UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කළ දේ පල දේ

සසර සැරිසරන සත්වයා රහත්භාවයට පැමිණෙන තුරු කර්මය කරපින්නා ගමන් කරයි. එය පුණ්‍ය කම්ම පාප කර්ම වශයෙන් දෙවැදෑරුම් වේ. ධම්මපදයේ බුදුපියාණන් වහන්සේ මෙය හඳුන්වන්නේ පාපකර්මය ගැල අදින ගොනා පිටුපස ගැල්සක පැමිණෙන්නා මෙන් තමා පසුපස සංසාරය පුරා පැමිණෙන බවය. පුණ්‍ය කර්මය තමා සමඟ පැමිණෙන සෙවණැල්ල මෙන් සසර පුරා තමන් සමඟ පැමිණෙන බවය.

තමන් කරනා කුසලා කුසල කර්ම මොනම හේතුවක් නිසාවත් වෙනත් අයකුට දීමට නොහැක. එය සසර පුරා තමන්ම විඳිය යුතුය.

අරහත්භාවයට පත් අගසව් මුගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් පහරකෑමට ලක්වී පිරිනිවන් පෑමට සිදුවූයේ පෙර භවයකදී මව්පියන්ට තලාපෙලා අඩන්තේට්ටම් කිරීමයි. ලෝසක මහරහතන් වහන්සේට රහත් ඵලයට පැමිණි ආත්මයේද කුස පුරා අහරක් ලබා ගැනීමට නොහැකි වූයේ කාශ්‍යප බුදුන් සමයේ රහතන් වහන්සේ නමක් සඳහා ගෙනගිය දාන පාත්‍රය ගිනි ගොඩකට දැමීමය.

කුණ්ඩදාන තෙරුන් වහන්සේ යන යන තැන කාන්තාවක් පිටුපසින් ගමන් කරනු පෙනේ. තමන් වහන්සේ තම කුටියේ සිට පිටතට පැමිණෙන විට කාන්තාවක් කුටියේ සිට පසුපසින් පැමිණේ. පිණ්ඩපාතයේ වඩිනවිටද පසු පසින් පැමිණේ. මෙයින් දායකයින්ගේ අවමානයට පත් වූ අතර ඇතැම් විට පිණ්ඩපාතය ද නැතිවිය. මෙසේ වීමට හේතුවූයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉතා කුලුපඟ භික්ෂූන් වහන්සේ දෙනමක් සිටියහ. එක් දේවතාවෙක් මෙයට ඊර්ෂ්‍යා කර මේ දෙදෙනා බිඳවීමට සිතීය. වනාන්තරය මැදින් වඩින මේ භික්ෂූන් වහන්සේ දෙනමගෙන් එක් අයෙක් ශරීර අවශ්‍යතාවයක් සඳහා වනයට ගිය අතර මේ දේවතාවා ස්ත්‍රී වෙසක් මවාගෙන වනයට ගිය භික්ෂූන් වහන්සේ පසුපස පැමිණියේය. මෙය දුටු අනෙක් භික්ෂූන් වහන්සේ මේ ස්ත්‍රිය සමග පෙරසිට සම්බන්ධයක් ඇති බැවින් කතිකාකර වනයට යන්න ඇතැයි සිතීය. ‘ඔබ සීලය බිඳගත්තා . මා සමඟ නම් එන්න එපා. අද පටන් ඔබ සමඟ මගේ මිතුරුකමක් නැතැ’යි වනයට ගිය භික්ෂූන් වහන්සේට අනෙක් භික්ෂූන් වහන්සේ පැවසූහ. ‘මා සීලය බිඳ ගත්තේ නැහැ. මා ස්ත්‍රියක් සමඟ පැමිණියේ නැහැ. මා ස්ත්‍රියක් ඇහැටවත් දැක්කේ් නැහැ. මා නිර්දෝශයි’ කියා එම භික්ෂූන් වහන්සේ පැවසුවද අනෙක් භික්ෂූන් වහන්සේ තමන් ඇසටම ස්ත්‍රියක් දුටු නිසා එය පිළිගත්තේ නැත. මේ හේතුවෙන් එම භික්ෂූන් වහන්සේලා දෙනම අසමගි වූහ. කුණ්ඩදාන ස්වාමින් වහන්සේ එම දේවතාවාය. එම පාප කර්මය නිසා කුණ්ඩදාන ස්වාමීන්වහන්සේ යන යන තැන ස්ත්‍රියක් පසුපස පැමිණෙන බව අනෙකුත් අය දුටහ.

