Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු සමය හෙළි කළ පෘථුල ආර්ථික දර්ශනය

පරිභෝජනවාදී ආර්ථිකයක රැඳෙමින් අසීමිත අවශ්‍යතා හමුවේ නොනවත්වා හඹා යමින් වෙහෙසට පත්ව සිටින අපට බුදු දහමින් අපූර්ව ආර්ථික දර්ශනයක් හඳුන්වා දෙයි. සේවක - ස්වාමි සබැඳියාවේ සිට ඉතුරුම් සංකල්පය දක්වා විහිදී යන පෘථුල ආර්ථික දර්ශනයක් බුදුදහමේ අඩංගු වන බව පවා බොහෝ දෙනා නොදනිති. එබැවින් නොනැවතී දුවන තරගකාරි ජීවන රටාවෙන් ධාර්මික ජීවන රටාවකට උපදෙස් පතමින් බුදු දහමේ ආර්ථික දර්ශනය පිළිබඳ සාකච්ඡා කරනු වස් මෙවර මුවදොර වදනට ගෞරවයෙන් ආරාධනා කළේ. රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බෙලිගල්ලේ ධම්මජෝති හිමියන්ටයි. උන් වහන්සේ සමඟ කෙරුණු සංලාපයේ සංක්‍ෂිප්තය පහත දිග හැරේ.

ප්‍රශ්නය - සමහර චින්තකයන් සඳහන් කරනවා බුදුදහමේ ගැඹුරින් සාකච්ඡා කෙරෙන සමාජ, දේශපාලනික, ආර්ථික දර්ශනයක් නොමැති බව. එහෙත් බුදු දහම පිළිබඳ අවධානය යොමු කරන විට මේ මතය සාවද්‍යවනවා නොවේද හාමුදුරුවනේ?

බුද්ධාගම නිර්වානගාමී ප්‍රතිපදාවක් උගන්වන්නේ. ඒ නිර්වානගාමී ප්‍රතිපදාව ඉගැන්වූවාට එය වෙනත් ආගම්වලින් වෙනස් වන මූලික කාරණයක් තමයි බුදුදහමේ පැහැදිලි සමාජ දේශපාලන, ආර්ථික දර්ශනයක් ගැබ් වී තිබීම. එක් කාලයක ඇතැම් උගතුන් ප්‍රකාශ කළා බුදු සමයේ සමාජ දර්ශනයක්, දේශපාලන දර්ශනයක්, ආර්ථික දර්ශනයක් නැහැයි කියලා. එක් අවස්ථාවකදී මැක්ස් වෙබර් කියන පඬිවරයා ‘බුදු සමය සමාජ විරෝධි, දේශපාලන විරෝධී, දහමක් කියලා කිව්වා. ඒ අදහස් සාවද්‍යයි. ඒ වගේම ඉන්දියාවේ පඬිවරයෙක් හිටියා. විශ්වනාත් ප්‍රසාද් වර්මා කියලා. ඔහු කිව්වෙත් බුදු දහමේ ආර්ථික දර්ශනයක් නැහැ කියලායි. නමුත් අපි බුදුදහමේ මුලික සූත්‍ර පරිහරණය කරන කොට, මූලික මූලධර්ම පිළිබඳ විමසා බලනකොට පැහැදිලිවම පෙනෙනවා බුදු දහමේ සමාජ දේශපාලන, ආර්ථික දර්ශනයක් තියෙනවා කියලා. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයාට පැහැදිලි කළේ ජීවිතය සතුටින් පී‍්‍රතිමත්ව ගත කරන්න. ‘පද්මාකාර’ ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි කියලයි. ඒ කියන්නේ පියුමක් සේ ජීවත්වන්න කියලයි. සියලු සත්ත්වයන් ආහාරය නිසා ජීවත්වනවාය යන්න දේශනා කළා. එය තමයි ප්‍රාථමිකමාකාරණය.

මේ ආකාරයට මනුෂ්‍යයාගේ ආර්ථික පක්ෂය පිළිබඳ බෞද්ධ දර්ශනයේ බොහෝ තැන්වල සූත්‍රවල සඳහන් වෙනවා. විශේෂයෙන් දීඝ නිකායේ කූඨදත්ත සූත්‍රය, චක්කවන්ති සීහනාද සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය ආදී දීඝ නිකායේ සූත්‍රවල පවා මේ අදහස් ගැබ් වී තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ‘සම්මා වායාම’ ‘සම්මා ආජීව‘ කියන ගුණාංග ඇසුරෙන් ආර්ථික දර්ශනයන් තිබෙන බව පැහැදිලි වෙනවා. හැබැයි බුදු සමය නිර්දේශ කරන්නේ සාමාන්‍ය අපි එදිනෙදා කතා කරන ආචීර්ණ කල්පිත සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාවේ ලක්ෂණ නම් නොවෙයි.

