Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙලකටාහගාථා ශාස්තී‍්‍රය සංස්කරණය සිංහල සන්නය හා පද්‍ය

ශ්‍රී ලංකා බෞද්ධ හා
පාලි විශ්ව විද්‍යාලයේ ප්‍රකාශනයකි
මිල රු. 350/-

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය රජත ජයන්ති සමරුව නිමිත්තෙන් එම විශ්වවිද්‍යාලය මගින් මෙය ප්‍රකාශිතය. සිංහල සන්නය හා පද්‍ය සහිත වූ මේ ග්‍රන්ථයෙහි උපදේශක සංස්කාරත්වය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙහි මහොපාධ්‍ය මහාචාර්ය වෑගම පියරතන හිමියන්ගේත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙහි සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඩබ්. විමල් විජේරත්න මහතාණන්ගේත්ය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,කථිකාචාර්ය, ආධුනික කථිකාචාර්ය , බාහිර කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරී යන තුදුසෙකින් පරිමිත් විද්වද් මඩුල්ලක් විසින් සංස්කරණ කාර්යය ඉටුකැර තිබේ.

ග්‍රන්ථයෙහි පුස්කොළ පිටපත් 10 ක් සහ මුද්‍රිත පිටපත් 5ක් සහායකොට ගනිමින් පාඨශෝධනය සිදුකොට තිබේ. ඒ සියල්ල සසඳමින් සංස්කාරික මණ්ඩලය විසින් වඩාත් ශාස්ත්‍රීය සේ සම්මාත පද පාඨ පෙළෙහි යොදා සෙසු පාඨාන්තර අධොලිපි කොට ඇත. සාම්ප්‍රදායික සම්භාව්‍ය පැරණි ග්‍රන්ථ ශෝධනයෙහි අනුගත ක්‍රමවේදයෙහි පිහිටා සිදුකොට ඇති පාඨශෝධනය ප්‍රශස්තය.

පද්‍ය සියයකින් පරිමිත ගාථා සංග්‍රහයෙහි එක් එක් පද්‍යය වෙන් වෙන්ව ගෙන ක්‍රියාකාරක පද සම්බන්ධය නොකැඩෙන සේ පදානුපදිකව සිංහල සන්නය සපයා ඇත. අපේ පැරණි සන්න ග්‍රන්ථ සමඟින් සසඳාබලන විට සන්නයට සන්නයක් ලියා තේරුම් ගත යුතු යැයි සිතෙන තරමට සංස්කෘත මිශ්‍ර ගැඹුරු භාෂාවක් මීට උපයෝග කොට ගෙන නැත. සංස්කාරකවරුන් යොදා ගෙන ඇත්තේ ලිහිල් සරල සිංහල භාෂාවයි. ප්‍රායෝගිකව බලන කළ සුගම අර්ථාවබෝධය සඳහා එය සාකල්‍යයෙන් සුදුසු වෙයි. ඒ හේතුවට වඩා පුළුල් අදහසකින් පැරන්නන් මිශ්‍ර ගැඹුරු භාෂා ශෛලියට අනුගත වන්නට ඇතැයි සිතිය හැකිය. 19 වන සියවසේ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ වූ වකවානුව වනව්ට මලානික ස්වභාවයෙන් පැවැති ව්‍යවහාරික සිංහල භාෂාව වේගයෙන් සහ පුළුල් අන්දමින් සංවර්ධනය වූයේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ලද භාෂාසම්මිශ්‍රණයෙන් ලියලා ගිය ශෛලියේ ආභාසයෙනැයි සිතිය හැකිය. උගතුන් පරිහරණය කළ පැරැණි සන්න භාෂාවේ පරිණත ලක්ෂණ අනුසරණයෙන් අපේ රචනා රටාවේ ප්‍රාණවත් ලක්ෂණ අන්තර්ග්‍රහණය නොවිණැයි නොකිව හැකිය. මෙය අදහසක් විනා තෙලකටාහගාථා සන්නය ප්‍රබල යැයි කීමක් නොවේ.

