UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,

ඩී. ආර්. විජයවර්ධන මාවත,

ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:

2429598, 2429429

ෆැක්ස්:

2429329, 2449069

ඊමේල්:

[email protected]

කත්මණ්ඩු විරෝධය

ලොව කොතැනක දී වුව ද බුදු දහම හෝ බුද්ධ චරිතය පිළිබඳ ව සිදු කැරෙන වාද විවාද ආදිය අප පාඨකයන් ගේ අවධානයට යොමු විය යුතු ය. ගෞතම බුදු රදුන් ගේ උපත ඉන්දියාවේ දී සිදු වූ බව දැක්වෙන බොලිවුඩ් චිත්‍රපටයක් නේපාලයේ මාඕවාදී ආණ්ඩුව විසින් තහනම් කිරීමේ සිද්ධිය ද එ සේ අප පාඨකයන් ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

මේ සිද්ධියට මුල් වූයේ, චාන්ද්නි චෞක් ටූ චයිනා (Chandni Chowk to China) නමැති නිකිල් අද්වානි විසින් අධ්‍යක්‍ෂණය කළ බොලිවුඩ් චිත්‍රපටයකි. අක්ෂේ කුමාර් හා දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත රඟන ප්‍රහසනාත්මක චිත්‍රපටයක් වන මෙහි කතාව ශ්‍රීධර් රඝවාන් විසින් ලියා ඇත. පැය දෙකයි විනාඩි විස්සක් පුරා දිවෙන මෙය හින්දි බසින් තැනූ චිත්‍රපටයක් වන අතර ඉංගී‍්‍රසි උප සිරැසි සහිතව ප්‍රදර්ශනය කැරේ. පුරාවෘත්තගත චීන රණවිරුවකු ගේ පුනරුප්පත්තියකැයි වරදවා වටහා ගත් ඉන්දීය අරක්කැමියෙක් ගැන කියැවෙන මේ චිත්‍රපටයෙහි බුදුරදුන් ගේ උපත පිළිබඳ සාවද්‍ය දර්ශන ඇතුළත් ව තිබේ. ඊට එරෙහි ව කත්මණ්ඩු නුවර පැවැති මහජන උද්ඝෝෂණ සැලැකිල්ලට ගෙන නේපාල ආණ්ඩුව එම චිත්‍රපටය නේපාලයේ ප්‍රදර්ශනය කිරීම තහනම් කළේ ය. එම සාවද්‍ය දර්ශන ඉවත් කොට චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවසර ඇතත් අනවසර වීඩියෝ පට ආදිය වෙළෙඳපළෙහි තිබෙන බව ද පැවැසේ.

මෙහි දී තවදුරටත් එම චිත්‍රපටය වෙත අවධානය යොමු කිරීම වෙනුවට සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය හා සබැඳී කරුණු ගැන පාඨක අවධානය යොමු කැරේ. ප්‍රථමයෙන් ම සිංහල විශ්වකෝෂය උපුටා දක්වමු.

“සිදුහත් බෝසතුන්ගේ පියා ශාක්‍ය ජනපදයේ අධිපතියා වූ ශුද්දෝධන රජතුමා විය. ශාක්‍ය ජනපදය වනාහී හිමාලය කඳුවැටියට දකුණු පසින් වර්තමාන නේපාලයට ආසන්න ව දකුණින් පිහිටි දනව්වක් විය. එය කොසොල් රාජ්‍යයට අයත් වූවක් ලෙස සඳහන් වෙතත් කොසොල් රජු කිසි විටකත් ශාක්‍ය රාජ්‍ය කටයුතු කෙරෙහි බලපෑම් කළ බවක් සඳහන් නො වන අතර ශාක්‍ය පරපුර විසින් එය ස්වාධීන රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන ගිය බව පැහැදිලි වේ. “

“සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූ ස්ථානය බෞද්ධ ලෝක‍ෙය් ඉමහත් භක්ත්‍යාදරයට ලක් වූවකි. උතුරු ඉන්දියාවේ දේශ සීමාවට ආසන්නයේ නේපාලයේ දකුණු දිග තරයි ප්‍රාන්තයේ පිහිටි රුමින්දෙයි නමැති ස්ථානය ඓතිහාසික ලුම්බිනිය ලෙසට පළමු වරට නිවැරැදි ව හඳුනා ගත හැකි වූයේ ක්‍රි.ව. 1895 දී ය. ඒ ස්ථානයේ ක්‍රි.පූ. තුන්වන සියවසේ දී අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද ස්මාරක ස්තම්භයේ කොටා ඇති සෙල්ලිපියේ එන තොරතුරු වල “දේවානම්පිය පියදසි රජු “ තම අභිෂේකයෙන් විසි වැන්නේ එතැනට පැමිණි බවත් ,ශාක්‍ය මුනි බුදුන් වහන්සේ මෙ තැන උපන් සේකැයි වැඳ නමස්කාර කොට එම ස්ථානය වටා ශෛලමය ප්‍රාකාරයක් තනවා ශිලා ස්තම්භයක් පිහිටුවා එහි තමා පැමිණි බවට ලිපියක් කෙටවූ බවත් බුදුන් උපන් බිම වූ ලුම්බිනී ග්‍රාමයේ වැසියන් රජතුමාට ගෙවිය යුතු අටෙන් එකක් වූ අයබදු වලින් නිදහස් කළ බවත් සඳහන් වෙයි .”

මෙයට අදාළ කරුණූ මහාචාර්ය ධම්මානන්ද කෝසම්බි තුමා ගේ භගවාන් බුද්ධ කෘතියෙහි මෙ සේ සඳහන් ය.

“මහබිනික්මන් කළ බෝධිසත්වයන් වහන්සේ බුදු වීමෙන් පසු මුලින් ම රජගහ නුවරට වැඩි අවස්ථාවේ උන් වහන්සේ හමුවීමට ගිය බිම්සර රජතුමා “ ඔබ කවරෙක් දැයි “ ඇසී ය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ මෙ සේ වදාළ සේක “

‘රජතුමනි , මෙහි සිට කෙළින් ම හිමාලය අඩවියට ගිය විට කොසලයට අයත් ප්‍රදේශ අතර වූ ජනපදයක් හමුවෙයි. එහි වසන්නවුන් ගේ ගෝත්‍රය ආදිත්‍ය නමි. කුලය ශාක්‍ය නමි. රජතුමනි, මම ඒ කුලයෙන් අවුත් කම් සැප විඳීමේ ඇති ආශාව දුරුකොට පැවිදි වීමි .”

“සිදුහත් කුමරු ගේ උපත ලුම්බිනි ජනපදයෙහි සිදු වූ බව සූත්‍ර නිපාතයේ දක්වා ඇත. අද පවා මේ ස්ථානය ‘ලුම්බිනී දේවී ‘ යන නමින් හැඳින් වේ. එ තැන පිහිටුවන ලද අශෝක ශිලාස්තම්භයෙහි සඳහන් ලිපියේ ‘ලුම්මනිගාමෙ උබාලිකෙ කතෙ’ යන වාක්‍යය එයි. මෙයින් බෝසතුන් ගේ උත්පත්තිය ලුම්බිනී ගමෙහි දී ම සිදු වූ බව ඔප්පු වේ.”

මේ තරම් පැහැදිලි සාක්කි තිබිය දී චාන්ද්නී චෞක් ටූ චයිනා චිත්‍රපටයේ නිර්මාණකරුවන් වැරැදි කරුණු ඉදරිපත් කළේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. වර්තමාන ඉන්දියානුවන් ගෙන් බහුතරයකට බුදුන් වහන්සේ හෝ බුදු දහම පිළිබඳ ව නිසි වැටහීමක් නොමැති වීම පළමු කරුණ ය. බුදුන් වහන්සේ ගේ දර්ශනය නො සලකා නාමික උරුමය පිළිබඳ හැඟීම පමණක් ඉන්දියානුවන් තුළ පැවැතීම දෙ වන කරුණ ය.

මෙහි දී නේපාල බෞද්ධයන් ගේ හැසිරීම පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතු ය. නේපාල ජාතික දාහත් හැවිරිදි රාම් බහදුර් බම්ජාන් නමැති ගැටවරයකු බුදුන් වහන්සේ ගේ පුනර්භවය ලෙස පෙනීම සිටීම ගැන නිහඬ නේපාල බෞද්ධයන් මේ චිත්‍රපටයට දැඩි විරෝධය එල්ල කිරීම හාස්‍යයට කරුණකි.

කෙ සේ වුව ද 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පෙළ ගැසී සිටින ශ්‍රී ලාංකික බෞද්ධයන් මේ කරුණු ගැන අවදියෙන් සිටිය යුතු ය. මන්ද යත්, බෞද්ධයා හමුවේ ඇති අභියෝග මෙ බඳු සිද්ධීන් ගෙන් ප්‍රකාශ වන බැවිනි.

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 02 වනදා සඳුදා අපර භාග 05.20 ට ලබයි. 03 වන දා අඟහරුවාදා අපර භාග 03.51 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 09 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]