තෙවැදෑරුම් හා දොළොස් අයුරකින් අවබෝධ කළ යුතු
සිවුසස් දහම
අමුණුපුර
පියරතන හිමි
යතෝච ඛෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසූ ඒවං තිපරිවට්ටං
ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්ඛවේ සදේවකේ
ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදේව මනුස්සාය
අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං. ඤාණංච පනමේ දස්සනං
උදපාදි අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති.
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදුබව ලබා අනුක්‍රමයෙන් සත්
සති යවා අටවන සතියේ අජපාල නුගරුක මුල දී බ්‍රහ්මාරාධනාවෙන් ප්‍රථම ධර්ම
දේශනාව කවුරුන් උදෙසා දෙසන්නෙම් දැ යි බලා වදාරන සේක් තවුස්දම් පිළිබඳ
ප්‍රථමයෙන් ගුරු වූ ආළාරකාලාම මියගොස් අරූප තලයෙහි උපන් බව දැන යළි
දුෂ්කර ක්‍රියාකරන සමයෙහි අතිශයෝපකාරී වූ පස්වග තවුසන් හට දහම් දෙසීමට
බරණැස ඉසිපතනාරාමය බලා වැඩි සේක.
දුරදීම හුදකලාව වඩින බුදුරදුන් දුටු පස්වග තවුසෝ හුදෙක් තමන් සමඟ
උරුවේලාවේදී තවුස් දම් පිරූ සිද්ධාර්ථ ගෞතම තාපසයන් යන හැඟීමෙන් කිසි
ගරු සරු බවක් දැක්වීමට පසුබට වූවත් තමන් සමීපයට බුදුන් වහන්සේ වඩිත්ම
මුලින් තීරණය කරගත් කතිකාවන් සිටිය නොහී බුදුරදුන් සිරිපතුල් වැඳීමාදී
වතාවත් සිදු කළහ. එසේ වුවද බුදු බව නොදත් පස්වග තවුසෝ බුදුරදුන්ට
‘ආවුසෝ’ වාදයෙන් සතුටු සාමීචි, කථා කරන බැවින් ‘මහණෙනි ලොවුතුරා
බුදුකෙනෙකුට ආවුසෝවාදයෙන් ඇමතීම අයෝග්‍ය වන්නේ ය. බෝමැඩදී පස්මරුන්
පරදවා ලොව්තුරා බුදුබව ලබාගත් මම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළෙමි. අද
රාත්‍රී දම්සක් දෙසුම් අසව‘ යි වදාළ සේක.
අප බුදුරජාණන් වහන්සේ ඇසළ මස පුර පසළොස්වක් පෝදින පුන්සඳින් අහස් තලය
බබළද්දී ඉසිපතන වන උයන් තුරුලිය සඳ රැසින් නැහැවෙද්දී පස්වග තවුසන්
ඇතුළු දස දහසක් සක්වළ ෙදවියන් බ්‍රහ්මයන් දෙසවන් යොමා අමන්දානන්දයෙන්
ඉපිල යද්දී ‘දේව් මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යනාදී වු
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් දහම් අමා ජලයෙන් සත්ත්වයන්ගේ රාගාදී
කෙලෙස් ගිනි නිවමින් නිවන් පුරයට දොර විවර කරන්නට වූ සේක.
බුදුරජාණන් වහන්සේගේ ඒ ප්‍රථම ධර්ම දේශනාවෙන් බුදු කෙනෙකුන් ලොව
පහළවීමේ උතුම් පරමාර්ථය ප්‍රකට වෙයි. විශේෂයෙන් එකී දේශනාවේ ප්‍රධාන
කරුණු හයක් දක්නට පුළුවන.
01. අන්ත දෙක
02. මධ්‍යම ප්‍රතිපදාව
03. චතුරාර්ය සත්‍ය
04. තිපරිවට්ට ද්වාදසාකාර ඤාණය
යන දහම් කරුණුද
05. ප්‍රථමයෙන් ශ්‍රාවකයකු
ඒ ධර්මය අවබෝධ කිරීම හා
06. ඒ උතුම් ධර්මය ඇසීමෙන් අකනිටා බඹලොව දක්වා දෙවියන් බඹුන් සාදුකාර
දීමෙන් ධර්මයට අනුගතවීම ද එහිදී දක්නට ලැබිණි.