බුදුසමයේ සාකච්ඡා කෙරෙන්නේ ආචාරාත්මක ආර්ථික විද්‍යාවක් (Ethical Econmics ඒ බෞද්ධ ආර්ථික විද්‍යාවේදී මූලික වන්නේ මිනිසා. මේ අනුව ත්‍රිපිටකයේ බොහෝ සූත්‍ර පරිහරණය කරන කොට අපට පැහැදිලි වෙනවා.

විනය පිටකයේ පවා මනුෂ්‍යයාගේ ආර්ථිකයට අදාළ කරුණු භික්ෂුව ආර්ථික වශයෙන් හැසිරිය යුතු අයුරු රජය ආර්ථික වශයෙන් මැදිහත් විය යුතු අයුරු යනාදී කරුණු හා ධනය පිළිබඳ දක්වන ආකල්පය යනාදී සෑම ක්‍ෂේත්‍රයක් ම සාකච්ඡා කෙරෙන බව දිළිඳුකම, බදු අය කිරීම ඇතුළු සියලු අංශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කොට තිබෙනවා.

දීඝ නිකායේ කූඨදත්ත සූත්‍රය ගතහොත් යම් රාජ්‍යයක් සුභික්ෂ රාජ්‍යයක් බවට ඒ කියන්නේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සඳහන් වන ලෝකයේ දැනට පවතින පැරැණිම සටහන එහි හමුවෙනවා. කි. පූ. 6 වන සියවසේදී චක්කවත්තී සීහනාද සූත්‍රයේ ‘දිළිඳුකම’ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා.

බෞද්ධ ආර්ථික දර්ශනය මිනිස්කමට මුල්තැන දෙන ආචාරාත්මක බලවේගයක් මඟින් මෙහෙයවන ආර්ථික දර්ශනයක්. එය නීතියෙන් මෙහෙයවනවාට වඩා මනුෂ්‍යයා ශික්ෂිත තත්ත්වයට පත් කරන එමගින් මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයෙන් ඇතිවන්නා වූ සකස් වීම අනුව මිනිස්කමට මුල්තැන් දුන් ආචාරාත්මක සැලැසුම් අඩංගු ආර්ථික දර්ශනයකි.

බෞද්ධ ආර්ථික දර්ශනයේ සාකච්ඡා කරන්නේ අසීමිත ආශා සංසිදවනවා වෙනුවට අසීමිත ආශාවන්හි සීමාකරණයක් ගොඩනැංවීම පිළිබඳවයි. එහිදී තරගය වෙනුවට ‘සහයෝගය’ නිර්දේශ කරනවා. තරගය ප්‍රතිකේෂ්ප කරනවා.

ශ්‍රමය පිළිබඳ ආකල්පය

ප්‍රශ්නය - බුදුදහමේ ‘ශ්‍රමය’ පිළිබඳ කවරාකාර තොරතුරුද සාකච්ඡා කෙරෙන්නේ? ශ්‍රමය වගුරුවා කළයුතු දැහැමි ජීවනෝපායන මාර්ග ලෙස හඳුන්වා ඇත්තේ මොනවා ද?

ශ්‍රමය ගැන කියනකොට එහිදී ධාර්මික ශ්‍රමය වැය කරන්නේ කෙසේද? ශ්‍රමය වැයකළ යුතුවන්නේ කෙලෙසද යන්න පිළිබඳ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙනවා.

බෝගාවුන්ති වුට්ඨානි විරියාධිගථා

බාහාබල පරිචිතා

සේදා වක්ඛිත්තා

ධම්මිකා ධම්මලද්දා

යනුවෙන් බුදු හාමුදුරුවෝ දේශනා කොට තිබෙනවා. ඒ කියන්නේ උට්ඨාන වීර්යයෙන් හොයන්න ඕන. බාහුබල ඒ සඳහා යොදන්න ඕන. දහඩිය වගුරුවන්නට ඕන. හැබැයි ඒ සියල්ල දැහැමින් හා ධාර්මිකව සොයා ගත් විය යුතු වනවා. ‘ධම්ම’ කියන එක තමයි උපයා ගැනීමේ සීමාව ලෙස දක්වන්නේ. මේ ධම්ම කියන සීමාවට යටත් වෙලා බුදුසමය නිර්දේශ කරනවා. විවිධ රැකියා වර්ග පහක්. එයින් එකක් තමයි ‘යධි කසියා’ කියලා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය කරන ක්‍රම අතරේ පළමු ජීවන වෘත්තිය වන කෘෂිකර්මය පිළිබඳවයි.

