UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපරාධ වළක්වන බොදු දැහැමි ආකල්ප

පඤ්ච ශීලය ගිහියාගේ නිත්‍ය ශීලය යි. එය ගිහියාගේ නීතියකි. එය මැනවින් ආරක්ෂා කරන්නේ නම් කිසි අපරාධයකට නැඹුරු නොවේ. බුදු දහමට අනුව අපරාධයට දඬුවම් කළ යුත්තේ, එය නිවැරැදි කිරීම සඳහා ය.
සියලුම අරමුණු වලට හේතු කාරණා වන සිත (ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං) රැක ගැනීම තුළින් අපරාධ වලින් වැළකී සිටින්නට අපට බොහෝ ඉඩ ප්‍රස්ථාව ඇත.
පරඹුවන් මව මෙන් ද, අනුන් අයත් දේ කැට කැඹිලිති මෙන් ද, සියලු සතුන් තමන් මෙන් ද යමෙක් දකී ද, ඒ නිවැරැදි දැකීමයි. (සම්මා දිට්ඨි) මේ ආකාරයෙන් සිතීමට අපිත් උත්සාහ දරමින් රටේ අපරාධ මර්දනයට
මහත් වූ දායකත්වයක් දෙමු.

අපරාධය අපරාධයකි. එයට හේතුව නම් එය සෘජුව සහ බරපතල ලෙස සමාජයේ යහ පැවැත්මට හෝ ආරක්ෂාවට තර්ජනයක් වන බැවිනි. එබැවින් ඒ වෙනුවෙන් වන්දි දීමෙන් හානියට පත් අයට සහන සැලසීමෙන් අවසන් කළ නොහැකි ය.

සර් කාර්ල්ටන් ඇලන්

අපරාධය නම් වැරැදි සහගත ක්‍රියා කලාපයකි. අන්‍යයනට අල්ප මාත්‍රයක හෝ මානසික, කායික පීඩාවක් ඇතිවන ලෙස දැනෙන ලෙස යමක් සිදු කරන්නේ නම් එය අපරාධයක් ලෙස සැලකීම යුක්ති සහගත වේ.

වර්තමාන ලෝකය තුළ විද්‍යාමාන වන ආකාරයට නම් එසේත් නැතහොත් අද අපරාධයක් යැයි පිළිගැනෙනුයේ සත්ත්ව ඝාතනයක් හෝ ස්ත්‍රී දූෂණයක් හෝ විශාල මංකොල්ලයක් හෝ සිදු කිරීමක් ම ය. එය අද ලෝකය තුළ පවතින ධනවාදි ආර්ථික ක්‍රමය හා මතුවන හැඟීමකි. එය කෙසේ වුවද අපරාධය නම් බුදු දහම තුළ පෙන්වා දී ඇති ආකාරයට මුලින් කී පරිදිම ය. එකී උක්ත කරුණු ගැන විමසිලිමත්ව සලකා බලන කළ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දේවතා වර්ගයේ එන හිරිගාරව සූත්‍රය මනා පිටිවහලක් වනවා නිසැකය. ඒ අනුව හිරි ගාරවතා යනු පාපයෙහි ලැජ්ජා වීමයි. ඔත්තප්ප ගාරවතා යනු පාපයෙහි බිය වීම හෙවත් තැති ගැනීමයි. තමා හා සම්බන්ධ කුල ගෝත්‍රය, වයස, පරම්පරාව, දක්ෂතාවය, බහුශ්‍රැතභාවය ආදි හේතු ගුණ ධර්ම හෝ තත්ත්ව තනතුරු සලකා තමාට පව් කිරීම නුසුදුසු යැයි සිහි නුවණින් යුතුව විමසා බලා කටයුතු කිරීම හිරි ගෞරවය නමින් හැඳින්වේ. එම නිසා මෙය තමා හා සම්බන්ධ වැදගත්කම ආදිය මුල් කොටගෙන පවතින හෙයින් අත්තාධිපතෙය්‍ය නම් වේ. ලොකාධිපතෙය්‍ය වශයෙන් හඳුන්වා දී ඇත්තේ බාහිරව දැකිය හැකි උවදුරු සලකා ගෙන පාපයට ඇති බියයි. මෙකී හඳුන්වන බිය හෙවත් තැති ගැනීම කොටස් හතරකින් දක්වාලිය හැකිය. එනම්