01. අන්ත දෙක - සසර දුකින් මිඳීමට පැවිදි වන්නවුන් විසින් අත්හළ යුතු
අන්ත දෙක මේ සූත්‍රය ආරම්භයේදීම දක්නට පුළුවන.
ලාමක වූ ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනාර්ය, අනර්ථකාරී වූ
කාමසුඛල්ලිකානුයෝගය, නම් වූ පසිඳුරන් පිනවීමේ අන්තයට යෑම ද, දුක් වූ,
අනාර්ය වූ, අනර්ථ කර වූ අත්තකිලමථානුයෝගය නම් වූ ශරීරයට දුක්දීමේ අන්තය
ද යන අන්තදෙක, පැවිද්දා විසින් අත්හළ යුතු වෙයි.
උපන්දා පටන් සත්වයකුගේ ප්‍රධාන අපේක්ෂාව කෙසේ හෝ තමා වශයෙන්
ආත්මදෘෂ්ටියෙන් ගෝචර කරගන්නා රූපාදී පංචාරම්මණයන්ගෙන් ඇස්කන් නාසාදී
ඉඳුරන් පිනවීමයි.
කාම සුඛල්ලිකානුයෝග අන්තයෙන් පුද්ගලයාට මෙන්ම සමාජයටද අනර්ථයක්ම වන්නේ
ය. ඉන්ද්‍රියන් තමා සතු වුවද රූපා දී අරමුණු ගත යුත්තේ බාහිර ලෝකයෙන්
බැවින් අන්තගාමී සුඛ විහාරණයේ දී පොදු සමාජ අයිතියක් බලෙන් සතුකර
ගැනීමට යෑම නිසා විශාල සමාජ පීඩනයක් ඇති වන අතර, අප බුදුරදුන් මහානිදාන
සූත්‍රයෙන් පෙන්වා වදාළ පරිදි තණ්හාව නිසා ක්‍රමයෙන් කෝලාහල දුක්
දොම්නස් පාප කර්ම සිදු වේ.
කාම තණ්හාවේ ආදීනව දැනගෙන කාමසුඛල්ලිකානුයෝගාන්තය අත්හළ යුතු ය. සසර
උපදින මැරෙන ගණන අනන්ත වන්නා සේ ම එකී ආත්මයන්ගේ් කාම තන්හාවේද සීමාවක්
නොමැත. කාමසුඛල්ලිකානුයෝග අන්තයේ ආදීනව.
01. තමාගේ ජීවිතය
අනාරක්ෂිත වීම
02 දුක් දොම්නස් සුලබ වීම
03. සසර දිගු වීම
04. නීතිරීති උල්ලංඝනය
වීමෙන් රාජ දඬුවම් ලැබීම
05. පින් පව් අමතක වීම
06. මිථ්‍යාදෘෂ්ඨි අදහස් ඇතිවීම
අත්තකිලමථානුයෝගයනමි විමුක්තිය ලබා ගැනීම සඳහා දැඩි දුෂ්කර
ප්‍රතිපත්තිවල නිරත වීමයි.
02. මධ්‍යම ප්‍රතිපදාව
මේ අන්ත දෙකම අනර්ථකාරී නම්, අප තෝරාගතයුතු විකල්ප මාර්ගය මධ්‍යම
ප්‍රතිපදාවයි. එය චක්ඛුකරණී (ප්‍රඥා ඇස විශුද්ධ කරන්නේ ය) ඤාණ කරණී
(නුවණැස ඇතිකරන්නේ ය) උපසමාය (කෙළෙස් පරිදාහය සංසිදවන්නේ ය. අභිඤ්ඤාය
(සත්‍ය ප්‍රතිවේදය පිණිස වන්නේ ය) සම්බෝධාය (සත්‍ය ධර්මයන්ගේ අවබෝධය
පිණිස වන්නේ ය) නිබ්බාණාය (නිර්වාණය පසක් කිරීම පිණිස පවතින්නේ ය.)
