Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
මහණෙනි! මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම ලෝ පහළවීමි, මට සාරිපුත්ත, මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. (සං.නි. මේපුල්ල සූත්‍ර 292 පිටුව) මේ පුවතට අනුව සැරියුත් මුගලන් මහරහත් දෙනමගේ අග්‍ර බව බුදුන්වහන්සේ විසින්ම සහතික කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
මහාපදාන සූත්‍රයෙහි මෙන්ම වේපුල්ල සූත්‍රයේ ද අගසව් දෙනමගේ පැමිණීම පිළිබඳව සටහන්ව ඇත. ඒ අනුව මහා ප්‍රාඥයන් අතර සාරිපුත්‍ර තෙරුන් වහන්සේද සෘද්ධිමතුන් අතර මොග්ගල්ලාන තෙරුන් වහන්සේද අගතැන්පත් වෙති.

උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට වන විස්තර අතර භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද පහත සඳහන් ප්‍රකාශය සැළකිය යුත්තකි. “යමෙකු හොඳ ආයාචනයක් කරනවා නම් සැරියුත්, මුගලන් තෙරුන් බඳු වේම්වා! කියා ආයචනා කළ යුතු ය. සැරියුත්, මුගලන් දෙනම භික්‍ෂූන්ට තරාදියයි(අං.නි. ආයාචමනා සූත්‍ර. 318 පිටුව)

ප්‍රශ්නය
ගෞතම බුදුරදුන් දරුපරපුර හා කුල පරම්පරා විනාශ කිරීමට කටයුතු කරන්නෙකි. (ම.පා. මහාකන්දක 90 පිටුව) යනුවෙන් විවේචනයට ලක්වූහ. එහෙත් පසුබට නොවූහ. විමසීමක් කරන්න.

පිළිතුර
සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ හමුවන අවස්ථාව වන විට සෑහෙන ශ්‍රාවක පිරිසක් දහම් පණිවිඩය රැගෙන චාරිකාවෙහි යෙදී සිටි බව පිළිගත හැකි ය. එසේම යසකුල පුත්‍ර, ජටිල සොහොයුරන් වැනි ප්‍රකට පුද්ගලයන් භික්‍ෂු ශාසනයට පිවිස සිටි බව පෙනේ. සංජය වැනි කීර්තිමත් පරිබ්‍රාජිකයන්ගේ, කෝලිත උපතිස්ස වැනි අග්‍ර ශිෂ්‍යයන්ද මෙසේ භික්‍ෂු ශාසනයට ඇතුළත්වීම එකළ සමාජයේ සාකච්ඡාවට ලක් වූ බව දක්නට ලැබේ. සීඝ්‍රයෙන් පැතිර යන බුදුදහම වැඩෙන සඟ සසුන සතර දිග් භාගයේ සැරිසරණ ධර්ම දූතයන් පැවිදි උපසම්පදාව ලබන ප්‍රසිද්ධ පුද්ගලයන් පැවිදි වන්නවූවන්ගේ සංඛ්‍යාත්මක වර්ධනය යන කරුණු දැක නොසතුටට උදහසට පත් වූවෝ මෙසේ බුදුරදුන් විවේචනය කරමින් චෝදනා කළහ. සමාජයේ පැතිර ගිය මෙබඳු චෝදනා සහ ජනමතයන්ගෙන් තථාගතයන් වහන්සේ නොසැලුණහ. පැවිද්ද සඳහා බලහත්කාරයෙන් පුද්ගලයන් නොඇදගන්නා අතර සිය කැමැත්තෙන් පැමිණ පැවිදිවන බවත් එහිලා නුවණැත්තන් විසින් ඊර්ෂ්‍යා නොකළ යුතු බවත් ප්‍රකාශ කරවූහ. උන්වහන්සේගේ අකම්පස භාවයත් බුද්ධිමය නිදහසට ගරු කරමින් ධර්ම ප්‍රචාරය සිදු කිරීමත් නිසා එම ද්වේශ සහගත චෝදනා සහ ප්‍රචාර වැඩිකල් රැඳී නොපැවතුණි.