ඊළග ‘යධි මනිජ්ජාය’ ඒ කියන්නේ වෙළ හෙළදාම් කටයුතු. නමුත් පෙර කී ‘ධම්ම’ කියන සීමාවට යටත්වයි. අනිත් රැකියාව පශු පාලන කටයුතු ලෙස දක්වනවා. ඒ කියන්නේ ගව පාලනය. ඒකෙන් අදහස් වන්නේ ගවයාගෙන් ලැබෙන පුදුම මට්ටමේ සම්පත් සමුදාය මේ සමාජයේ පෝෂණය සම්බන්ධව යොදා ගැනීමයි. ඊළඟට ‘ඉස්සත්ත’ කියන එක. ඒ කියන්නේ හමුදා සේවය. බුදු සමයේ දී හමුදා සේවය කියන්නේ දැහැමි රැකියාවක්.

ප්‍රශ්නය - ඔබවහන්සේ දැහැමි රැකියා වශයෙන් නම් කළ ජීවනෝපාය මාර්ග පහෙන් පස්වැන්න අරමුණු කර ගන්නේ කුමන ක්‍ෂේත්‍රයක් ද?

පස්වැන්න තමයි ‘යධි සිප්පඤ්ඤතරේන’ කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ තමන් දන්නා කියන විවිධ ශිල්ප ශාස්ත්‍ර. ඒවා අනුසාරයෙන් දැහැමිව ජීවන මාර්ගය සලසා ගැනීමත් දැහැමි ජීවනෝපායන් මාර්ගයක් ලෙසටයි ගැනෙන්නේ. කෘෂි කර්මාන්ත කටයුතු වෙළහෙළදාම් කටයුතු, පශු පාලන කටයුතු හමුදා සේවය හා වෙනත් තමන් දන්නා කියන ශිල්ප අනුසාරයෙන් ජීවනෝපායන මාර්ගය සලසා ගැනීම, ඒ අනුව බුදු දහමට අනුකූ®ලව වැදගත් වන බවයි සඳහන් වන්නේ. එතැනදී මූලිකම දේ තමයි ‘ධම්ම’ කියන සීමාවට මේ සියල්ල යටත්ය යන්න අවබෝධ කර ගැනීම. බෞද්ධ භික්ෂුවගේ ශ්‍රමය සමාජයේ සාමාජිකයන්ගේ යහපත් වාතාවරණයක් යහපත් සමාජයක් ශික්ෂණයක් සහිත සමාජයක් හා සාමකාමී වටපිටාවක් නිර්මාණය කර ගැනීම යන කාරණා වලට වැදගත් වෙනවා. එතකොට ඒක මූලික වශයෙන් සේවා සාධනයක්.

ප්‍රශ්නය - පුද්ගල ශ්‍රමය ලබා ගැනීමේදී එය ධාර්මිකව ලබා ගැනීමේ ක්‍රමවේදය වශයෙන් බුදුදහම අර්ථ දක්වන්නේ කවර ක්‍රමයක් ද?

සේවක පන්තිය පිළිබඳව හැමදාම නොසැලකිල්ලක් තියෙනවා කියලා ලෝකය පුරාම සාකච්ඡා වෙනවා. ලෝක ඉතිහාසයේ ස්වාමි, සේවක සම්බන්ධතාව කියන එක ඉතාමත් ම ධාර්මිකව යථාර්ථවාදීව සාකච්ඡා කරලා තියන්නේ බෞද්ධ ධර්මයේ පමණයි. ස්වාමි සේවක සම්බන්ධතාව දෙස බැලුවහම අපට පේනවා බුදුදහමට අනුව ස්වාමියා සේවකයා දෙස බැලිය යුතු වන්නේ ඔහු මගේ සේවකයාය කියන අර්ථයෙන් නොවෙයි.

මේ මගේ මිත්‍රයෙක් ය කියලා සිතිය යුතු බවයි දක්නට ලැබෙන්නේ.

