UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

දුක දුරලන සරණ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

දුක්ඛං දුක්ඛ සමුප්පාදං

දුක්ඛ ස්සච අතික්කමං

අරියං වට්ඨංගිකං මග්ගං

දුක්ඛුප සමගාමිනං

එතං ඛො සරණං ඛෙමං

එතං සරණ මුත්තමං

එතං සරණ මා ගම්ම

සබ්බ දුක්ඛා පමුච්චති
 

සුපින්වත්නි!

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ දී ‘අග්ගිදත්ත’ නම් බමුණෙකු සිටියා. මොහු කොසොල් රජතුමාගේ පෙරෙවි බමුණා ය. මෙතුමා මහළු කාලය ලංවන විට රජතුමාගෙන් අවසර ගෙන ගිහි සැප අතහැර දමා තපස් රැකීමට පටන් ගත්තා. ඔහු ඉතා යහපත් කෙනෙකු වූ නිසා ඔහු අනුගමනය කරමින් දහස් ගණනක් තවුසන් ජීවත් වුණා. අග්හිදත්ත බමුණා මේ මහ පිරිස සමග මගධ රට හා කුරු රට අතර සැරිසරමින් ආරාමයක ජීවත් වුනා. ඔවුන් මෙසේ සම්මතයක් ඇති කරගත්තා. අප අතරින් කාහට හෝ කෙලෙස් සිතක් ඇතිවුනහොත්, එය සිතින් ඉවත් කර දැමීම සඳහා එක තැනකට වැලි ගොටුව බැගින් දැමිය යුතුය යන්න ඒ සම්මතයයි.

මෙසේ කල් යන විට එතැන විශාල වැලි ගොඩක් බවට පත් වුණා.ඒ වැලිගොඩට විශාල නාගරාජයෙක් පැමිණ එය තම වාසස්ථානය බවට පත් කර ගත්තා, ඒ නාගය මහත් ආනුභාව සම්පන්න සතෙකැයි සිතා පුද පූජා කරමින් ඔහුගෙන් පිහිට යදින්න පටන් ගත්තා. මේ අතර ‘අග්ගිදත්ත’ තාපසතුමා ද කවුරුන් හෝ බයට තැති ගැනීමට පත් වූ විට ඒ විපත්වලින් මිදීමට, පර්වත, කැලෑ, ආරාම, ගස් ආදිය සරණ යන ලෙස අනුශාසනා කරමින් තවුස් දහම් දෙසමින් සිටියා.

පින්වතුනි මේ අතර අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අග්ගිදත්ත තවුසාගේ රහත්ඵල ලැබීමට තරම් ඇති වාසනාව බුදු නුවණින් දැනගෙන මුගලන් මහ රහතන් වහන්සේ පළමුව නා රජු සිටි තැනට යවා, පසුව එතැනට වැඩම කළහ. පළමුව වැඩම කළ මුගලන් මහරහතන් වහන්සේ අර විශාල නාගරාජයා දමනය කර ඒ වැලිගොඩ මත වැඩ සිටිමින් අර නාරජුගෙන් ගරු බුහුමන් ලබමින් සිටියා. ඒ දුටු තාපස පිරිස මහත්සේ පුදුමයට පත් වුණා.

එවිට බුදුරජාණන් වහන්සේ ද එතැනට වැඩමවා අර තවුස් පිරිසට මෙසේ දේශනා කළා. පින්වත් තවුසනි! පර්වත වන කැලෑ ආරාම ආදිය සරණ ගොස් දුකින් මිදිය නොහැකියි. තුනුරුවන් සරණ ගොස් චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කොට ගෙන සියලු දුක්වලින් මිදිය හැකිය යනුවෙන් ඔවුන්ට දහම් දෙසුවා. ඒ ධර්මය අසා ඒ තවුස් පිරිස රහත් ඵලයෙහි පිහිටියා පසුව ඔවුන් පැවිදි කොට වදාළ.

පින්වතුනි, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවන් දෙකක් තමයි මා ඉහත මාතෘකා කර ගත්තේ. යමෙක් බුදුන්, දහම්, සඟුන් සරණගොස් චතුරාර්ය සත්‍ය මැනවින් අවබෝධ කර ගනීද? දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කර ගැනීමේ මාර්ගය යන මේ චතුරාර්ය සත්‍යයනුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, අවබෝධ කර ගනීද ඔහුට දුකින් අත් මිදිය හැකි වන බවත් ය.

මෙහිදී චතුරාර්ය සත්‍ය යනුවෙන් පෙන්වා දී ඇත්තේ, උතුම් ඇත්ත හතරකි. ඒ සත්‍ය ලෝකයේ සදාකල් වෙනස් නොවී පවතී. ඒවා උතුම් සත්‍ය වේ. ඉන් පළමු වැන්න දුක්ඛ ආර්යය සත්‍යයයි. ඉන් අදහස් කරන්නේ දුක් පිළිබඳවයි. දුක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ දී දේශනා කර තිබෙනවා. ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, අපි‍්‍රය සම්ප්‍රයෝග දුක්, පි‍්‍රය විප්‍රයෝග දුක්, කැමති දේ නොලැබීයාමෙන් ඇතිවන දුක් ආදී වශයෙන් දුක් රාශියක් පිළිබඳ දේශනා කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් දුක ඇතිවීමට හේතුවන, කාම, භව විභව යන තෘෂ්ණා තුන ගැන ද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයෙන් දුක නැති කිරීමෙන් ලබන නිවන පිළිබඳවද දුක්ඛ නිරෝධ ගාමිණීපටිපදා ආර්ය සත්‍යයෙන් දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මර්ගය පිළිබඳවත් දේශනා කළා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය මැදුම් පිළිවෙත, මධ්‍යම ප්‍රතිපදාව යන නම් වලින් ද හඳුන්වනවා. එහි අංග අට මෙසේ ය.

සම්මා දිට්ඨි යහපත් දැකීම, එනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි. සම්මා සංකප්ප, යහපත් කල්පනා එනම් පස්කම් සැප අතහැර දැම්මේ කල්පනාව තරහ නොගැනීමේ කල්පනාව හිංසා නොකිරීමේ කල්පනාව.

සම්මා වාචා - යහපත් වචනය එනම් බොරු, කේලම්, හිස්වචන, ඵරුෂ වචන නොකියා යහපත් වචන ප්‍රකාශ කිරීම.

සම්මා කම්මන්ත – යහපත් ක්‍රියා එනම් සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන් වැරැදි කාම සේවනයෙන් මෙන්ම යහපත් වැඩ කිරීම.

සම්මා ආජීව - යහපත් දිවි පැවැත්ම එනම් වැරැදි වෙළඳාම් වලින් මෙන්ම යහපත් වෙළඳාම් වල යෙදීම සම්මා වායාම යහපත් උත්සාහයයි.

සම්මා සති - යහපත් සිහිය, එනම් සතර සති පට්ඨානයන් කෙරෙහි ඇති කර ගන්නා සිහියයි.

සම්මා සමාධි – යහපත් සමාධිය එනම් සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට අවශ්‍ය කරන සමාධියයි.

මෙම කරුණු නිසි පරිදි අවබෝධ කර ගැනීමෙන් සියලු දුක් වලින් මිදීමට හැකිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මගයි. ඒ මග ඔස්සේ ගමන්කර අපිද නිවනින් සැනසීම උදාකර ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි.
26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය.
 

මීළඟ පෝය ජූලි 31 වන දා බ්‍රහස්පතින්දා ය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]