එකී මධ්‍යම ප්‍රතිපදාව ආර්ය ඤාණයෙන්ම දැනගත යුතු බැවින් අංග අටකින්
යුක්ත වන බැවින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වන්නේ ය. එමෙන්ම දුක්
නිවාරණය කර ගැනීමේ එකම මාර්ගය බැවින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව නම් ද
වන්නේ ය.
01. සම්මා දිට්ඨිය - යහපත් දැකීම
02. සම්මා සංකප්ප -
යහපත් සංකල්පනාව
03. සම්මා වාචාය - යහපත් වචනය
04. සම්මා කම්මන්ත –
යහපත් කර්මාන්තය
05. සම්මා ආජීව – යහපත් ආජීවය
06. සම්මා වායාම -
යහපත් උත්සාහය
07. සම්මා සති - යහපත් සිහිය
08. සම්මා සමාධි - යහපත් සමාධිය
මෙම මධ්‍යම ප්‍රතිපදාව වූ කලී ලොවුතුරා බුදු, පසේ බුදු, මහරහත් යන
ආර්යයන් වහන්සේ අනුගමනය කරන ත්‍රිවිධ ශික්ෂාවෙන් පරිභාවිත, ලෝකයේ
විද්‍යාමාන වන සකල ගුණ ධර්ම වලින් සංයුක්ත වූ සංසාර විමුක්තිය ඇතිකරන
ශ්‍රේෂ්ඨතම නිර්වාණ මාර්ගය යි.
03. චතුරාර්ය සත්‍ය
මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් අවබෝධ වන චතුරාර්ය සත්‍ය ධර්මය
සත්වයාට අවබෝධ කරවීම සඳහා ලොවුතුරා බුදුකෙනෙක් ගන්නා ප්‍රයත්න - ඉතා
පුදුම සහගත ය. ආශ්චර්ය ජනක ය. අති දුෂ්කර ය. කල්ප ලක්‍ෂ ගණන් දානාදී
පාරමී දම් පුරන බෝධි සත්වයන් වහන්සේ ලක්ෂ ගණන් බුදුවරුන් දකිමින්,
සිතමින්, පතමින් සසර සැරිසරන්නේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තමාගේම
ඤාණයෙන් දැන ලොවුතුරා බුදු බව ලබා කෙළ කෝටි ගණන් සත්වයන් සසර දුකින්
මුදන්නෙමි යන කරුණා බර පරාර්ථ චේතනාවෙනි. අප ගෞතම බෝසත් උතුමන් වහන්සේ
ද මනෝ ප්‍රණිධානය වාක් ප්‍රණිධානය පුරා බොහෝ කලක් තිස්සේ පෙරුම්දම්
පුරමින් සුවිසි විවරණ ලබාගත් අයුරු බෝධිසත්ව චරිතයේ විස්තර වෙයි.
විශ්වයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මිනිසාට තමා උපන් පරිසරය අනුව ලබාගත්
සංඥාවෙන් පරිකල්පනය කළ හැකි වූව ද එහි සත්‍යා සත්‍යතාව
ප්‍රත්‍යක්‍ෂයෙන් ප්‍රථමයෙන් දැනගන්නේ ලොව්තුරා බුදුරදුන්මය. එය ආර්ය
ඤාණයෙන් අවබෝධ කරන තැනැත්තා ලෝක ධර්මයෙන් කම්පා නොවන්නේ ය. ජති,
ජරා,ශෝක, පරිදේවාදියත්, මරණයත් සත්වයාට පීඩාවක් වන්නේ තමා හා ලෝකය
තණ්හා, මාන දිට්ඨි වශයෙන් දැඩිකොට අල්ලා ගන්නා බැවිනි.