චුල්ලපන්ථක තෙරුන් වහන්සේට සිවුමසක් තුළත් එක් ගාථාවක් පාඩම් කර ගැනීමට නොහැකි විය. කාශ්‍යප බුදුන් සමයේ පැවිදිව සිටි උන්වහන්සේ ඉගෙනීමට අපහසු භික්ෂූන් වහන්සේ නමකට නින්දා කිරීම මෙම අකුසලයයි. බෝධිරාජකුමාරයාට එක් දරුවෙකුවත් නොලැබුණේ් පෙර ආත්මභාවයක නැව් නැගී යන අතර නැව මුහුදුබත් වීම නිසා පිහිනාගොස් දූපතකට ගොඩ වී එම දූපතේ සිටි කුරුල්ලන් හා බිත්තර ආහාරයට ගත් පාපය නිසාය. අනුරුද්ධ රහතන් වහන්සේගේ සහෝදරියක වූ රෝහිණී කුමරිය ඉතාම රූමත්ය. නමුත් කුෂ්ඨ රෝගයක් සෑදී සාරේ ගලමින් දුගඳ හමන්නට විය. ඇය පෙර කළ අකුසලය වූයේ පෙර භවයකදී රජ බිසවක් වී සිටිය දී රූමත් නළගනකට රජු වැඩියෙන් ඇලුම් දක්වන නිසා ඇයට ඊර්ෂ්‍යාවෙන් ඇගේ යහනට විෂ වර්ගයක් දමා ඇය ජීවිතක්ෂයට පත් කිරීමයි.

ලකුන්ඨභද්ධිය මහරහතන් වහන්සේ මිටි වී ඉපදීමට හේතු වූයේ කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු නිදන් කර විශාල සෑයක් කිරීමට සූදානම් වනවිට එය මිටිකර සෑදීමට උපදෙස් දීමය.

උදේනි රජුගේ අගබිසව වූ සාමාවතී දේවිය ඇතුලු පන්සියයක් දෙනා සෝවාන් ඵලයට පත්කිරීමට තරම් ධර්ම ඥානයක් ඇති ඛුජ්ජුත්තරා උපාසිකාව කුදු වී ඉපදුනේ් පෙර ආත්ම භාවයකදී මදක් කුදු වී වඩින පසේ බුදුන්වහන්සේ නමක දැක එම බුදුන් වහන්සේ උපහාසයට ලක් කරමින් කුදු වී ගමන් කිරීමය.

සෝවාන් ඵලයට පත් මහාකාල උපාසකතුමා සොරකම් කළේ යැයි අසත්‍ය චෝදනාවකට ලක් වී පහර කා මියගියේ පෙර ආත්මයකදී සුරූපී කාන්තාවක් කෙරෙහි කාමුක හැඟීම් ඇතිව ඇගේ ස්වාමිපුරුෂයා මරා දැමීමයි.

මෙසේ තමන් කරණා පුණ්‍ය කර්මයක් හෝ පාප කර්මයක් එහි විපාක දෙමින් නිවන් දක්නා ආත්මභාවය දක්වා තමන් පසුපස පැමිණේ.

අල්පායුෂ්කබව, ලෙඩ රෝගවලින් පෙලීම, විරූප බව, අල්පේශාක්‍ය බව, නිර්ධනබව, කුලහීනබව, අඥානකම යන මේ කරුණු ද අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් ලැබේ. දීර්ඝායුෂ්ක බව, නිරෝගිකම, රූමත් බව, මහේශාක්‍යබව, ධනවත් බව ප්‍රඥාව ඇතිවීම, කුසල විපාක වශයෙන් ලැබේ. චූලකම්ම විභංග සූත්‍රය මෙයට හොඳම නිදසුනකි.