* අත්තානුවාද භය - තමා තමාට දොස් කියතියි බිය වීම.
පරානුවාදය භය - අනුන් තමාට දොස් නඟතියි බිය වීම
දණ්ඩ භය - දඬුවමට බිය වීම
දුග්ගති භය - දුගතියට බිය වීම

යනුවෙනි. මේ බෙදීම් ක්‍රමයට අනුව බලන විට අපට මැනවින් ප්‍රත්‍යක්ෂ වනුයේ යමෙකු විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවලියක දී පවා එයට බාහිර ලෝකය තුළින් ලැබෙන ප්‍රතිචාරය මේ හා සම්බන්ධ වන බවයි.

කරනු ලබන ක්‍රියාව යහපත් විය හැකිය. එවිට යහපත් ප්‍රතිචාර ලැබේ. අයහපත් ක්‍රියාවන් සිදු කරන විට ලැබෙන ප්‍රතිචාර ද අයහපත් සේම අසුභවාදී වේ. මෙසේ යම් කරුණක් ගෙනහැර දක්වාලමින් මාතෘකාවට ප්‍රවේශ වීමට අදහස් කළේ අපරාධයක් කිරීම තුළින් එයට ලැබෙන ප්‍රතිචාරයන් කුමන ආකාර යන්න විමසා බැලීමට සේම එයද මාතෘකාවට යම් ආකාරයක අදාලත්වයක් ඇති බැවිනි.

අපරාධයක් යමෙකු කෙරෙන් සිදු වූ විට එයට ලැබෙන ප්‍රතිචාර උක්ත කාරණා සතරින් එකක් හෝ විය හැකිය. එනමුත් යමෙකු විසින් මේ සතර ආකාර වූ බිය එළඹ සිටි නුවණින් යුතුව දැන අවබෝධ කොටගෙන අපරාධ කිරීමෙන් වැළකීමට උත්සාහ කරණු ලබයි.

එයද අපරාධ කිරීමෙන් වැළකීම සඳහා බුදු දහම තුළින් පෙන්වා දෙන මහැඟි කාරණයකි. එසේම අපරාධය සම්බන්ධ තවත් විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ් වී නම් එය අප කරනු ලබන අයහපත් නරක පාපී අකුසල් සහගත ක්‍රියාවන් ලෙස ද හඳුන්වා දීම නුසුදුසු නොවේ. එවිට මෙකී කරුණු කර්මය හා සම්බන්ධව ද කථා කළ හැකිය. එනමුත් මේ උදෙසා ප්‍රස්තුතයට අනුව බුදුදහම තුළ විශේෂයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා දඬුවම් ක්‍රම හතක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. ඒ භික්ෂූන් වහන්සේ අතින් සිදුවන වැරදි හෙවත් ආපත්ති සඳහා ය. එය ‘දහමෙහි දණ්ඩ’ කම්ම ලෙස නම් කර ඇත.

තඡ්ජනීය කම්ම
නියස්ස කම්ම
පබ්බාජනීය කම්ම
පටිසාරණිය කම්ම
ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කම්ම
ඇවතට පිළියම් නොකිරීමේ උක්ඛේපනිය කම්ම
පවිටු මිසදිටුව අත් නොහැරීමෙහි උක්ඛේපනීය කම්ම

යනුවෙන් පෙන්වා දිය හැකිය. මේ සෑම දෙයක් ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ භික්ෂුව අතින් සිදුවන වැරැදි හැකිතාක් දුරට අවම කර ගැනීම උදෙසාම ය.