ඊළඟට සඳහන් කළ යුත්තේ ගාථාවක් පාසා පද්‍යගත විශේෂිත පදවල ව්‍යාකරණ විභාග දැක්වීමයි. පිරිවෙන් අධ්‍යාපනයේ හරවත් බව, ගුණාත්මක බව සිහි ගන්වයි. සාහිත්‍ය මාධ්‍යයෙන් භාෂා ඥානය එනම් ව්‍යාකරණ ඥානය පුළුල් කිරීමට දැන හෝ නොදැන යෙදූ උපාය මාර්ගයක් හැටියට මෙය හැඳින්විය හැකිය. පෙරදිග භාෂා ශාස්ත්‍රවලට මුල් තැන දුන් පිරිවෙන් අධ්‍යාපනයෙහිලා දුන් ප්‍රධාන අදහසක් නිරුක්ති මාර්ගයෙහි නොදැන්ම වනාන්තරගත අන්ධ ඇතෙකුගේ පැවැත්මට සමාන බවය. පදයක් පදයක් පාසා පැකිළෙන හෙයිනි. එබැවින් සෘජු අර්ථාවබෝධයට නෛරුක්තිඥානය අත්‍යවශ්‍ය බව එදා වියත්හු පිළිගත්හ. වාක්‍යයක්, පද්‍යයක්, ජේදයක් පාසා නිරුක්ති උපුටමින් අර්ථය විශද කිරීමත් එමගින් අකලංක නිශ්චිත අර්ථාවබෝධයක් සඳහා මඟ පෙන්වූහ. මෙය සාහිත්‍ය රසාස්වාදයට ද බලපාන්නකි.

ජන්දස් අලංකාර උද්ධරණයද පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාංගයකි. ලයාන්විතව ගායනය ආකර්ෂණයටත් පහසු ධාරණයටත් පාදකවන නිසාවෙනි. ශබ්දාලංකාර අර්ථාලංකාර වලින් ජනනය වන වෛචිත්‍රිය ආහ්ලාදකරය. එහෙයින් පාඨකයන්ගේ, ශ්‍රාවකයන්ගේ රුචිය වර්ධනය වෙයි. එම පමණක් නොව නිර්මාණයෙහි ප්‍රෝත්සාහී ප්‍රයත්නයෙහි ද යෙදෙති. මේ අංශවලින් සලකා බලනවිට ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය ලිහිල් වෙමින් පවත්නා මේ අවදියෙහි ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු විශ්ව විද්‍යාලය භාෂා ශාස්ත්‍ර අංශ මාර්ගයෙන් ඉටු කළ යුතු දිරිගැන්වීමක් මෙයින් ඉටු වී තිබේ.

බුදුදහමෙහි ගැඹුරුම දාර්ශනික ධර්මපද වන ත්‍රිලක්ෂණය පිළිබිඹු කරන ගුණ නුවණ දෙන දියුණු කිරීමට හුදී ජනන් පොළඹවන තෙලකටාහගාථා නිබන්ධයේ කාලය හා කතුවරයා තහවුරු කොට ගැනීමට පවත්නා ප්‍රවාදවලට අතිරේක සාධක සපුරා ගැනීමටද සංස්කාරකවරුන් ප්‍රශස්ත පර්යේෂණයක යෙදී ඇත.

මේ සඳහා තවත් සෙවීම් කළයුතුයැයි සිතමු. උපග්‍රන්ථ වශයෙන් යොදා ඇති ‘නිබ්බවනත්ථවණ්ණනා’ නවීන ප්‍රවීන දෙපක්ෂයටම ඵලදායකය. සිංහල පද්‍ය සංග්‍රහය සිංහල පාඨකයන් සඳහා අගනේය. පද සුචියක් එකතුවූයේ නම් මෙහි ශාස්ත්‍රීය අගය වඩාත් ඔපවත් වෙයි. විද්වද් මණ්ඩලයෙහි සියලු ඇස් වලට හසු නොවූ සන්නය වෙනුවට සන්නස (2 පිට දශරාජ ධර්මයෙහි අව්රුද්ධතාව වෙනුවට ෂරුද්ධතාව (49 පිට) පණිතං, දෙසූ (51 පිට) වැනි සාවද්‍යාස්ථානද අතරින් පතර නැත්තේ නොවේ. කෙසේ වුවත් කාලීනව සිදුවිය යුතු සත්කාර්යයක් ලෙස සතුටින් මෙය හඳුන්වා දිය හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.