UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තරුණ පෙළට බුදු දහම

වෙනස්වන ලෝකයත් සමගම නව ලොවට එකතුවන නවතම විලාසිතාවන් වැළඳ ගනිමින් හරි හෝ වැරැදි හෝ නව සිතුම් පැතුම් තුළින් ඇතැම් විට කෙළිබර ජීවිතයක් ගත කිරීම එකම පරමාර්ථය කරගත් සුන්දර තරුණ අවධිය කායික හා මානසික ශක්තියෙන් ඉතා උසස් තත්ත්වයක පවතින බව නොරහසකි. ඒ ශක්තිය ජවය මත යම් තීරණ ගැනීමේ හැකියාවක්ද පවතී. දහසක් බලාපොරොත්තු ඇතිව ජීවිත ගමනේ නිරතවෙද්දී යම් අභියෝගවලටද මුහුණ දීමට සිදුවන අතර එම අභියෝග ඉදිරියේ නොසැලී මුහුණ දීමට හැකි මානසික ශක්තියක් තරුණ අවධියේදී ගොඩනගා ගත යුතුය.

වෙනස්වන සමාජයේ පවතින අයහපත් මං පෙත් ඔස්සේ ගමන් කිරීම නිසා යම් යම් විනාශයන් කරා යොමුවන තරුණ පිරිස් ද නැතිවා නොවේ. වත්මන් තරුණ පරපුර මෑත අතීතයේ සිටි තරුණ පෙළට වඩා යම් තරමකින් ඉදිරියෙන් සිටින බව ඔවුන්ට ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුය. වෙනදා පොදු වාහන තුළ සිටිය නොහැකි පරිදි සිගරට් දුමින් පිරී යන නමුත් අද එසේ පොදු වාහනවල දුම් බොන ‘උමතු පිරිස්’ නොසිටීම පිළිබඳව මහත් සේ ආඩම්බර විය යුතුය. අද බොහෝ තරුණ පිරිස් දුම් බීමෙන් , මත් වතුර පානයෙන් වැළකී සිටිති. මේ අය වෙත අපගේ ගෞරවය පුද කළ යුතුමය.

හැම කාලයකම විවිධ බාධක, අභියෝග එල්ලවීම සිදු වුවද ඒවාට සාර්ථකව මුහුණ දීමයි කළ යුත්තේ. ඒ සඳහා සිත සකස් කර ගත යුතුය. සිත සකස් කර ගැනීමට පැහැදිලි මගක් ඇත්තේ බුදුදහම තුළින්ම පමණක් බව අපරදිග විද්වතුන් පවා බුදු දහම කෙරෙහි පැහැදීමෙන් පෙනේ. ‘මතින් තොර ලොවක්’ තැනීමට වෙර දරන මෙවන් යුගයක ඒ සඳහා බුදුදහමින් ලැබෙන ආභාසය මෙතෙකැයි කිව නොහැකිය.

බොහෝ තරුණ පිරිස් අද භාවනාවට යොමු වී ඇති බව බොහෝ භාවනා මධ්‍යස්ථානවල රැස්වන තරුණ පිරිස් දෙස බැලීමේදී පැහැදිලි වේ. පොල්ගහවෙල, පිට්ටුගල වැනි මහමෙව්නා භාවනා මධ්‍යස්ථානවලට රැස්වන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විවිධ රැකියා කරන තරුණ තරුණියන් නිමල බුදු දහම ඔස්සේ භාවනාවට යොමු වෙමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට පෙළඹීම ඉතාම කාලෝචිත බව සඳහන් කළ යුතුය.

බුදු සසුනේ බොහෝ ශ්‍රාවක පිරිස් පැවිදි දිවියට ඇතුළත් වූයේ තරුණ අවධියේ දී බව ත්‍රිපිටකයෙන් හෙළිවෙයි. බුදුරජාණන් වහන්සේ පැවිදි දිවියට පත්වූයේත් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේත් භද්‍ර යෞවන අවධියේම ය. භද්‍ර යෞවන අවධියේම ලැබිය හැකිව තිබුණු සක්විති රජකම හැරදමා රූමත් බිරියක් හැරදමා පැවිදි වී, මිනිසෙකු විසින් වින්ද අනන්ත දුක් විඳිමින් ඒ වනවිට සමාජයේ පැවති ඉගැන්වීම් අනුව අනාර්ය කටයුතු ඔස්සේ පර්යේෂණයක යෙදුණු බව, බුදු සිරිත තුළින් හෙළි වෙයි.

ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට එක්වූ රහතන් වහන්සේ අතර යස රහතන් වහන්සේ ඇතුළු යහළුවන් 54 දෙනාම භද්‍ර යෞවනයේ සිටි අය වූහ. භද්දවග්ගිය කුමාරවරුන් 30 දෙනාම එවැනිම තරුණ පිරිසක් වූහ. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි පළමු අවස්ථාවේදී පැවිදි දිවියට පත් ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත ඇතුළු විශාල තරුණ පිරිසක් වූහ. සැරියුත්, මුගලන් නමින් අග්‍ර ශ්‍රාවක රහතන් වහන්සේ බවට පත් වූ කෝලිත, උපතිස්ස දෙදෙනාද සුන්දර තරුණ අවධියේ විනෝදකාමීව ජීවත් වූ තරුණයින් දෙදෙනෙකි. රට්ඨපාල රහතන් වහන්සේද තරුණ අවධියේම පැවිදි දිවියට පත් ව අති පූජනීය, වන්දනීය තත්ත්වයට පත් වූ රහතන් වහන්සේ කෙනෙකි. රාහුල, සෝපාක, සීවලී ආදී රහතන් වහන්සේලා ද ඉතා කුඩා කාලයේදීම පැවිදි දිවියට පත්වූහ. ලක්දිවට බුදු දහමේ උතුම් පණිවිඩය රැගෙන ආ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේත් තරුණ අවධියේම පැවිදි බිමට එක් වූහ. අග්‍ර ශ්‍රාවිකා ඛේමා, උප්පලවන්නා, ආදී මෙහෙණින් වහන්සේලාද තරුණ අවධියේම වූහ.