දුකක් ඇතිවීමට කුමන හෝ හේතුවක් තිබිය යුතු ය. එය බාහිර ලෝකයෙන්
නිර්මාණය වන දෙයක් නොව සත්වයා විසින්ම නොදැන, කරගන්නා වූ කර්මයකි.
‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනුවෙන් බුදු රදුන් එය පෙන්වා දී ඇත.
එසේ නම් දුක් පීඩා මුළුමනින් නැති කිරීමට එහි හේතුව සපුරා නැති කළ යුතු
ය. එමෙන්ම හේතුව නැති කිරීමට මාර්ගය හෙවත් උපක්‍රමයක් අවශ්‍යය. එය නම්
ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අප
බුදුපියාණන් වහන්සේ අවබෝධ කිරීමට පෙර, විශ්වයේ කිසිම කෙනෙක් දැන සිටියේ
නැත. මේ නිසා චතුරාර්ය සත්‍ය ධර්ම එකිනෙක දේශනා කිරීමේ දී පුබ්බේ
අනනුස්සුතේසු ධම්මේසු’ යනුවෙන් දොළොස් අයුරකින් දක්වා තහවුරු කොට ඇත.
04 තිපරිවට්ට ද්වාදසාකාර ඤාණ
අප බුදුරදුන් විසින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම එක් සත්‍යයක් තුන්
ආකාරයකින් දොළොස් ක්‍රමයකට අවබෝධ කරන ලදී.
01. දුක්ඛං අරිය සච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු
ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි
විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි, ආදී වශයෙන් දුක්ඛාර්ය සත්‍යය
පිළිබඳ
01. සත්‍ය ඤාණය,02. කෘත්‍ය ඤාණය,03. කෘත ඤානය වශයෙන් ද,
සමුදයාර්ය සත්‍යය පිළිබඳ,4. සත්‍ය ඤාණය,5. කෘත්‍ය ඤාණය,6. කෘත ඤාණය
වශයෙන් ද,,නිරෝධාර්ය සත්‍යය පිළිබඳ,7. සත්‍ය ඤාණය
8. කෘත්‍ය ඤාණය,9.කෘත ඤාණය වශයෙන් ද,,මාර්ග සත්‍ය පිළිබඳ
10. සත්‍ය ඤාණය,11. කෘත්‍ය ඤාණය,12. කෘත ඤාණය වශයෙන්ද අවබෝධ කළෙමි යැයි
පැවසූහ.
මෙසේ දුක්ඛාර්ය සත්‍යය දැනගැනීම් වශයෙන් ද සමුදයාර්ය සත්‍යය ප්‍රහීණ
කිරීමේ හා නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ද මාර්ග සත්‍යය
වැඩීම් වශයෙන් ද අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම යථාභූත
ඤාණ දර්ශනයෙන් සුවිශුද්ධව ප්‍රත්‍යක්‍ෂ කළ බැවින් සම්මා සම්බුද්ධ නම්
වන සේක.
‘අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණ බ්‍රාහ්මණියා
පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං
ඤාණංච පනමේ දස්සනං උදපාදි. අකුප්පා මේ චේතෝ විමුත්ති’
එකී චතුරාර්ය සත්‍ය ඤාණය පහළ වීම නිසා මගේ චේතෝ විමුක්තිය අකෝප්‍යය,
කුසලාකුසල සංස්කාර රැස්කිරීමක් නැති නිසා,ඉපදීමක් නැත.
මෙවන් ප්‍රතිඥාවක්, ප්‍රකාශනයක්, දේශනයක් සත්වලෝකයේ ප්‍රථමයෙන්ම තැබීම
සමර්ථ වූයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේට පමණකි.
පෙර බුදුවරයන් වහන්සේගේ ප්‍රතිපත්ති මග අනුගමනය කිරීමෙන් සුගත තථාගත
නම් වූ අප ගෞතම සර්වඥයන් වහන්සේ ඒ උතුම් ධර්මාලෝකයෙන් ලෝකයේ
අවිද්‍යාන්ධකාරය දුරු කළ සේක.
