Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුසස් නිම් නැති පින්බර පින්කම

ඉතාලියේ බ්‍රෙෂියාවේ
ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික
ධර්මායතනාධිපති, රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති,
එළුවාපොළ පඤ්ඤාරතන හිමි

වස් කාලයේ අවසානයේ දී විශේෂයෙන් බලාපොරොත්තු වන පින්කම කඨින චීවර පූජාවයි. මෙම පින්කම මහත් ඵල මහානිසංශදායක කුසලයක් ලෙස සඳහන් වේ. කඨින යන වචනයේ අරුත් කීපයක්ම ඇත. තද, දැඩි, ඝන, ප්‍රබල, ශක්තිමත්, නොකැඩෙන, නොසෙල්වෙන, පාප අකුසල්වලින් කඩන්න නොහැකි, යන අදහස් රැසක් එයින් කියැවෙයි.

කඨින චීවර පූජාවක් එක් වර්ෂයක් තුළ එක ආරාමයකදී කළ හැකි වන්නේ එක අවස්ථාවකදී පමණකි. එයද සැම දිනයකදීම කළ නොහැකිය. එයටද නිශ්චිත කාලයක් හා අවශ්‍යයෙන්ම සම්පූර්ණ විය යුතු කරුණු කීපයක් ඇත. උපසම්පන්න භික්ෂු නමක් අවශ්‍ය විනය කර්ම සම්පූර්ණ කර ඇසල (ජූලි) මස අවපෑලවිය, එනම් පෝයට පසු දින වස් සමාදන් වී එම වස් සමාදානය විනයානුකූලව මාස තුනක් අඛණ්ඩව පවත්වා ගෙන ගොස් වප් මස (ඔක්තෝබර්) පසළොස්වක දා මහා පවාරණය කළ භික්ෂු නමක් වැඩ වසන ආරාමයක කඨින චීවර පූජාවක් කළ පසු එය සංඝ සම්මතයෙන් සුදුසු භික්ෂු නමකට පිරිනමනු ලැබේ. දෙවරක් පූජා කරන එකම වස්ත්‍රය කඨින චීවරයයි. පළමුව මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුව භික්ෂු සංඝයා විසින් වස් සමාදන් වී විනයානුකූලව ප්‍රතිපත්ති සම්පූර්්ණ කළ චීවරයක අවශ්‍යතාව ඇති කඨින චීවරයක් ලැබීමට වඩාත්ම සුදුසු ස්වාමින් වහන්සේට එය පවරනු ලබයි. එයද පෙර වස් විසූ භික්ෂු නමක් විෂයෙහි මිස පසු වස් විසූ භික්ෂු නමක් උදෙසා පූජා කළ නොහැකිය. නියමිත පෝයට, පෙර වස් විසීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේට නිකිණි (අගෝස්තු) අවපෑලවිය (පෝයට පසු දින) වස් සමාදන් වීමට හැකි බව පනවා වදාරා ඇත. ඉහත සඳහන් ආකාරයට පසු වස් විසූ එම භික්ෂූන් වහන්සේට කඨින චීවර පූජාවක් කළ නොහැකි ය. කඨින චීවරයක් පූජා කිරීමට වස් පවාරණය කළ පුර පසළොස් වක පෝදා සිට සක් (වප් - ඔක්තෝබර් + නොවැම්බර්) ඇතුළත කඨින පින්කම කළ යුතුය. එම කාලය චීවර මාසය ලෙස සඳහන් වේ. කඨින චීවරයක් ලබන භික්ෂූන් වහන්සේ පුබ්බ කරණ ලෙසින් සඳහන් වන කාරණා 8 ගැන දැන සිටිය යුතුය. මහා වග්ග පාලියේ කඨිනකන්ධකයේ සඳහන් අන්දමට කඨිනයක් සඳහා බාධා වන 24 ක් කරුණු වලින් තොර විය යුතු අතර උපකාර වන 17 ක් සම්පත් හේතු වලින් යුක්ත විය යුතුය. කඨිනයක බලය නැතිවීමට හේතු වන ආකාර 8 කි. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මෙබඳු කරුණු කාරණා දැන සිටින භික්ෂුවක විසින් කඨින චීවරය පිළිගෙන ඉතා සැලකිල්ලෙන් විනයානුකූලව සිදු කළ යුතු ශාසනික උතුම් පින්කමක් ලෙස මෙය හැඳින්විය හැකි බවය.