මෙහිදී වැරැදි යන්නෙන් අඩ දබර කෝලහාල ආදි සුළු වැරැදි ද අදහස් වේ. මේ අනුව බලන විට අපරාධ මර්දනය සඳහා බුදු දහමෙන් ලැබී ඇති මාර්ගෝපදේශකත්වය අතිමහත් යැයි සිතිය හැකිය. මෙකී සෑම කරුණක්ම භික්ෂූන් වහන්සේ අරභයා දෙසුව ද ගිහි පැවිදි දෙපක්ෂයට වර්ග කිරීමකින් තොරව අදාල වේ.

ලංකාව වනාහි ප්‍රාණඝාතයාදි පස් පවින් විනිර්මුක්ත වූ රටකි. නිරතුරුව බුදුදහමේ පහස විඳිමින් ජීවත් වූ පිරිසක් සිටි රටකි. එනමුදු භාග්‍යය නැතිකම කාහට වැළකිය හැකිද? ක්‍රි.පූ. 2 වන සියවසේ සිටම ලක්දිව විදේශික ආක්‍රමණ නිසා එහෙට මෙහෙට තල්ලුවෙමින් විටෙක ආගම, විටෙක භාෂාව, විටෙක සංස්කෘතිය වෙනස් භාවයට පත්වුණි. එම නිසාම එ දවසට පෙර මෙරට තුළ පැවැති සියල්ල පරිහානියට පත්විය. රටේ ගතානුගතික ක්‍රමය අඩාල විය.

අද ද එකී කරුණකට රට ඇද හැලී ඇත. ඒ ත්‍රස්තවාදය යි. ත්‍රස්තවාදය නමැති බිහිසුණු රාක්ෂයා නිසාම අද රට තුළ කෙතරම් අපරාධ සිදුවීද? යන්න සිතා ගැනීමට තරම් අපහසු කාර්යයකි. ඒ මුදල ධනය බලය තම ජීවයේ එකම අභිප්‍රාය කරගත් ඇතැම් පිරිසකගේ අධම පහත් ක්‍රියාකලාපයකි.

සංස්කෘතිය හා ආගමික පරිහානියෙන් විනිර්මුක්තව යළි නැඟී සිටීමට නම් අපට පරිබාහිරින් පැමිණෙන සෑම බලවේගයක් උදෙසාම නැඟී සිටීම අද අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. මන්ද අප රට සශ්‍රීකත්වයෙන් අගතැන් පත් රටකි. එයට තම අණසක පතුරාලීමට වෑයම් කරන්නෝ බොහෝය. බාහිර බලවේගයනට නතු වුණු මෙරට ඇත්තෝ ද නැතුවාම ද නොවේ.

ඒ කෙසේ නමුදු මෙය අපේ රටය යන හැඟීම කා සතුව ද තිබිය යුතුම ය.

ධනවාදී ආර්ථික ක්‍රමය හමුවේ අපට අද පවතින අවශ්‍යතාවයන් රාශියකි. එකී දහසකුත් අවශ්‍යතාවයන් කෙසේ හෝ සපුරා ගැනීමට ඔබ අප සැවොම නිරායාසයෙන් ම ඒ වෙත එළඹ ආයාසයෙන් ඒ කරා හඹා යන්නේ ය.

එවිට මෙය හොඳ ද? නරකද? අපේ බෞද්ධ සංස්කෘතියට උචිත ද? නැද්ද? යන්න හෝ විමසා බැලීමක් කිසිවිටක හෝ සිදු නොවේ. එහෙයින් එකම අභිප්‍රාය වනුයේ කෙසේ හෝ තම තමන්ගේ් අවශ්‍යතාවයන් සපුරා ගන්නට ධනය ඒකරාශි කිරීමයි. එය දැනට පවතින සත්‍යය යි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ,

මස් මාංශ වෙළඳාම
අවි ආයුධ වෙළඳාම
වහල් වෙළඳාම
මත්පැන් වෙළඳාම
වස විෂ වෙළඳාම

ආදී ධනෝපායන ක්‍රම තුළින් උපයන ධනය සාධාරණත්වයකින් තොර හුදෙක් එය නිෂ්ඵල ක්‍රියාවක් බවයි.

