Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මානසික දුකින් නිදහස් වන්නේ කෙසේ ද?

සක්කාය දිට්ඨිය වනුයේ මම මගේ යන හැඟීම නොවේ. එය එසේ නම් පළමු අබෝධයෙහි දීම කෙනෙකු අවසාන විමුක්තියට හෙවත් අර්හත්වයට පත්විය යුතුය. මම මගේ යන හැඟීම අස්මී මානය වන හෙයිනි. අනෙක් අතට මම මගේ යන හැඟීම මුළුමනින්ම දුරු කළ පුද්ගලයකු හට ගෘහ ජීවිතයක් ගත කළ නොහැකිය. නමුත් සෝවාන් පුද්ගලයා සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන්නකු බව සඳහන් වෙයි. පඤ්චස්න්‍ධයෙහි එක් එක් ස්කන්‍ධ ප්‍රතීත්‍ය සමුත්පන්න ස්වරූපයක් ගනු ලබන අතර එහි එක් එක් ස්කන්‍ධ කොටසක් පාසා ස්වකීය වශයෙන් අල්ලා ගැනීමට කිසිදු සාරයක් නැත යන ආකල්පයකින් කටයුතු කිරීම සක්කාය දිට්ඨිය නැති කිරීම බව පැහැදිලි කිරීම, මෙහි අභිප්‍රාය වූවාට නිසැකය. සක්කාය දිට්ඨිය සියලු දුක් ප්‍රභව වීමට මූල කරුණක් වශයෙන් හා සමස්ත ක්ලේශ සමූහයාගේ ප්‍රභවය නතර කිරීමට පදනම් වන ප්‍රබලතම න්‍යායික ප්‍රස්තූතය වශයෙන් දක්වා ඇති නිසා දුක හට ගනු ලබන්නේ කෙසේ දැයි පහදා ගත් විට මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා කදිම පිහිටාධාරයක් ලැබේ.

අප අපගේ පංචේන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඇසුරෙන් ලබන සියලු අත්දැකීම් ප්‍රජානනය කරගනු ලබන්නේ ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය නිසාම අප තුළ ඇති කර ගන්නා ලද කිසියම් තමන් හටම අනන්‍ය වූ පුද්ගල වේමත්තතාවයක් පදනම් කරගත් ආවේදන ලෝලවයකිනි. බුදු දහමෙහි මෙම ආවේදන ලෝලවය තෘෂ්ණාව වශයෙන් සඳහන් කර ඇති අතර සාවද්‍ය ප්‍රජානනය අවිද්‍යාව වශයෙන් දක්වා ඇත. මෙම ආවේදන ලෝලවය හටගනුයේ ප්‍රජානනය කරගනු ලබන අරමුණු වල යථා ස්වභාවය වූ පුද්ගල ස්වභාවයෙන් වියුක්ත බව නොවටහා ගෙන ප්‍රජානනය කිරීම නිසා ය. අනෙක් අතට අනුලෝම වශයෙන් සිදුවන ආවේදන ලෝලවය ද සාවද්‍ය ප්‍රජානනය හට ගැනීමට හේතුවකි. මේ මූලයන් දෙකෙහි අති සංකීර්ණ සියුම් බන්ධනීය ස්වභාවය නිසාම ඉතාම සියුම් වශයෙන් කරුණු සලකා බලන්නා වූ අයෙකු හට මිස මෙහි නිවැරදි ස්වභාවය රළු මනසක් ඇති සාමාන්‍ය පුද්ගලයෙකු හට වටහා ගැනීමට තරමක් අසීරුය. නමුත් ඉතාම ප්‍රවේසමෙන් ගැටගැසී ඇති නූල් පන්දුවක් ලිහන්නාක් මෙන් විවේක බුද්ධියෙන් කරුණු කාරණා විමසා බැලූ කල අවශ්‍ය අයකු හට මේවා තේරුම් ගත හැකි ය.