ක්‍රි.පූ. 6 වන සියවස කියන්නේ අසීමිත වශයෙන් සේවකයන්ට තාඩන පීඩන එල්ල කළ යුගයක්. සේවක පන්තියට නිසි ආකාරයේ සැලකුම් ලැබුණේ් නැහැ. බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රය දේශනා කරමින් පවසනවා ඉතා වටිනා අපූරු කතාවක්.

යථා බල කමිමන්න සංවිධානේන - ඒ කියන්නේ බාහුබල ප්‍රමාණයට පුද්ගලයාගේ ප්‍රමාණයට වැඩ පවරන්න කියලයි. ඊළඟට කියනවා

බත්ත වේතනං පදානේන - ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය සහ වැටුප් ප්‍රමාණවත්ව ලැබිය යුතු බවයි.

දැන් සමහර කම්කරුවන්ට ආහාර වලට වියදම් කළාම වේතනයක් ඉතිරිවන්නේ නැහැනේ.

ගිලන් වුවහොත් ඒ අයට සලකන්න ඕන. ඊළඟට

අචිචරියානං රසානං සන්නිබා

ස්වාම් සේවක යුතුකම්

තමන් ලබන්නා වූ ආශ්චර්යවත් රසාස්වාදයන් සේවකයන්ටත් ලබා දිය යුතු බවයි එහි සඳහන් වන්නේ. ඒ කියන්නේ මේ තමන් කන කේක් කෑල්ලත් දෙනවා කියන එක නොවෙයි. තමන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලදී වාණිජ කටයුතු වලදී තමන්ට ලැබෙන්නා වූ ආශ්වාදන ලාබ ආදී දේ වලින් කිසියම් ප්‍රතිශතයක් සේවක ජනයාට හිමි විය යුතුයි. එතකොට තමයි සේවක ජනතාව තෘප්තිමත් වන්නේ. ඊළඟට,

(සමයේ වොස්සක්කි) සුදුසු කල විවේක නිවාඩු ආදිය ලබා දිය යුතුයි කියන එකයි එහි අදහස. දැන් බොහෝ විට විවේක නිවාඩු, විශ්‍රාම බොහෝ අවස්ථාවන්හිදී වැඩ කරන සේවකයන්ට ලැබෙන්නේ නැහැ. අපේ රටේ තත්ත්වය ගතහොත් සමහර කර්මාන්ත ශාලාවල සමහර තරුණ කාන්තාවන් ප්‍රකාශ කරනවා අපිට පෝයදාට විතරයි හඳ දකින්නවත් ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ මොවුන් දිවා රාත්‍රී වැඩ. ඒකෙන් පේනවා ඔවුන් බොහෝම වෙහෙසට පත්කරලා ඒ අයගේ ශ්‍රමය කිසියම් ආකාරයක අනිසි විදියට ලබා ගැනීමක් පිළිබඳව. බුදු හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරනවා සුදුසු කාලයේ විවේක, නිවාඩු, විශ්‍රාම යනාදිය දෙන්න ඕන කියලා. ඒ විවේක ආදිය දෙන ගමන් තමයි කම්කරුවන්ගෙන් වැඩ ගන්න කියලා තියෙන්නේ. මෙතනදී බුදු හාමුදුරුවෝ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ඒ තමයි සදිසාව පිළිබඳ විග්‍රහය. සදිසාවේ යට දිසාව වන්නේ සේවක කම්කරු යනාදියයි. යට දිසාව කිව්වහම අපි හිතන්නේ ඒ නොසැලැකිල්ල නිසා එහෙම යටට දැම්මා කියලයි.

නමුත් එහෙම නොවෙයි යට දිසාවට දාලා තියෙන්නේ මොකද, මේ සමාජයේ ආර්ථිකයේ පදනම තමයි සේවක කම්කරුවෝ. නොසැලකිල්ලක් කිරීමට එය නොකළ බව පැහැදිලි වෙනවා. බුදු හාමුදුරුවෝ මේ සදිසාවන්ටම නමස්කාර කරන්න කියලා කියපු එකෙන්. සදිසාවටම ‘නමස්ස්‍යෙය” කරන්න කියලයි කිව්වේ. එහෙම නොවුනානම් බුදු හාමුදුරුවන්ට කියන්න තිබුණේ්යට දිශාවට නමස්කාර කරන්න කියලා නොවෙයි අනුග්‍රහ දක්වන්න කියලයි. ඒකෙන් අපට පැහැදිලි වෙනවා බුදු සමයේ සේවක කම්කරු පක්ෂයට දක්වා තිබෙන ආකල්පය. හුදෙක් ස්වාමියා සේවකයා කෙරෙහි දැක්විය යුතු වන්නේ පහත් ආකල්පයක් නොව, මිත්‍ර ශීලී ආකල්පයක් බව.