කඨින පූජාවක් වශයෙන් දෙපට සිවුර, සංඝටික චීවර) තනිපට සිවුර (උත්තරාසංඝ) අඳනයක් (අන්තරවාසික) යන තුනෙන් එකක් යොදා ගත හැකි ය. කසට (කහ, මරදන, මෙරුන් වැනි) පාටක් හෝ සුදු පාට වස්ත්‍රයක් ඉහත සඳහන් තුනෙන් එකක් සඳහා පූජා කළ හැකිය. කපු ආදි වස්ත්‍රයක් මිස සතුන්ගේ හම් ආදිය ඒ සඳහා යොදා නොගත යුතුය.

ශාසනික පින්කම් ගැන දැක්වීමේදී ප්‍රධාන කුසල් අටෙන් එකකි කඨින පින්කම. මහ පොළව මෙන් කම්පාවට පත් නොවන ස්ථිරසාර වූද ප්‍රබල වායුවකින් නොසෙල්වන මහමේරු පර්වතය මෙන්ද කිසි ලෙස බිඳිය නොහැකි වජ්‍ර‍්‍ර පර්වතයක් මෙන්ද නිසා කඨින යැයි කියනු ලබන බව මෙසේ සඳහන් වෙයි.

පඨවිරිව න ජාතු කම්පතෙ
න චලති මේරුරිවාති වායුනා
වජිරම්ව න හිජ්ජතෙ ඝනං
තමිදමතො කඨිනන්ති වුච්චති

බුදුරජාණන් වහන්සේ එක දවසක් කඨින චීවර දාන ආනිශංස ප්‍රකට කරන වස් පෙර භවයක එම පූජාව කළ නාගිත මහරහතන් වහන්සේ ලවාම ප්‍රකාශ කරවීම සඳහා පන්සියයක් රහතන් වහන්සේ සමග අනෝතත්ත විල් තෙරට වැඩම කොට මෙසේ වදාළ සේක. පින්වත් භික්ෂූන් වහන්ස ඔබ අතුරෙන් කිනම් කෙනෙකු පෙර ජාතියෙහි බුදු පසේ බුදු මහරහතන් උදෙසා විශේෂ කුසලයක් කළෝද ? එබඳු කෙනෙකුන් ඇතොත් ඒ බව ප්‍රකාශ කරන ලෙස වදාළහ. මේ ඇසූ නාගිත මහරහතන් වහන්සේ නැගී සිට බුදුරදුන් වැද අවසර ගෙන තමන් කළ කඨින චීවර පූජාවක් හා එහි ආනිශංස මෙසේ ප්‍රකාශ කළහ.

මම මීට එකානුකපකට (91) පෙර ලොව පහළ වූ විපස්සී බුදුරදුන් දවස බන්දුමතී නුවර එක්තරා කුලපුත්‍රයෙකුව ඉපිද දුගී මගී යාචකාදීන්ට දන් දෙමින් පොහොයක් පාසා පෙහෙවස් වසමින් වාසය කරන අතර ඒ බුදුරදුන් ප්‍රමුඛ මහ සඟනට නිතර දන් දුන්නෙමි. පසුව වස් කාලයක වස් ආරාධනා කර සිවුපසයෙන් උපස්ථාන කොට වස් විසූ භික්ෂූන්ට සියලු පිරිකර සහිත කඨින චීවර පූජා කොට එම කුශලානිසංස බලයෙන් සසර දුකෙන් මිදීමට හැකි වේවායි පැතුවෙමි යි පවසා ඒ පිළිබඳ විස්තර පැහැදිලි කළ සේක.

උතුම් ගුණ ඇති සංඝරත්නයට කඨින දානයක් පූජා කොට මහා කල්ප තිහක් තුළ දුගතියකට ගිය බවක් නොදනිමි. කල්ප 18 ක් දෙව් ලොව සිත් අලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක්දෙවි රජව ඉපිද දිව්‍ය රාජ්‍යය කෙළෙමි.

කඨින චීවරය මහණ අවස්ථාවේ දී එක ඉදිකටු පාරක් පාරක් ගානේ තිස් හතර දහස් වාරයක් බැගින් සක්විති රජවන්නට හේතු සම්පත් ඇති වුවත් සසර එපමණ බොහෝ කල් නොසිටි හෙයින් අසූහතර වාරයක් සක්විති රජ සම්පත් ලැබුවෙමි. ඒ බව සඳහන් වෙයි. ගණන් කළ නො හැකි ප්‍රමාණයක් මහත් බල සම්පන්න ප්‍රදේශ රාජ්‍ය පදවි ලැබූ බවද සඳහන් වෙයි. උපනූපන් හැම තැන්හිම කඨින දානයේ ආනිශංස වශයෙන් සියලු සම්පත් ලැබ උතුම් පුද්ගලයෙක් වූයෙමි. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමියි දක්වන්නේ මෙසේ ය.