දුක ඇති වන්නේ, අයිතිය ඇති කලය. කිසිදු අයිතියක් නොමැති කල දුකක් හට නොගනී. ඒ අයිතිය හට ගැනෙන්නේ තමන් කේන්ද්‍රකොට ගෙනය.

තමන් යනුවෙන් හැඟීම ඇති වනුයේ සෙසු මිනිසුන් අතරින් එක් පුද්ගලයෙකු වෙන් කොටගෙන ඒ පුද්ගලයා තමන් වශයෙන් සැලකීමත්, ඒ හැඟීම නිසා අනෙක් මිනිසුන්ට වඩා තමාගේ ප්‍රජානනය, ආවේදන හා චර්යා පැතිකඩ සම්බන්ධව වඩාත් ම ලෝලවයෙන් කටයුතු කිරීමත් නිසාය. මේ හේතුව නිසා එම මම හා මගේ යන ප්‍රජානන පැතිකඩ වඩ වඩාත් ශක්තිමත් වීමටත්, වර්ධනය වීමටත්, පටන් ගනියි. මේ කරුණට සෘජුව හේතුවන සියලු දේ පාප ලෙස හා අනියම් වශයෙන් හේතුවන සියලු දේ අකුසල ලෙස බුදු සමය පැහැදිලි කර ඇත. අනෙක් අතට මම යන හැඟීම දුරු කිරීම හෝ තුනී කිරීම පිණිස සෘජුව හේතුවන දේ පුණ්‍යය ලෙසත්, අනියම්ව හේතුවන සියලු දේ කුසලය ලෙසත් දක්වා තිබේ. මේ අනුව කුසලය හා අකුසලය වඩාත් සියුම් වශයෙන් ප්‍රජානනය, ආවේදනය හා චර්යාව සකස් කිරීම සඳහාත් පුණ්‍යය හා පාපය වඩාත් රළු ලෙස එම පැතිකඩ සකස් කිරීමටත් දායක වන බව පැහැදිලිය. පුණ්‍යය හා පාපය ලෙස දැක්වෙන්නේත් කුසලය හා අකුසලය ලෙස දැක්වෙන්නේත් නිරවද්‍ය හෝ සාවද්‍ය අයුරින් ප්‍රජානන, ආවේදන හා චර්යා පැති කඩවල ක්‍රියාකාරීත්වය ඇති කිරීමයි. මෙහි සෙසු පැතිකඩ දෙකෙහි ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ප්‍රජානන පැතිකඩට ඇති සුවිශේෂී හැකියාව නිසා හොඳ හෝ නරක අංශයට පුද්ගල ක්‍රියාකාරීත්වය යොමු කිරීමේ මුල්ම අඩිතාලම එය ලෙස සැලකිය හැකිය.

ආවේදන සුව දුක් සහගත ලෙස වර්ගීකරණය කරනු ලබන්නේ ද ඒ වර්ගීකරණය පාදක කරගෙන සුව සහගත ආවේදනයන්හි ඇල්මකිනුත්, දුක් සහගත ආවේදනයන්හි ගැටීමකිනුත් කටයුතු කිරීමට සත්ත්වයා පෙළඹී සිටීම නිසාය.

ඇලීම රාගය ලෙසටත් ගැටීම ද්වේෂය ලෙසටත් දැක්විය හැකිය.

