Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පංච ශීලයෙන් හෙළි වන සමාජ දර්ශනය

බෞද්ධයාගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. මේ පංච ශීලය බුද්ධ කාලය සිට පැවැතුණු ඉතා වැදගත් අංග පහකි. එකල සමාජයෙහි පැවැති විවිධ සමාජ අහිතකර වැරැදි අතර ප්‍රධාන ගනයේ වැරැදි හා සමාජ ද්‍රෝහී ක්‍රියා පහක් දක්නට ලැබිණි. සාමකාමී සහනශීලි දහමක් දෙසූ බුදුරදුන් මේ බරපතල වැරැදි පහ වැළැක්වීම සඳහා පංච ශීලය අනුමත කර දක්වන්නට ඇත. එසේම එම පහෙන් තම කය වචන පාලනය කර ගැනීමේ ක්‍රියා මාර්ගය පෙන්වා දෙමින් එය ශීලය ලෙස අවධාරණය කොට ඇත. තවද බෞද්ධයා නිත්‍ය වශයෙන්ම රැකිය යුතු ශීලය නිසා මෙය නිත්‍ය ශීලය ලෙස නම් කර ඇත.

මෙම පංච ශීලය තුළ අන්තර්ගත පැතිකඩ කීපයක්ම ඇති හෙයින් මෙය ඉතා වැදගත් ඉගැන්වීමකි. බොහෝ බෞද්ධයෝ මේ ශික්ෂාපද පහ මන්ත්‍ර ලෙස ජප කරනවා මිස එහි අන්තර්ගත අර්ථය පෙන්වන සමාජ දර්ශනය ගැන දැනුමක් නොමැත. මේ නිසාම මෙය අප වාග් මාලාවේ හුදු වාක්‍ය පහක් බවට පමණක් සීමා වී ඇත. එහෙත් පංච ශීලය තුළ විශාල සාර ධර්ම පද්ධතියක් ඇතුළත්ව ඇති බව සමහරු නොදනිති. ඉන් පුද්ගල ජීවිතය මනාව සැකසෙන බව නොදනිති. පංචශීලයෙන් පුද්ගලානුබද්ධ කායික ක්‍රියාවලිය පාලනයක් කරවයි. එම කායික පාලනයත් සමග කරන ක්‍රියාවලිය තුළින් ඔහුට සැපත සතුට ගෙන දෙයි. එසේම වාග් මාලාවේදී පාලනයක් ඇතිව වචන පාවිච්චි කරයි. ඒ සුචරිතවත් වාග් මාලාව නිසා එම පුද්ගලයා කරා සැපත සතුට හඹා එයි. මෙය පුද්ගල සංවර්ධනයකි. එවන් සංවර්ධිත පුද්ගල සමූහයක් ඇති මානව සමාජයම සැපවත්ව තුටු පහටුව සිටින නිසා එය සංවර්ධිත මානව සමාජයක් ලෙස නම් කළ හැක. මේ කායික වාචසික සංවර්ධනය අපගේ මානසික සංවර්ධනයට ද ඉවහල් වෙයි. එය මිනිසුන්ගේ සදාචාර සම්පන්න වීමේ ක්‍රියාවලියයි.

මේ සඳහා බුදුරඳුන් පෙන්වා දුන් මාර්ගය පංච ශීලයයි. මේ ශීලය තුළ චාරිත්‍ර වාරිත්‍ර ශීල ඇතුළත් වී ඇත. මිනිස් සමාජය ශිෂ්ට සම්පන්න වන්නේ මේ චාරිත්‍ර වාරිත්‍ර තුළිනි. මෙහි චාරිත්‍ර යන්න සිරිත්, හැඳින්වෙයි. කළ යුතු දේ කිරීම චාරිත්‍රයි. කළ යුත්ත නම් පිනයි. කුසලයයි. එය සමාජ හිතෛෂී ක්‍රියා කාරකම් වෙයි. එම සමාජ හිතකාමී යහපත කිරීම මේ පංච ශීලය තුළ ඇතුළත් වෙයි. පන්සිල් සමාදන් වීමත් සමග අපට දෙන පණිවිඩය චාරිත්‍ර ධර්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. එය සමාදානයයි.

එසේම ඒ නොකළ යුත්ත පව අකුසලය ලෙස නම් කෙරෙයි. ඒ පුද්ගලයාට හා සමාජයට අහිතකර දෙයින් දුරුවීම නොකිරීම විරමණය ලෙස ද හැඳින්වෙයි. මෙකී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අද සමාජයෙහි ඉතා වැදගත් ලෙස පිළි ගන්නා අංශ දෙකම පංච ශීලය තුළ අන්තර්ගත වන අයුරු දැන් අපි විමසා බලමු.

”පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. යන්න පංච ශීලයෙහි පළමු ශික්ෂා පදයයි. මෙහි වේරමණී යනු වැලකීමයි චාරිත්‍රයයි. විරමණයයි. වැළකෙන්නේ කුමකින්ද? සතුන් මැරීමෙන් පරපණ නැසීමෙනුයි වැළකිය යුත්තේ. එසේම මෙහි සමාදියාමි , යනු සමාදන් වීමයි. ක්‍රියාත්මක කිරීමයි. එය කුමක්ද? පරපණට ගරු කිරීම, සියලු සතුනට කරුණාව මෛත්‍රී කිරීම, එය චාරිත්‍රයකි. ඒ අනුව මේ පළමු සික පදය තුළ පරපණ නොනැසීම, පරහිංසනයේ නොයෙදීම වාරිත්‍රයකි. එසේම එම සතුන් වෙත කරුණාව දක්වමින් පණ ඇති සතුන් සුරක්ෂිත කිරීම චාරිත්‍රයකි. සිරිතකි. මෙහිදී ඇති වන විරමණයත් සමග ඔහු ක්‍රියාවෙන් සංවර්ධනය වෙයි. එසේම මෙහි සඳහන් චාරිත්‍රයත් සමග පුද්ගලයාගේ මානසික සංවර්ධනයක්ද ඇති කරවයි. මෙය සමාජය තුළ ඇතිවන විශාල පරිවර්තනයකි. එයමේ චාරිත්‍ර වාරිත්‍ර සමග ඇති වන්නකි. එසේ නම් මේ පළමු ශික්ෂා පදය හිතට එකඟව සමාදන් වී එලෙසම ක්‍රියාත්මක වේ නම් විශාල දියුණුවක් මිනිස් සමාජය තුළ ඇති කරවයි. ගුණාත්මක මිනිස් ප්‍රජාවක් බිහි කරලිය හැක.

මෙහි දෙවන ශික්ෂා පදය “අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. යන්නයි. මේ තුළ ද චාරිත්‍ර වාරිත්‍ර දෙක අන්තර්ගත වී ඇත. නුදුන්දේ ගැනීමෙන් වැළකීම , සොරකමින් වැළකීම මෙහි ඇති වාරිත්‍රයයි. විරමණයයි. එමෙන්ම දුන් දේ පමණක් ගැනීම සොරසිත් නොමැතිව අන්සතු දේ සුරක්ෂිත කිරීම, සමාදානයයි. චාරිත්‍රයයි. මෙහි ඇති චාරිත්‍රයත් සමග කායික හා වාචසික සංවර්ධනයක් උදාවෙයි. ඒ සමග සොරසිත් නොමැතිව ඇතිකර ගන්නා සුරක්ෂිතතාවත් සමග මානසික සංවර්ධනයක් ගොඩනැගෙයි.

කාමේසුමිච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි යනු තුන්වැන්නයි. මෙහිදී අශිෂ්ඨ අසම්මත වූ ස්ත්‍රී පුරුෂ සබඳතාවලින් වැළකීමෙන් විරතිය සම්පූර්ණ වෙයි. එය වේරමණී නම් වෙයි. එසේම සම්මත වූ ශිෂ්ඨ සම්පන්න ස්ත්‍රී පුරුෂ සබඳතාව ඇති විය යුතුයි. එය බුදු දහමින් අවධාරණය කොට ඇති අතර එවැනි සබඳතා සඳහා තහනම් නියෝග පනවා නැත. එය මෙම ශික්ෂා පදයෙහි අන්තර්ගත සමාදානයයි. චාරිත්‍රයයි.

එසේම පංචශීල ප්‍රතිපත්තියෙහි සිව්වැන්න ‘මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, යන්නයි. සිනාමුසු බසිනුදු මුසවා කිව පරිජිවේ. යන්නෙන්ද පැහැදිලි කෙරෙන්නේ විහිලුවට වත් බොරු නොකිය යුතු බවයි. අන් අය රැවටීමෙන් මුසාවාදයෙන් වැළකීමෙන් විරිත හෙවත් විරමණය සපුරාලයි. මේ අතර සිරිත හෙවත් සමාදානය සපිරෙනුයේ පිළිගත හැකි ඇත්ත විශ්වාසීව කීමෙනි. පිරිසුදු සිතින් කතා බහ කිරීමෙනි.

අවසාන ශික්ෂාපදය ‘සුරාමේරය මජ්ජපමා දටඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි. යන්නයි. මත් වතුර මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකීමෙන් සිහි විකෘති ස්වභාවයද ප්‍රමාදය ද වැළකෙයි. මෙය මෙම ශික්ෂා පදයෙහි විරමණයයි. එයම වාරිත්‍රය ද විරතිය ද වෙයි. එමෙන්ම සිහි නුවණින් හැසිරීමෙන් නිරෝගීතාවය ද අප්‍රමාදය ද වැඩෙයි. මෙය මෙහි ඇති චාරිත්‍රයයි. සිරිතයි. ශීලාචාරව හැසිරීම ද මින් අදහස් කරයි.

මෙලෙස සලකා බලන විට මෙම පංච ශීලය තුළ සිරිත් මෙන්ම විරිත් ද ඇති බව මනාව දැක ගත හැක. මේවා වචනවලට පමණක් සීමා නොකොට එහි අදහස දැන ගෙන ජීවත් විය හැකි නම් එය විශාල ආශිර්වාදයකි.

මානව සමාජය පවතින්නේ චාරිත්‍ර හා වාරිත්‍ර මගිනි. පුද්ගල පාරිශුද්ධිය ඇති වන්නේ ද මේ සිරිත් විරිත් මගිනි. එයම සමස්ත සමාජයේම ගුණාත්මක සංවර්ධනයට හේතුවකි. මේචාරිත්‍ර වාරිත්‍ර තුළින් පින් පව් හඳුනාගෙන පින් පිරෙන මගක් උදාකරගත හැකි ය. එය බෞද්ධ අපගේ පරම පවිත්‍ර කාර්යභාරයකි. නිවන් මගෙහි පළමු දොරටුවද මෙයයි.

එම නිසා පින්වත, මේ කරුණු පිළිබඳ දැඩි අවධානය යොමු කොට ඔබත් පන්සිල් රැක සිරිත් විරිත් අනුගමනය කරමින් නිවන් මගට පිවිසීමට උත්සුක වන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.