යත්ථ, යත්ථුපපජ්ජාමි
ලභිත්වා සබ්බ සම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨින දානස්සිදං ඵලං

මේ, කඨින දානයේ මහත් ඵලය තවදුරටත් කඨින දානයේ ආනිශංස දක්වමින් මෙසේ ප්‍රකාශ කරන්නේ, ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ දෙකුලය හැර වෙනත් පහත් කුලයක ජනිත නොවූ බව ද සඳහන් කරමින් තවදුරටත් තමන් කළ උතුම් පුණ්‍ය කර්මයේ ආනිසංස ප්‍රකට කරමයේ මෙසේ ද දැක්වූහ.

චක්කවාලමුපාදාය
මහීං සාගර මණ්ඩලං
ධෝමදුස්සෙහි ඡාදෙය්‍යං
කඨින දානස්සිදං ඵලං

සාගර මණ්ඩලය දක්වා මුළු මහ පොළව සුදුපාට වස්ත්‍රවලින් වසන්නට තරම් පොහොසත් විමි යැයි නාගිත මහ රහතන් වහන්සේ කඨින පූජාවේ ආනිශංස වදාළහ.

බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ අප්‍රමාණය. මෙලෙසින් මා විසින් කළ කඨින දානයේ ආනිශංස වශයෙන් මහත් ඵල ලැබුවෙමි. එම කඨින චීවරදාන චේතනාව හේතු කොට ගෙන දෙව් ලොව දෙවියන් අතර පහළ වූ කළ, දෙවියන්ට ද මිනිසුන් අතර උපන් කළ මිනිසුන්ටද, පි‍්‍රයමනාප පුද්ගලයකු වූ බවත් අවසාන වශයෙන් එම උතුම් කුසලානිශංසයේ බලය අමා මහ නිවන් සම්පත්තියද ලැබීමට උපකාර වූ බවද නාගිත මහරහතන් වහන්සේ බුදු පාමොක් මහසඟ මැද ප්‍රකාශ කළහ.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කළ පසු, එය සුදුසුකම් ඇති එක භික්‍ෂු නමකට පවරනු ලැබේ. එය ලබන ස්වාමීන් වහන්සේට ද ආනිශංස පහක් හිමි වෙයි.

පෙර රජවරුන් ඉතා උත්කර්ෂවත් ලෙස කඨින පූජා සිදු කොට ඇත. පොළොන්නරු මහපැරකුම්බා රජතුමා රටපුරා කඨින පින්කම් 80 ක් සිදු කළ බව මහාවංශයේ සඳහන් වේ. කෝට්ටේ 6 වන පැරකුම්බා හා වෙනත් රජවරුන් විසින් ද කඨින පූජා පින්කම් සිදු කොට ඇත. තායිලන්තයේ රජතුමාගේ ද සහභාගීත්වයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස වාර්ෂික එක් ප්‍රධාන කඨින පූජාවක්, මෙකල ද සිදු කරනු ලැබේ.

කඨින පූජාවක් අලංකාර කිරීමට බාහිර අංග හා කාර්ය රාශියක්ම සිදු කළ යුතුව ඇත. ආරාමයකට අවශ්‍ය, කරන විවිධ දේ පූජා කරන කප් රුක් පූජාව, පිරිත් මණ්ඩප, සැරසිලි, පෙරහර, මහාසාංඝික දාන යන කාර්යයන් සම්බන්ධ වූ කුදු මහත් සහභාගීත්ව අපමණ ය. මේ සියලු දේ වලින් ඊට දායකත්වය ලබන සෑම දෙනා, එක සේ කුසලානිසංශ ලබති.

එක දවසක, එක ස්ථානයක, වර්ෂයකට වරක් පමණක් කළ හැකි, දෙවියන්ට, බඹුන්ටත්, කළ නොහැකි, මනුෂ්‍ය ලොවක මිනිසුන්ට පමණක් සිදු කළ හැකි අටමහ කුසල් අතර ප්‍රමුඛ උතුම්ම පින්කම ලෙස සඳහන් වන්නේ, කඨින චීවර පූජාව යි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.