ආවේදන වර්ගීකරණය කෙරෙහි සෘජුවම පදනම් වන්නේ සාවද්‍ය ප්‍රජානනයයි. අවිද්‍යාව නමින් ව්‍යවහාර කෙරෙන මෙය ඉන්ද්‍රියානුබද්ධව ගනු ලබන සංවේදන සියල්ල පුද්ගලයෙකු ලෙස ගොනු ගත කොට යථාර්ථ වශයෙන් නොමැති පුද්ගලත්වයක් සිත තුළ ගොඩනගා ගනියි. සියලු සත්වයෝ මේ ආකාරයෙන් සාවද්‍ය ලෙස ප්‍රජානනය කරනු ලබන බැවින් සම්මුති වශයෙන් පුද්ගලයන්ගෙන් පිරුණු ලොවක් ව්‍යාජව තනා ගනිති. ඒ ලොව තුළ ජීවත් වෙමින් ඉන්ද්‍රිය වේමත්තතාව පදනම් කර ගන්නා ලද ප්‍රජානන නානත්වය නිසාම තමා හා සෙසු සත්වයන් අතර විභේදනයක් ද දකිති. ඉන්ද්‍රියයන්ගෙන් ගනු ලබන සෑම අරමුණක්ම තමා විසින් දකිනු, අසනු, විඳිනු, ලබන දේ ලෙසත් ඒවා ඒ ආකාරයෙන් වින්දනය කරන්නේ තමා බවත් ප්‍රජානනය කර ගනියි. මෙලෙස සිතෙහි ගොනු කර ගනු ලබන්නා වූ පුද්ගලත්වය, නොයෙක් ආකාරයෙහි තව තවත් සාවද්‍ය ප්‍රජානන සංකීර්ණ ගොඩ නගා නැගීමට ආධාර උපකාර කරයි.

ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය මගින් ඇති වන ප්‍රජානන, ආවේදන හා චර්යා සන්නිවේදනයන්ට පුද්ගලවාරෝපණය විඳීමේ ඇති කැමැත්ත නිසාත්, මේ ෂඳීම දිගින් දිගටම පවත්වාගෙන යෑමට ඇති වන කැමැත්ත නිසාත්, එලෙස ඇති කරගන්නා ලද සන්නිවේදනයන්හි පශ්චාත්කාලීන ප්‍රතිඵල ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඇසුරෙන් ගොනු කරගන්නා ලද පුද්ගලවාරෝපණය වෙත යොමුවීම කර්මඵල විපාක දීම ලෙස හැඳින්වේ. සිත තුළ පුද්ගලවාරෝපණ ඇතිව ප්‍රජානන, ආවේදන හා චර්යා සන්නිවේදන ලබා ගන්නා තෙක් මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු වේ.

භවයෙන් භවය සසර සැරි සරනුයේ මේ හේතුව නිසාය. පුණ්‍යය මගින් මේ ක්‍රියාවලිය තුළ දී දිගින් දිගටම සුව සහගත ස්ථාවරයක් පවත්වා ගැනීමට පිළිවන්කම ලැබෙන අතර පාපය මගින් පැවතෙන දුක් සහගත ස්ථරයෙන් මිදීමට කිසිදු ඉඩ කඩක් නො ලැබේ.

අකුසලය මගින් මේ ක්‍රියාවලියෙහි අඛණ්ඩභාවය වඩාත් ස්ථිර වන අතර කුසලය මගින් දිගින් දිගටම යන මේ ක්‍රියාවලිය ක්‍ෂණිකවම අවසන් කිරීමේ හැකියාව ලබයි. බුදු හිමියන් පුණ්‍යයත් කුසලයත් එක සේ අනුදැන වදාරා ඇති අතර එහි දී කුසල පිළිවෙතෙහි පූර්වාංගය වශයෙන් පුණ්‍යය අවධාරණය කරනු ලැබ ඇත. මේ සියල්ල හට ගැනීමට හේතුව හේතු ප්‍රත්‍යයන්ගෙන් බිහි වන දේ කෙරෙහි ඇති කර ගත් සාවද්‍ය පුද්ගලවාරෝපණයයි.

තමන් විසින් ඇති කර ගන්නා ලද සාවද්‍ය පුද්ගලවාරෝපණය, පඤ්චස්කන්‍ධ විභාගයෙහි දී විශ්ලේෂණය කිරීමෙන් හා හේතු ප්‍රත්‍ය සම්බන්‍ධ බිහි වන හා පැවතෙන අයුරු සංශ්ලේෂණය කිරීමෙන් මදින් මඳ දුරු කර ගැනීමට අවස්ථාව සැලසේ.