තෝදෙය්‍ය බ්‍රාහ්මනයාගේ පුත්‍ර සුභනම් මානවකයා බුදුපියාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14 ක් විමසීය. පින්වත් ගෞතමයන්වහන්ස, මිනිසුන් තුළ පවත්නා උසස් පහත් බවට හේතු කවරේද?

මද ආයුෂ ඇත්තාවූද, බොහෝ ආයුෂ ඇත්තාවූද, මිනිසුන් දක්නට ලැබේ. රෝගී නිරෝගී මිනිසුන් දක්නට ලැබේ. රූමත්, විරූපී මිනිසුන් දක්නට ලැබේ. අල්පේශාක්‍ය මහේශාක්‍ය මිනිසුන් දක්නට ලැබේ. මෝඩයෝ සහ ඥානවන්තයෝ දක්නට ලැබේ. පින්වත් ගෞතමයන් වහන්ස, මේ ප්‍රභේදයට හේතු කවරේදැයි විමසා දෙන්නැයි අයැදීය.

සුභ මානවකයාට පිළිතුරු දෙන බුදුපියාණන් වහන්සේ මානවකය කර්මය සසර පුරා තමා පසුපස පැමිණේ්යැයි වදාළ සේක.

කම්මස්සකා මාණව සත්තා කම්ම දායාදා කම්ම යොනි

කම්ම භන්ධු කම්ම පටිසරණ කම්මං සතෙත විභජති

යදිදං හීනප්පණීතතායාති

මානවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තෝය. කර්මය දායාද කොට ඇත්තෝය. කර්මය උත්පත්ති ස්ථානයක කොට ඇත්තෝය. කර්මය නෑයා කොට ඇත්තෝය. කර්මය පිහිට කොට ඇත්තෝය. සත්ත්වයන් අතර උසස් පහත් ගති ඇතිවෙන පරිදි සත්ත්වයින් බෙදන්නේ කර්මයයි.

1. අල්ප ආයුෂ්ක ඇතිවීමට හේතු දක්වන බුදුපියාණන් වහන්සේ සතුන් කෙරෙහි දයාවක් නැතිව සතුන් මරණ අය මරණින් මතු නිරයෙහි උපදී. යම් හේතුවකින් මනුෂ්‍ය උපතක් ලැබූවොත් ආයුෂ අඩුවෙයි. හෙතෙම අකාලයේ මියයයි.

2. සතුන් මැරීමෙන් වැළකී සියලු සතුන් වෙත පැතුරුනු දයාව හා මෛත්‍රීය ඇත්නම් හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී. මනුෂ්‍ය ආත්මයක් ලද නම් දීර්ඝායුෂ ලැබේ.

3. යමෙක් දඬුමුගුරුවලින් සතුන්ට හෝ මනුෂ්‍යයින්ට හිංසා කරතොත් ඔහු අපාගත වේ. මිනිස් ලොව උපනොත් බොහෝ රෝගාබාධයන්ගෙන් පෙලේ.

4. යමෙක් සත්ත්ව හිංසාවෙන් වැළකී හැම සතුන්ටම දයාව අනුකම්පාව දක්වයි නම් සෑම සතටම මෛත්‍රී වඩයිනම් මරණින් මතු දෙව්ලොව උපදී. මිනිස්ලොව උපනොත් රෝගා බාධයන්ගෙන් තොර නිරෝගී සුවයක් විඳී.

5. යමෙක් වහා කිපෙන්නේද, අනුන්ට සාප කරන්නේද ඔහු මරණින් මතු අපායේ උපදි. මිනිස් ලොව උපනොත් දුර්වර්ණ අවලක්ෂණ ශරීරයක් ඇතිව උපදී.

6. යමෙක් නොකිපෙයිද, අනුනට සාප නොකරයිද මෛත්‍රී‍්‍ර සිත් ඇත්තේ වේද, හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී. මිනිස් බව ලැබීනම් දුටුවන් පිනවන රූපයෙන් යුත් ඉතා ලස්සන ශරීර ඇතිවේ.