ඉහත විස්තරය ඉදිරිපත් කළේ අදත් තරුණ පිරිසට පැවිදිවන්න යැයි කීමටම නොවන බව අවධාරණය කළ යුතුය. අද තරුණ පිරිස මුහුණ දෙන බොහෝ ගැටලුවලට බුදු දහමින් ලැබෙන පිටිවහල පිළිබඳව අවධානය යොමු කිරීම වටී. බුදුදහම දුක ගැනම දේශනා කරන, අනිත්‍යම මෙනෙහි කරන අසුබවාදී දහමක් බව ඇතැම් මන්ද බුද්ධිකයෝ කල්පනා කරති. බුදුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල්වන කරුණු ඉදිරිපත් කර ඇත. මහ මංගල සූත්‍රයේ සඳහන් මංගල කරුණු තුළින් ඕනෑම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීමට මහත් පිටිවහලක් ලැබෙයි. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යන සූත්‍ර තුළින්ද එවැනිම පිටිවහලක් ලැබෙයි. පරාභව සූත්‍රය, වසල සූත්‍රය යන සූත්‍ර ද සාර්ථක ජීවිතයකට මං හෙළි කරයි. මේ හැම සූත්‍රයකින්ම දක්වා ඇත්තේ යහපත් කාර්යයන්හි නිරතවීමේ වැදගත්කමයි. තරුණ ජීවිතය විනාශ වන අයහපත් විනාශකාරී ක්‍රියාවලින් වැළකී සිටීම සාර්ථක ජීවිතයක එකම මගයි. බුදුදහමට අනුව තම ජීවිතය සකස් කර ගනිමින්, නිරතුරුව පන්සිල් සුරකිමින්, හැකි සෑම අවස්ථාවකදීම අටසිල් සමාදන් වීම භාවනා කිරීම වැනි පුණ්‍ය කටයුතුවලට නැඹුරුවෙමින් තරුණ ජීවිතය ඔපවත් කරන පිරිස් තම ජීවිතය සාර්ථක කරගන්නවා මෙන්ම ඔවුන් වෙතින් අන්‍යයන්ටද ලැබෙන්නේ මහත් එළයකි. ඔවුහු වැරැදි වැඩවලට ඉදිරිපත් නොවෙති. එබැවින් විනාශකාරී තත්ත්වයක් ඇති නොවෙයි. එවන් තරුණ පෙළ නිසා ගම තුළද ඔවුන්ගේ සහයෝගයෙන් විවිධ ආගමික හා සමාජ කටයුතු සිදුවීමට ඉඩ ඇත. එවිට ගම එළිය වෙයි. ඒ තුළින් රටම එළිය වෙයි.

බුදුදහම අනුව දිවි පැවැත්ම සකස් කර ගනිමින් පුණ්‍ය කටයුතුවල යෙදීමෙන් රැස්කර ගන්නා පුණ්‍ය සම්භාරයන් තමන්ගේ පරලොව දිවියට මග වියදමක් කර ගැනීමට ද හැකිවෙයි. දහමට අනුව ජීවත් වීම විවාහ ජීවිතයට කිසිදු බාධාවක් නොවන බවද සඳහන් කළ යුතුය.

ගෞතම බුදු සසුනේ් අග්‍රදායිකාව වූ විශාඛා සිටු දේවිය සෝවාන් උපාසිකාවකි. බිම්බිසාර රජතුමාද සෝවාන් තත්ත්වයට පත්වූ අයෙකි. ඔවුන්ට එම අධ්‍යාත්මික තත්ත්වය පෞද්ගලික ජීවිතයට බාධාවක් නොවීය. එය පෞද්ගලික ජීවිතය සරුකර ගැනීමට ලැබෙන මහඟුª පිටුබලයක් මිස අනර්ථකාරී තත්ත්වයක් නොවේ. විවිධ විනාශකාරී මංපෙත් ඔස්සේ විනාශයකට පත්වීමට අභියෝගයන්ට මුහුණ දී සිටින වත්මන් තරුණ පෙළ ඉන් මුදා ගෙන ඔවුන්ගේ් ජීවිත ආලෝකවත් කිරීමට හැකි එකම මග වූ බුදුදහම වෙත වඩාත් නැඹුරු කිරීම තුළින් ධාර්මික සමාජයක් බිහි කිරීමට හැම කෙනෙකුගේම ඇපකැප වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමු.

වප් අමාවක පෝය


වප් අමාවක පෝය ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා පූර්ව භාග 3.33 ට ලබයි. 29 වනදා බදාදා පූර්වභාග
4.44 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ඔක්තෝබර් 28 වනදා අඟහරුවාදා යග

 

මීළඟ පෝය නොවැම්බර් 6 වන දා බ්‍ර‍්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]