. රටේ ප්‍රතිරූපයට හානි ගෙන දෙන අවස්ථා කිහිපයක් ම මෙහි සඳහන් කළ ක්‍රිකට් තරගාවලිය අතරතුර දී අපි දුටුවෙමු.

එක්දින තරග පහකින් සමන්විත වූ මේ ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දඹුල්ලේ දී පැවැත්විණ. ඊළඟ තරග තුන දිවා - රාත්‍රී තරග ලෙස ජනවාරි මස 31 , පෙබරවාරි මස 03 හා 05 යන දිනයන්හි පැවැත් වූයේ කොළඹ, ඛෙත්තාරාම ක්‍රීඩාපිටියේ දී ය. පළමු තරගය දිනා සිටි ඉන්දීය කණ්ඩායම ඊළඟ තරග තුනෙහි දී ම පළමු ව පන්දුවට පහර දී විදුලි ආලෝක මධ්‍යයේ පන්දු රැකීමට පිටියට පිවිසී සිටිය හ. එහි දී පිටියේ කෙළවරක පන්දු රැකීමේ නිරත ව සිටි ඉන්දීය ක්‍රීඩකයකු හට ගල් ප්‍රහාරයක් එල්ල වීම ගැන තරග විනිසුරුවන් වෙත පැමිණිලි කළේ ය. මෙය තුන්වන තරගයේ දී ද එ සේ ම සිදු විය.

මේ තත්ත්වය පෙබරවාරි මස 05 වන දා පැවැති හතරවන තරගයේ දී වඩාත් බරපතළ වන අයුරු අපි දුටුවෙමු. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ක්‍රීඩකයකුට පහර දුන් කුඩා ගල් කැට කිහිපයක් ද තරග විනිසුරුවන් ගේ අවධානයට යොමු කළ ඉන්දීය ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියෙන් ඉවත් වූ හ. ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයකු ගේ හෝ ප්‍රේක්‍ෂයන් පිරිසක ගේ අශෝභන හැසිරීම නිසා එම තරගය විනාඩි විසිහතකින් ප්‍රමාද විය. අන්තර්ජාතික විස්තර විචාරකයන් විසින් මේ සිද්ධිය පිළිබඳ ව කළ සාකච්ඡාව ලොව පුරා වෙසෙන දස ලක්‍ෂ ගණනක් ක්‍රීඩා ලෝලීහු සජීවී ලෙස දැක ගත් හ.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙයට වඩා ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරෙනු අපි දැක ඇත්තෙමු. ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගෙන් සිදු වූ හිරිහැර අපට මතක ය. තරග පරාජයේ දී තම ක්‍රීඩකයන්ට හිරිහැර කිරීම ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්‍ෂක සංස්කෘතියෙහි ප්‍රකට අංගයක් වී තිබේ. ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට සමගාමී ව ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ඇරැඹි වික්ටරි (ඍඪජබධපර) නමැති හින්දි චිත්‍රපටයෙහි ද එම ප්‍රචණ්ඩකාරී ක්‍රිකට් සංස්කෘතිය පිළිගෙන ඇත.

අජිත්පාල් මංගත් අධ්‍යක්‍ෂණය කළ මේ චිත්‍රපටයට විජේ නමැති ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳ කතා පුවතක් ඇතුළත් ව තිබේ. එහි ප්‍රධාන චරිතය රඟපානුයේ හර්මාන් එස් බවේජා විසිනි. ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ හා පාකිස්ථානයේ රූ ගත කැර ඇති මේ චිත්‍රපටයෙහි සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර, චමින්ද වාස්, අජන්ත මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ රඟපාති. ඊට අමතර ව ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී මෙන් ම, ඉන්දියාව, පාකිස්ථානය, දකුණු අපි‍්‍රකාව ආදී රටවල ක්‍රිකට් ක්‍රීඩකයන් හතළිස් දෙනකු රංගනයෙන් දායක වී තිබේ. මේ නිසා මෙය ක්‍රිකට් ක්‍රීඩා කැරෙන රටවල සාර්ථක ව ප්‍රදර්ශනය කළ හැකි වෙතැයි විශ්වාස කැරේ.

දකුණු ආසියාවේ ක්‍රිකට් ලෝලිත්වය පෙන්වීම සඳහා චිත්‍රපටය ආරම්භයට යොදා ගෙන ඇති රූපරාමුවලට බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන අයුරු ඇතුළත් ය. එම චිත්‍රපටයේ කතාවට ද සෘජු සම්බන්ධයක් නොමැති බුදු දහමට නිගා දෙන එම රූප රාමු ඉවත් කළ යුතු ව ඇත. කිසිදු බෞද්ධ රටක සාමනේර භික්‍ෂූන් වහන්සේ වූව ද මහ මඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනු ඇතැයි අපි නො සිතමු.

මෙයින් පැහැදිලි වනුයේ ඉන්දියානුවන්ට බුදු දහම පිළිබඳ ව නිසි වැටහීමක් නොමැති බව ය. එම චිත්‍රපටයේ ම බොහෝ අවස්ථා වල දී දක්නට ලැබෙන ඉන්දීය ජාතික ධජය ගැන හෝ ඉන්දියානුවන්ට නිවැරැදි අවබෝධයක් තිබේ ද යන්න සැකයකි. ඉන්දීය ජාතික කොඩියේ මැද දක්නට ලැබෙන ධර්ම චක්‍රය බුදු දහමෙන් උපුටා ගත් බව ඉන්දියානුවන් නො දැනීම කනගාටුවට කරුණකි. ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම පූජනීය කහ සිවුරට ඉහළින් ඔසොවා තැබීම කිසිසේත් අනුමත කළ නො හැකි ය.

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]