7. යමෙක් අනුන්ට ලැබෙන ලාභ සත්කාර ගරුබුහුමන් කෙරෙහි ඊර්ෂ්‍යා කෙරේද, හෙතෙම මරණින් මතු අපාගත වේ. මිනිස් උපතක් ලැබීනම් අල්පේශාක්‍ය වේ.

8. යමෙක් අනුන්ගේ සැපතට සතුටු වේද, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකෙරේද, හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී. මනුෂ්‍ය ආත්මයක් ලබතොත් මහානුභාව සම්පන්න මහේශාක්‍ය අයෙක් වේ.

9. යමෙක් ශ්‍රමණ , බ්‍රාහ්මණ දුගී මගී යාචක ආදීන්ට දන්දීමක් නොකෙරේද, අධික ලෝභය නිසා හෙතෙම මරණින් මතු උපනුපන් ආත්ම තුළ සම්පත්ති හීන දුගී දුප්පතෙක් වේ.

10. යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචක ආදීන්ට ශ්‍රද්ධාව ඇතිව තමන්ට හැකි පමණින් ආහාරපාන වස්ත්‍ර ආදිය දන් දෙන්නේ නම් හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී. උපන් උපන් ආත්මවල මහාසම්පත් ඇතිව මහා ධනවතෙක් වී උපදී.

11. යමෙක් අතිමානයෙන් යුතුව පිදිය යුත්තන් නොපූදයිද, වැඳීය යුත්තාට නොවඳීද, සත්කාර කළයුත්තාට සත්කාර නොකරයිද, මානය නිසා හෙතෙම මරණින් මතු අපාගත වේ. මනුෂ්‍ය ලෝකයේ උපනොත් පහත් කුළයක උපදී.

12. යමෙක් පිදිය යුත්තන්ට පුදන, ගරු කළයුත්තන්ට ගරු කරන මානයෙන් තොර අයෙක් වේද හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී.

13. යමෙක් උගත් සත්පුරුෂයින්ගෙන් අවවාද අනුශාසනා නොගනීද, සත්පුරුෂයින්ට ගරහයිද ඔවුන්ගේ අනුශාසනා පිළිනොගනීද, හෙතෙම උපනුපන් තැන අනුවණයෙක් වේ.

14. යමෙක් උගත් සත්පුරුෂ නුවණැත්තන් වෙත ගොස් තමන්ගේ වරද නිවරද කර ගැනීමටවත් දැනුම දියුණු කර ගැනීමටත් කුසල් අකුසල් හඳුනා ගැනීමට අවවාද අනුශාසනා ලබා ගනීද ඒ අනුව හැසිරේද හෙතෙම මරණින් මතු දෙව්ලොව උපදී. මිනිස් ලොව උපනොත් මහානුවණ ඇත්තෙක් වේ.

මෙසේ සසර සැරිසරනාතුරු තමන් කරන පුණ්‍ය කර්ම හෝ පාප කර්ම හෝ තමන් කරපින්නා පැමිණෙන බව සුභ මානවකයාට බුදුපියාණන්වහන්සේ පහදා දුන්සේක. දකිමි ස්වාමීනි, හැඳිනෙමි ස්වාමිනි, පින්වත් ගෞතමයාණන් වහන්ස, සැකහැර කරුණු අවබෝධ කරගතිමි. දිවි හිමියෙන් මම ඔබ වහන්සේ සරණයමි’ යි සුභ මානවකයා බමුණු මත අතහැර බුදුන් සරණ ගියේය.

බුදුපියාණන් වහන්සේ දේශනා කළ දුර්ලභ කරුණු අතරින් ‘දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ’ මනුස්ස ආත්මය ලැබීම ඉතාම දුර්ලභය. එසේනම් දුර්ලභව ලැබූ මනුස්ස ආත්මයෙන් යහපත් පැවැත්ම තුළින් සුගතිගාමි වෙනවාද? නැතොත් පංචකාම සැප විඳිමින් සිට දුගතිගාමි වෙනවාද? යන්න අපම තීරණය කළ යුතුය.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]