ඒ වගේම සේවකයන් ස්වාමියා කෙරෙහි දැක්විය යුතු යුතුකම් පිළිබඳව ද දක්වා තිබෙනවා. එහිදී සේවකයන් ස්වාමියා කෙරෙහි අනුකම්පා කොට අපේ කටයුතු යුතුකම් නිසි පරිදි ඉටුකළ යුතුයි යනුවෙනුයි,සේවකයෝ සිතිය යුතු බව දැක්වෙන්නේ.

කිසිම ආකාරයකින් බුදු දහමේදී සේවක කම්කරුවන් පහත් තත්ත්වයට පත් කරලා කතා කරලා නැහැ. මම හිතන්නේ සේවක කම්කරුවන් පිළිබඳව ඉතාම වටිනා , නිවැරැදි සාධාරණ ප්‍රකාශයක් තමයි සිගාලෝවාද සූත්‍රයේ දක්නට ලැබෙන්නේ.

ප්‍රශ්නය :- පරිභෝජනවාදී සමාජයක් පවතින මෙවන් වකවානුවක ඔබ වහන්සේ පවසන දැහැමි ජීවනෝපායන මාර්ග හා ඒවායේ නිරත විය යුතු අන්දම යථාර්ථයෙන් ඔබ්බට ගිය අදහසක් ය කියලා කෙනෙක් පැවසීමට ඉඩකඩ තිබෙනවා.

මම හිතන්නේ බෞද්ධ ක්‍රමයට අනුව මේ කටයුත්ත ප්‍රායෝගිකව කරන්න පුළුවන්. එහෙම කරන රටවල් තියෙනවා චීනය, කොරියාව , ජපානය වගේ රටවල සමහර ව්‍යාපාරිකයෝ බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව ධාර්මික ස්වාමි සේවක සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම අපේ රටෙත් සමහර අවස්ථා වලදී දකින්නට ලැබෙනවා. මේ ස්වාමි සේවක සම්බන්ධතාව. ධාර්මික සම්බන්ධතාවක් වශයෙන් ගොඩනගා ගැනීමට උත්සාහ කරන ස්වාමිවරු ඉන්න බව. මේක අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දෙයක්. තරගකාරි සමාජයේ අපි සේවකයාගෙන් අනවශ්‍ය ආකාරයේ වැඩ ලබාගෙන ඔහුට අවම වැටුපක් ලබාදීලා අපට ලාභය උපරිම කර ගැනීමේ ක්‍රියාවලියට යනවා වෙනුවට සේවකයාද තෘප්තිමත් කොට ලාභය උපයා ගැනීම කියන තැනටයි පැමිණිය යුතු වන්නේ. දැන් අපේ රට ගත්තොත් ඒකට ඉස්සර කිව්වේ “පෙරදිග ධාන්‍යාගාරය” , “ධර්මද්වීපය” වැනි ලෙසින්. දුටු ගැමුණු රජු ගේ කාලයේ අපි අහලා තියෙනවා රුවන්වැලි සෑයේ සේවය කරන්න ගිය කම්කරුවන්ගෙන් නොමිලේ වැඩ ගත්තේ නෑ. ඔවුන්ට බලෙන්ම වගේ රජතුමා වැටුපක් ලබා දුන්නා. ධාර්මික සම්බන්ධතාවන්ගෙන් තමයි පුරාතන යුගය ස්වයංපෝෂිත වූණේ. බටහිර සමාජයේ කෘෂිකර්මාන්ත ආදිය කරද්දී කුරුල්ලන්, සතුන් සියල්ලන් විනාශ කරලා තමයි ඵලදාව ලබා ගන්නේ. නමුත් අපේ පෙරදිග වාරි ශිෂ්ටාචාරයේදී අපේ සමාජයේ තියෙන්නේ අපි සතුන් වෙනුවෙන් වෙනම ලියැද්දක් වෙන් කළා. මේකට කියනවා “කුරුළු පාලුව“ කියලා. එතකොට ගොවියාගේ සමස්ත කුඹුරට කුරුල්ලන් හානියක් නොකර අර ඔවුන්ට වෙන් කරපු ලියැද්දෙන් වී කාලා යනවා.

අපේ සමාජයේ දී අපි ස්වභාව ධර්මය පෝෂණය කරමින් තමයි අපිත් පෝෂණය වුණේ. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.