ප්‍රශ්නය
දැනගත යුතු වූ සියල්ල දැනගත් නිසාත් සියලු ඤාණයට මග උන්වහන්සේ වෙත වූ හෙයිනුත් සබ්බඤ්ඤෙ හෙවත් සර්වඥයන් වහන්සේ (සියල්ල දත්) යයි උන්වහන්සේ හඳුන්වනු ලැබේ. මේ උත්තරීතර ඤාණය උන්වහන්සේ ලබාගත්තේ ආත්ම ගණනාවක් තිස්සේ එක් රැස්කොට ගත් තමන් වහන්සේගේම බෝධි සම්භාර පිරීම හේතුවෙනි. පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ පා සටහනක මංගල ලක්‍ෂණ දුටු දෝණ නම් එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය. ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද? නැත බ්‍රාහ්මණය! මම දෙවි කෙනෙක් නොවෙමි. එසේ නම්, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද? නැත බ්‍රාහ්මණය! මම ගාන්ධර්වයෙක්ද නොවෙමි. එසේ නම් යක්‍ෂයෙක්ද? මම යක්‍ෂයෙක්ද නොවෙමි.එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද? නැත බ්‍රාහ්මණය. මම මනුෂ්‍යයෙක් ද නොවෙමි. දෙවියකු, ගාන්ධර්වයකු, යක්‍ෂයෙකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා විසින් සිඳ දැමූබව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

අධර්මය පරදවා ධර්මය රජකරවනු පිණිස වරින් වර ලොව පහළ වෙතැයි සඳහන් කරන හින්දු දෙවි කෙනෙකු වූ විෂ්ණුගේ අවතාරයක් සේ බුදුරජාණන් වහන්සේ තමන් කිසි විටෙක හඳුනා නොගත්හ.

ප්‍රශ්නය
ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමියන් විසින් දෙවියන් පිළිබඳව ලියූ සටහනක් මෙසේ දැක්වේ. දෙවියන් සියල්ල දන්නේ නම් ඔහු සමස්ත අතීතය ද සමස්ත වර්තමානයද සමස්ත අනාගතය ද දත යුතු වේ.

පුද්ගලයෙකුට කළ හැකි සෑම තීරණයක්ම සිතට එන සෑම සිතුවිල්ලක්ම සහ ඔහුට කළ හැකි සෑම ක්‍රියාවක්ම ඒවා ඇතිවීමට බොහෝ කලින් දෙවියන් දැනගත යුතු වේ.

මෙසේ පුද්ගලයෙකුට ක්‍රියාකළ හැකි වන්නේ දෙවියන් කලින් දැන ඇති මාර්ගයේ පමණි. ඔහුගේ සියලුම ක්‍රියා කලින් තීරණය කළයුතු අතර ඒවා ස්ථාවරද වන්නේ ය. බෞද්ධ කර්මවාද අදහස් සමාලෝචනය කරමින් ශ්‍රාවස්ථ ධම්මික හිමියන්ගේ අදහස සමාලෝචනය කරන්න.

පිළිතුර
මෙම ඡේදයන්හි දෙවියන් යන සංකල්පයට අනුව පුද්ගල සිය කැමත්ත (ස්වචඡන්දතාවය) අක්‍රිය හෙවත් ඵල රහිත වෙයි. මිනිසාට සිය කැමැත්ත (හොඳ නරක තෝරා ගැනීම) නොමැතිනම් ඔහු විසින් කරන කිසිම ක්‍රියාවකට මිනිසා වගකිව යුතු නැතිවාක් මෙන්ම හොඳ හා නරක කිරීම හෝ නොකිරීමෙන් වැළකී සිටීමේ (වෙරමණී) අදහස් ද අර්ථවත් නොවෙයි.

