Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

සඟ රුවන ඇසුරෙන් ලැබෙයි අනුසස්

සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේ නමක් තම නිවසට වැඩම කරවන අවස්ථාවේ දී තම තමන් වාඩි වී සිටින ආසන වලින් නැගී සිටීම, වන්දනා කිරීම, සුදුසු ආසනයක් සකස් කිරීම බෞද්ධ සිරිත් විරිත් දන්නා පුද්ගලයන්ගෙන් නිතැනින්ම සිදුවන්නකි. මෙය අවබෝධයකින් යුතුව කරන්නේ නම් මහ පින්කමක් වේ.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යස්මිං භික්ඛවෙ සමයෙ සීලවන්තෝ
පබ්බජිතා කුලං උප සංකමන්ති තත්ථ මනුස්සා
පඤ්චහි ඨානේහි බහුං පුඤ්ඤං පසවන්ති
(අංගුත්තර නිකාය කුල සූත්‍රය)

වාසනාවන්ත පින්වත්නි,

අද බුදුසරණ ධර්ම දේශනාව තුළින් සිල්වත් භික්‍ෂූන් වහන්සේ ඇසුරු කිරීම මගින් ඔබට ලැබෙන වටිනා ආනිශංස කීපයක් පහදා දීමට අදහස් කළේ මෙම දහම් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කර එමගින් දිවිමග ආලෝකවත් කරගන්නා ලෙස ද කාරුණිකව සිහිපත් කිරීම සඳහාය. ඉහත සඳහන් දහම් පාඨයේ සාමාන්‍ය අදහස විමසා බලමු.

මහණෙනි, යම් අවස්ථාවක සිල්වත් භික්‍ෂූන් වහන්සේ කිසියම් නිවසකට වැඩම කරත් ද? එම නිවැසියන්ට කරුණු පහක් යටතේ පින් රැස් කර ගත හැකි වන්නේ ය. යනු එහි සරල අදහසයි. සූත්‍රයේ සඳහන් අන්දමට එම කරුණු පහ කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි.

1. චිත්තානි පාසාදෙන්ති - සිත් පහදවා ගනිති.

2. පච්චුට්ඨෙන්ති, අභිවාදෙන්ති, ආසනං දෙන්ති – වාඩිවී සිටින අසුනෙන් නැගිටීම, වන්දනා කිරීම ආසන පැනවීම කරති.

3. මච්ඡෙර මලං පටිවිනොදෙන්ති – මසුරු මළ නැතිකර ගනිති.

4. යථා සත්ති යථා බලං සංවිභජන්ති - ශක්ති පමණින් හැකි පමණින් යමක් පූජා කරති.

. පරිපුච්ඡන්ති, පරිපඤ්හන්ති, ධම්මං සුණන්ති – ප්‍රති වචන දෙති, දැහැමි ප්‍රශ්න අසති, ධර්මය අසති.

මෙම කරුණු පහ ක්‍රියාවට නැගීම තුළින් තම නිවසේ සිටම වටිනා ප්‍රතිපත්ති පහක් සම්පූර්ණ කර ගැනීමට නිවැසියන්ට අවස්ථාව ලැබේ. මෙම ප්‍රතිපදාවන්ට වෙන වෙනම ලැබෙන ආනිශංස සූත්‍රයේ පෙන්වා දී ඇත.

සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ඉතා සංවරය. නොපැහැදුන අය පහදින ලෙස හා පැහැදුන අයගේ පැහැදීම වර්ධනය වන අයුරින් ඒවා සිදුවිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. ගිහිගෙය ගිනිගෙයක් කරගෙන මානසික අසහනයෙන් ජීවත්වන ගිහි පින්වතුන්ට සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේගේ දැකීම මානසික සහනයට හේතුවකි. එමගින් ලැබෙන යහපත් ප්‍රතිඵල ධර්මාශෝක මහරජතුමාට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකීම තුළින් සිදු වූ වෙනස මගින් අවබෝධ කරගත හැකිවේ. භික්‍ෂූන් වහන්සේ නමක් දකින විට මහා සංඝරත්නයේ උදාර ගුණ සිහියට නගාගෙන පොදුවේ එම උතුම් මහා සංඝරත්නයටම කරන ලෙසින් ගරු බුහුමන් කළ යුතු ය. සිත් පහදවා ගැනීම යනු සිතේ ශ්‍රද්ධාව ඇතිකර ගැනීමයි. පුහුදුන් සිතක ඇතිවන විවිධ අකුසල සිතිවිලි තාවකාලික වශයෙන් යටපත් කිරීමේ ශක්තියක් ශ්‍රද්ධාව නමැති කුසල සිතිවිල්ලට තිබේ. එසේ ඇතිකර ගන්නා පැහැදීම තව තවත් පින්කම් කර ගැනීමට පුද්ගලයා යොමු කරවයි. සිත පහදවා ගැනීම සුගතිගාමී වීමට උපකාරී වන ‘සග්ග සංවත්තනික ප්‍රතිපදාවකි’.

සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේ නමක් තම නිවසට වැඩම කරවන අවස්ථාවේ දී තම තමන් වාඩි වී සිටින ආසන වලින් නැගී සිටීම, වන්දනා කිරීම, සුදුසු ආසනයක් සකස් කිරීම බෞද්ධ සිරිත් විරිත් දන්නා පුද්ගලයන්ගෙන් නිතැනින්ම සිදුවන්නකි. මෙය අවබෝධයකින් යුතුව කරන්නේ නම් මහ පින්කමක් වේ. චාරිත්‍ර ශීලයමය පින්කමකි. මෙම ක්‍රියාවන් කරන විට තම සිතෙහි පවතින මානය නැතිවෙයි. නිහතමානී බව ඇතිවෙයි. එය විවිධ සැප ලැබීමට හේතු වේ. තමා සතු සම්පත් තමන් ද පරිභෝජනය නොකර අන්‍යයන්ට ද නොදී සඟවා තබා ගැනීම මසුරුකමයි. එය පුද්ගලයාගේ දෙලොවමට හානිදායක අකුසල සිතිවිල්ලකි. තම නිවසට වැඩම කරන භික්‍ෂූන් වහන්සේ නිසා එම නරක සිතුවිල්ල යටපත් කර ගැනීමට අවස්ථාව උදාවෙයි. මසුරුකම යටපත් කර ගැනීම මනසට විශාල සහනයකි. එසේම මතු උපභෝග පරිභෝග මහ සම්පත් ඇති උසස් ජීවිත ලබා ගැනීමට ද එම කුසලය උපකාරී වෙයි. (මහෙ සක්ඛ සංවත්ත නික පටිපදා)

තම නිවසට වැඩම කරන භික්‍ෂූන් වහන්සේට අවස්ථානුකූලව කැප වූ යමක් පූජා කිරීම සැදැහැතියන්ගේ සිරිතකි. සිසිල් පැන්, ගිලන්පස, දැහැත්, බෙහෙත්, පුද පිරිකර, දානය පූජා කිරීම ඒ අතර විශේෂ වෙයි. එසේ තමන්ට හැකි පමණින් සිත පිරිසුදුව යම් දෙයක් පූජා කිරීම ද මහා පින්කමකි. එය සසර ගමනේ දී සිතන පතන භව භෝග සම්පත් ලබා ගැනීමට හේතුවෙයි. (මහා භෝග සංවත්ත නිකා ප්‍රතිපදාව) නමින් එය හඳුන්වා ඇත.

තම නිවසට වැඩම කරන භික්‍ෂූන් වහන්සේ සමඟ ගරු බුහුමන් පෙරදැරිව කතා කිරීම ප්‍රතිවචන දීම නොදන්නා දහම් කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීම හා බණ ඇසීමද එම නිවැසියන්ට ලැබෙන වටිනා අවස්ථාවකි. එය මහ පින්කමක් කර ගැනීම සඳහා ගිහි පැවිදි දෙපිරිසම උනන්දු විය යුතු ය. පිරිසක් රැස් වූ විට දැහැමි දේවල් කතා කරන ලෙසත් එසේ නැතිනම් රහතන් වහන්සේ ලෙස නිශ්ශබ්දව සිටින ලෙසත් තථාගත බුදුරදුන් අපට දී ඇති වටිනා අවවාදය මෙහිදී සිහිපත් වෙයි.

ගිහි පින්වතුන්ගේ ආමිස දානයෙන් සංග්‍රහ ලබන භික්‍ෂූන් වහන්සේ සමග කතා කරන විට උන්වහන්සේට ප්‍රතිවචන දෙන විට ශාසනික වචන යොදා ගැනීමට ද ගිහි පින්වතුන් ද වග බලා ගත යුතු ය. එම වචන මගින් තම හැදියාව සංවරකම ප්‍රකට වෙයි.

භික්‍ෂූන් වහන්සේට ප්‍රතිවචන දීම නොදන්නා දහම් කරුණු ගැන ප්‍රශ්න කිරීම, බණ ඇසීම සසර ගමනේ දී නුවණ ලැබීමටද පඤ්ඤා සම්පත්තිය වර්ධනය කර ගැනීමට උපකාරි වන ප්‍රතිපදාවකි. පඤ්ඤා සංවත්ත නික ප්‍රතිපදාව නමින් එය හඳුන්වා ඇත.

ඔබත් මෙම දහම් කරුණු තම ජීවිතයට සමීපකර ගන්න. එය ඔබගේ දෙලොව යහපත හා නිවන්සුව අවබෝධය සඳහා එය ප්‍රයෝජනවත් වෙයි.

සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.