එහෙත් අද රට තුළ මේ සෑම ක්‍රියාවක් ම අනුගමනය කර ගනිමින් ජනයා මුදල් උපයයි. මේ නුසුදුසු ක්‍රියාවන් ම අනුගමනය කර ගනිමින් ධනය සෙවීම මූලික වී සමාජය තුළ නන් අයුරින් අපරාධ සිදු වේ.

එය මිනීමැරුම්, පහරදීම් ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, සිය දිවි හානි කර ගැනීම් ආදී වශයෙන් වර්ගීකරණය කොට දැක්විය හැකිය. ප්‍රවෘත්තියකට සවන් දුන් විටද පත්තරයකට නෙත් යොමු කළ විටද අපට ඇසෙන්නේ පෙනෙන්නේ බොහෝ විට මෙකී ක්‍රියා කලාපයන් ය. මෙය සමාජ ව්‍යුහය තුළ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය දුරස් වීමකි.

අපරාධ මර්දනයට බුදුදහම ප්‍රබල ආයුධයකි. බුදුපියාණන් වහන්සේ වනාහි නීති විශාරදයෙකි. මක් නිසාද? අපරාධ වැළැක්වීම අරභයා අවශ්‍ය කාරණා උපදෙස් ලබා දී ඇති හෙයිනි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ ගිහි පක්ෂය කෙරෙන් සිදුවන වැරැදි අපරාධ නමින් ද පැවිද්දන් කෙරෙන් සිදුවන වැරැදි පාරාජිකා නමින් ය. පොදුවේ විමසා බැලූ විට අපරාධ වලින් මිඳීම සඳහා ඇති නිර්දේශය ශික්ෂා පද පිළිබඳ ඇති නීති දර්ශනය යි.

සමාජයේ මුලින් ම නීති දර්ශනයක් ගොඩනංවා ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. එය ග්‍රන්ථ පහකින් යුක්ත විනය පිටකය යි. ගිහි විනය , පැවිදි විනය මුල් කොට ලියවුණකි. එසේම බෞද්ධ නීති පද්ධති විවිධ සූත්‍ර දේශනාවල හා බෞද්ධ විනයෙහි දක්නට ඇත.

පඤ්ච ශීලය ගිහියාගේ නිත්‍ය ශීලය යි. එය ගිහියාගේ නීතියකි. එය මැනවින් ආරක්ෂා කරන්නේ නම් කිසි අපරාධයකට නැඹුරු නොවේ. බුදුදහමට අනුව අපරාධයට දඬුවම් කළ යුත්තේ එය නිවැරැදි කිරීම සඳහා ය. නැතිනම් අපරාධයට දඬුවම් දීම පිළි නොගනී. දඬුවම තුළින් ජීවිත විනාශය අකමැති වේ.

හැඟීම් වලට වහල් වීමේදී මේ මවය, සහෝදරියය, නැන්දා ය යන කල්පනාව පවා අමතක වී යයි. එම නිසා ප්‍රධාන වශයෙන් අපරාධ වලට මූලික වන්නේ සිතයි.

සියලුම අරමුණු වලට හේතු කාරණා වන සිත (ආරම්මණ විජානන ලක්ඛණං චිත්තං) රැක ගැනීම තුළින් අපරාධ වලින් වැළකී සිටින්නට අපට බොහෝ ඉඩ ප්‍රස්ථාව ඇත.

පරඹුවන් මව මෙන් ද, අනුන් අයත් දේ කැට කැඹිලිති මෙන් ද, සියලු සතුන් තමන් මෙන් ද යමෙක් දකී ද,ඒ නිවැරැදි දැකීමයි.

(සම්මා දිට්ඨි) මේ ආකාරයෙන් සිතීමට අපිත් උත්සාහ දරමින් රටේ අපරාධ මර්දනයට මහත් වූ දායකත්වයක් දෙමු.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]