(අං.නි) නිබ්බේධික පරියාය සූත්‍රයෙහි එන පරිදි බුදුරදුන් චේත නාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වචාය මනසා චෙතනා වම කර්මය බව පැහැදිලි කරමින් චේතනා සම්ප්‍රයුක්තව කයින් වචනයෙන් මනසින් කර්ම කෙරෙන බවම වදාළහ. මේ අනුව ක්‍රියාවෙහි වගකීම හා සචේතනික බව (සිතින් සිතා සිය කැමැත්ත) පූර්වගාමී වෙයි. තවද (මනි) චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව තොදෙය්‍ය පුත්‍ර සුභ මානවකයා කළ ඉල්ලීමකට බුදුරදුන් මෙසේ වදාළහ. මානවකය සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මයම සත්වයාගේ එකම ඤාතියා ය. කර්මයම පිහිටය කර්මය සත්වයන්ගේ මේ උස්පහත් බව බෙදන්නේ ය. ප්‍රාණඝාතය හේතුවෙන් අල්පායුෂ්ක බවද, ප්‍රාණඝාතයෙන් වැළකීමෙන් දීර්ඝායුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගී බවද සතුනට දයාව දැක්වීම හේතුවෙන් නීරෝගී බවද මානයෙන් හීන කුලයක උපත ද මානය නැතිව ගරුකළ යුත්තන්ට ද ගරු කිරීමෙන් කුලීන බවද ආදී ලෙසත් කරන ලද කර්මයනට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙතැයි ද පැහැදිලි කළහ. දේව නිර්මාණ වාදය පිළිගත්තවුන් මෙම බුද්ධ දේශනාවන්ගේ ද අපැහැදිලි තත්ත්වයන් දකිමින් සචේතනික (සිත මුල්කොට) ක්‍රියා සියල්ලෙන් කර්ම රැස්වන්නේ නම්, පුනර්භවය ඒ කර්මයනට අනුරූපව සැලසේ නම් මිනිසා නිරන්තරයෙන් අතීත කර්මයෙන් මෙහෙය වේයයි ප්‍රකාශ කරයි. ඉහතින් සඳහන් කළ දේව නියම ද මේ අනුව එනම් පුද්ගලයෙකුට ක්‍රියා කළ හැකි වන්නේ කලින් කළ තීරණ අනුවය. එසේ වෙතොත් මිනිසාට සිතාමතා ක්‍රියාකිරීමට නිදහසක් නොමැත. ස්වච්ඡන්දතාව (සිය කැමැත්ත) මිනිසාට අහිමිය. (පුබ්බේකත හේතුවාද ජෛනමතය) අතීත කර්මයක අනිවාර්ය ප්‍රතිඵල භුක්ති විඳින රූකඩයක තත්ත්වයට මිනිසා පත්වේ. එසේම ඒ අතීත කර්මයෙන් ගැලවී නිදහස ලබාගැනීමට ද කිසිදු ඉඩක් නොපෙනේ. විමුක්තිය බලාපොරොත්තු වියහැක්කක් නොවේ. අතීත කර්මයක ඵල විඳිනා හෙයින් මිනිසාට වර්තමානය සිය කැමැත්ත ඉඩක් නැත. ලැබුණු හැටියට (ලබා උපන්හැටි) සතුටු විය යුතු ය. චේතනාමය ක්‍රියා කිරීමෙන් කර්ම (පින් පව්) රැස්වන නිසා පුද්ගලයා ක්‍රියා විරහිත විය යුතු ය. සමාජගත ජීවිතයෙන් හුදකලාවීම හොඳම ආගමික ප්‍රතිපත්තියයි. මෙම සාවද්‍ය මත සූත්‍රාගත තොරතුරු ආශ්‍රයෙන්ම නිවැරැදි කළ හැකි ය. (අංනි) කම්ම නිදාන සූත්‍රයෙහි එන පරිදි කර්ම නිදානය හෙවත් කර්ම සමුදය සඳහා මූලික මානසික ගති හයක්, එනම්, ලෝභ, දෝස, මෝහ සහ අලෝභ, අදෝස, අමෝහ යන ගති විද්‍යාමාන වේ. ලෝභ, දෝස, මෝහ නිසා ලෝභ දෝෂ මෝහයන් විනා අලෝභ, අදෝස, අමෝහයන් නූපදියි. ලෝභ, දෝෂ, මෝහ හේතුවෙන් සංසාරික වශයෙන් නිරය තිරිසන් ප්‍රේත අපායන් හෝ අන් කිසි දුගතියක් විනා සුගතියක් නම් නොලැබෙන බව එහි තවදුරටත් සඳහන් වේ. එසේම අලෝභාදී හේතු නිසා සුගතියක් විනා දුගතියක් නොලැබේ. මෙසේ සුගතිය හෝ දුගතිය තමා විසින් කෙරෙන කර්මය මත රැඳේ. බාහිර බලවේගයක් (දේව නිර්මිතයක්) කෙරෙන පාලනයකින් තොරව තමාගේම වගකීම මත රැඳෙන ක්‍රියා පිළිවෙතක් මෙයින් මතුවෙයි. තමා විසින් කෙරෙන පවින් තමා කෙළෙසන බවත් තමා පව් නොකිරීමෙන් තමා පිරිසුදු වන බවත්,

අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුප්ඣති
සුද්ධී අසුද්ධී පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤං විසොධයේ

එනිසා පිරිසුදු බව හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා කෙරෙහිමය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම වන්නේ තමාට පිහිට තමාම බවය. සියල්ල දත් බුදුවරයෙකුට වූවත් කළහැකි වන්නේ හුදෙක් යායුතුª මගපෙන්වාදීම පමණකි. සුදුසු යැයි වැටහෙන්නේ්නම් එම මග තමන් විසින්ම ගමන් කළ යුතුය. (තුම්හෙව කිච්චං ආතප්පං අක්ඛතාරො තථාගතා - ධ. ගා. 276)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.