05 . ප්‍රථමයෙන් ඒ ධර්මය අවබෝධ කිරීම
ඉමස්මිංච පන වෙය්‍යා කරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං
වීතමලං ධම්මචක්ඛුං උදපාදි. යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ
ධම්මන්ති.
මෙම සූත්‍ර ධර්මය වදාළ කෙණෙහි පස්වග තාපසයන් අතරින් කොණ්ඩඤ්ඤ
තාපසයාණන්ට රාගාදී රජස් නැති පහ වූ කෙලෙස් මල ඇති ධර්මචක්‍ෂුසය හෙවත්
සෝවාන් මාර්ග ඤාණය පහළ විය. යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් ඇතිවේද ඒ
සියල්ල නිරෝධය හෙවත් විනාශය ස්වභාව කොට ඇත්තේය යන යථාර්ථ ඤාණය ලබාගත්
කොණ්ඩඤ්ඤ තවුසාණන් වහන්සේ මෙම සම්බුද්ධ ශාසනයේ ප්‍රථමයෙන් ධර්මය දැනගෙන
මාර්ගඵල ලබා ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වූහ. එමෙන්ම කල්ප ලක්‍ෂ
ගණන් සිදු කළ ශ්‍රාවක පාරමිතා බල මහිමය නිසා අප ගෞතම සම්මා සම්බුද්ධ
ශාසනයේ චිරරාත්‍රඥ ශ්‍රාවකයන් වහන්සේ අතර අග්‍රස්ථානය ලබා අඤ්ඤ
කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඉරහඳ සේ ශාසනාම්බරයෙහි ප්‍රකටව වැඩ සිටියහ.
06. මේ උතුම් ධර්මය දේශනා කරන අවස්ථාවේ මනුෂ්‍යයන් වශයෙන් පස් ;දනකු
වූවද දස දහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයෝ සාධු සාධු අපගේ ස්වාමීහු
බුදුරජාණන් වහන්සේ අපගේම මුහුණ බලා අපටම මංගල ධර්ම දේශනා පවත්වතියි
පී‍්‍රතීන් පිනා සාධුකාර දුන්හ. දස දහසක් සක්වල කම්පා විය. ඉන් පෙර
නොවූ විරූ මහත් ආලෝකයක් පහළවිය.නොයෙක් ආශ්චර්යවත් භාග්‍යවත්
සිද්ධීන්ගෙන් සත්වයන්ගේ හදවත් අමන්දානන්දයට පත්විය. සතර අපායේ දුක්
විඳින සත්වයෝ එවන් මොහොතේ සැනසුම් සුසුම් හෙළූහ. අප බුදුරජාණන් වහන්සේ
විසින් අවබෝධ කළ ශ්‍රේෂ්ඨ ධර්මය සත්වයන්ට අවබෝධ කරවීමේ දී අනුගමනය කළ
ක්‍රියාමාර්ග දේශනා පිළිවෙළ හා ශ්‍රාවකයන්ගේ පාරමිතා ගුණ මහිමය නිසා
කෝටි ප්‍රකෝටි සත්වයන්ට සග මොක් සුවලබාගැනීමට හැකි විය. එදවස බරණැස
ඉසිපතනාරාමයේ ප්‍රථම දේශනාවේ පටන් මේ දක්වා කෝටි සංඛ්‍යාත සත්වයන්ට මෙම
ප්‍රථම ධර්මදේශනා සංඛ්‍යාත දම්සක් පැවතුම් සූත්‍රය ශාන්තිමය දේශනාවක්
වශයෙන්ද දාර්ශනික සාකච්ඡාවක් වශයෙන් ද, සම්භාවනාවට, පූජාවට හා බුද්ධි
වර්ධනයට මහත් ප්‍රයෝජනවත් වූවාසේම සම්බුද්ධ ශාසනය පවත්නාතුරු පරපුරෙන්
පරපුරට මතුවට ජන හදවත් තුළ මේ උතුම් දෙසුම පවතිනවා. |