ඉන්ද්‍රිය වේමත්තතාව මත පඤ්චස්කන්‍ධ විභාගය මෙන්ම පටිච්ච සමුප්පාද න්‍යාය ද සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් ශාස්වත හා උච්ඡේද දෘෂ්ඨීන් බිහි කිරීමට හේතු වන සාවද්‍ය පුද්ගලවාරෝපණය මෙයින් දුරු වී යයි.

මෙහි සාවද්‍ය පුද්ගලවාරෝපණය යනුවෙන් හැඳීන්වෙන්නේ මම, මාගේ යන අස්මී මානය නොව සෙසු ජීවීන්ගෙන් එක් පුද්ගලයකු වෙන් කොට ඒ පුද්ගලයා තමා වශයෙන් සලකා ගෙන ඒ කෙරෙහි බැඳීම් සහිතව ප්‍රජානන, ආවේදන හා චර්යා යන අංශ වලින් කටයුතු කිරීමයි. සක්කාය දිට්ඨිය දුරු වුවත් පුද්ගලයාගේ ප්‍රජානනයෙන් ඉවත් වන්නේ නොවෙනස් සත් පදාර්ථයක් සෙසු සමස්තයෙන් වෙන් කර ගන්නා ස්වභාවයයි.

මේ අනුව සක්කාය දිට්ඨිය දුරු කළ ආර්යයන් වහන්සේ බොහෝ සෙයින් උපේක්ෂා විහරණ ඇති උතුමකු ලෙස තීරණය කළ හැකිය. තමා ද සෙසු සවයන් හා සමාන ලෙස විශේෂයක් නොකොට කටයුතු කරන හෙයින් මතු පිටින් අන්‍යයන්ගෙන් පැහැදිලිව වෙන් වී පෙනෙන ගතියක් ඇති විය නොහැකිය.

සමස්ත භික්ෂු සංස්ථාවම ගොඩනැඟී ඇත්තේ සාමූහික පැවැත්ම කේන්ද්‍රකොටගෙන බැවින්, සමස්ත භික්‍ෂුන් වහන්සේලා අතර මේ ආර්යයන් වහන්සේගේ පැවැත්ම අතිශයින්ම හෘදයංගම, මිත්‍රශීලී, කාරුණික බවක් ගනු ඇත.

ආර්ය ඥණය ලද්දා ගිහියකු වුවත් අන්‍යයන් කෙරෙහි තමා මෙන්ම සම පැවතුම් ප්‍රකට කරන මෙකී සංවේදී කාරුණික ලක්‍ෂණ ඇති වනු ඇතැම් ආකාරයෙන් දුක් රහිතව ප්‍රජානන, ආවේදන හා චර්යාවන් සකස් කර ගැනීමේ හැකියාව ප්‍රායෝගිකව ලත් බැවින් වැඩි දුරටත් මනා උපදවා ගනු ලැබූ ආර්ය න්‍යාය තවදුරටත් සංවර්ධනය කරමින් වඩ වඩාත් ඉහළ ස්ථර වලින් සියුම් වශයෙන් තමා තුළ ශේෂව ඇති සාවද්‍ය පුද්ගලවාරෝපණ ආකල්ප දුරු කිරීමට කටයුතු කිරීමෙහි ප්‍රබල වීර්යක යෙදී සිටින පුද්ගලයකු විය හැකිය.

සාමූහික පැවැත්ම හා ආත්මාර්ථයට වඩා පරාර්ථය සැලසීම අතින් ගිහි සමාජය හා පැවිදි සමාජය අහසට පොළව මෙන් ප්‍රතිවිරුද්ධ අන්තයන් දෙකක් නියෝජනය කරන හෙයින් ආර්ය ඥානය ලද්දාට වඩාත් යෝග්‍ය ස්ථානය වනු ඇත්තේ පැවිදි සමාජයයි.

ඒ ස්ථානය එම උතුමන්ගේ නිරුපද්‍රිත යාවජීව පැවැත්ම සඳහාම සකස් වූවකි.

මතු සම්බන්ධයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.