Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ මහිම

‘ඇසළ’ යන වචනය බිහි වී ඇත්තේ ‘ඇස්’ සහ ‘හළ’ යන වදන දෙක සන්ධි වීමේදී ‘හළ’ යන්නේ මුලට එන ‘හ’ කාරය ලොප් වී හළ යන්න ‘අළ’ බවට පත් වීමෙනි. එවිට ඇස් + අළ යන්න ඇසළ බවට පත් වෙයි.

‘අළ’ යනුවෙන් ලිහිල් වන හළ යන්නෙහි තේරුම විවෘත කරන ලද නොහොත් අරින ලද යන්නයි. පැරැණි පොතපතෙහි එන ‘හළ දොරින්’ යන යෙදුමෙහි තේරුම විවෘත කරන ලද නොහොත් අරින ලද දොරින් යන්නයි. ඒ අනුව ඇසළ යන්නෙහි තේරුම ඇස් ඇරිය නොහොත් ඇස් හැරිය යන්නයි. එම නිසා ඇසළ මහ මහ මහිමය යනු ඇස් ඇරීමේ මහා මහිමය යි. ඇසළ මස යනු ඇස් ඇරිය මාසය යි.

බෞද්ධ ඉතිහාසයේ ඇසළ මස පුන් පෝ දිනක සිදු වූ මහා මහිමය වන්නේ බුදු හිමියන්ගේ ප්‍රථම ධර්ම දේශනය වන ධම්මචක්කප්පවත්වන සූත්‍රය ඇසූ කොණ්ඩඤ්ඤ තවුසාණන්ගේ නුවණ නමැති ඇස ඇරීම නොහොත් නුවණැස පෑදීමයි. එසේ පෑදුණු ප්‍රඥා චක්ෂුව නමැති නුවණැස හැඳින්වීම සඳහා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුහිමියන් විසින් යොදා ගන්නා ලද්දේ ‘ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස වීරජං, වීතමලං, ධම්ම චක්ඛුං උදපාදි’ යන පාඨය යි. එයින් කියැවෙන්නේ කොණ්ඩඤ්ඤ තවුසාණන් තුළ කෙළෙස් මලින් තොර සුපිරිසුදු දහම් ඇස පහළ වූ බව යි.

එසේ කොණ්ඩඤ්ඤ තවුසාණන් තුළ උදා වූ දහම් ඇස කුමක් ද යන්න පැහැදිලි කිරීම සඳහා බුදු හිමියන් විසින් යොදාගනු ලැබ ඇත්තේ ‘යං කිඤ්චි සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මන්ති’ යන පාඨය යි. එයින්් කියැවෙන්නේ ඇතිවන සෑම දෙයක්ම නැතිවන බව සපුරා අවබෝධ වීම ලෝක ධර්ම ස්වභාවය දකින නුවණැස නොහොත් දහම් ඇස පහළවීම බවයි. ඇති වී නැති වී යන කිසිවකු කෙරේ නො ඇලෙන, නොබැඳෙන වීතරාගී සිතක් පහළ වන්නේ එසේ නුවණැස පෑදුණු විට යි.

නැණ හා නුවණ යනු එකම දෙය නොවේ. ‘නැණ’ යනු ඤාණය යි. නුවණ යනු ප්‍රඥාව යි. ඤාණය යනු කාලාන්තරයක් තිස්සේ රැස්කර ගොඩගසා ගන්නා ලද දැනුම් කන්ද නමැති මතක සටහන් සම්භාරය යි’ අතීත කාලයේදී තැන්පත්වූ එම මතක සටහන් අයිතිවන්නේ මියගිය අතීතයට මිස ජීවමාන වර්තමානයට නොවේ. ප්‍රඥාව නොහොත් නුවණ යනු ජීවමාන වර්තමාන මොහොතේදී තමා තුළින් ම මතුවන ක්ෂණික අවබෝධයකි.

ඇතුළතින් මතුවන්නක් නිසා එම අවබෝධය අන්තර් ඤාණය නමින්ද හැඳින්වේ. ඤාණය මගින් ලැබෙන අවබෝධය සහ ප්‍රඥාව මගින් ලැබෙන අවබෝධය අතර ඇති ප්‍රධාන වෙනස කර ඇත. ඤාණ යේ දී අතීත අත්දැකීම්වල මතක සටහන් ප්‍රයෝජනයට ගෙන කාලය දැනුම හා ශ්‍රමය වැය කරමින් තර්කානුකූ®ලව සිතා මතා නිගමනයකට පැමිණ යමක් අවබෝධ කර ගැනීමට හැකිවන අතර, ප්‍රඥාවේදී කාලයක් ඥානයක් ශ්‍රමයක් ප්‍රයෝජනයට නොගෙන ක්‍ෂණික අවබෝධයක් මතුවීමයි. කාලයක් ගත නොවන එම අවබෝධය අකාලික ගණයට ගැනෙන්නකි. හේතුවකින් සිදුවන ඵලයක් නොවන නිසා පටිච්ච සමුප්පන්න ගණයට නොගැනෙන්නකි. පටිච්ච සමුප්පන්න නොවන නිවනද එසේ අකාලිකව ක්‍ෂණිකව මතුවන්නකි.

නිර්වාණවබෝධය ලබාදෙන ප්‍රඥා චක්‍ෂුව නොහොත් නැණැස අප හැම කෙනෙකු තුළම මොහාන්ධකාරයෙන් හා අවිද්‍යා අන්ධකාරයෙන් වැසී සැඟ වී ඇත්තකි. ඒ නුවණැස පෑදී නිවන් දැකිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය වන හේතු සම්පත් මෝරා පරිණත බවට පත් වූ විටය. හේතු සම්පත් මෝරා යාමක් සමග කෙනෙකු නිවන් මගට යොමුවන්නේත් නිවන් දැකීම සිදුවන්නේත් නිරායාසයෙනි.

බුදු හිමියන් වෙසක් පුන්පෝදාක බුදු වී තුන්මසක් යන තුරු සිය ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම ඇසළ පුන් පෝදා උදාවන තෙක් පමා කළේ දහම් ඇස පහළ වීමට උපකාර වන පරිදි ස්වභාවික පරිසරය මුහුකුරා යනතුරු විය යුතුය.

බක්මහ සමග විකසිත වී වෙසක් මහේදී මල් බර පලබර තරුණ වියට පත්ව වසන්තශ්‍රීයෙන් බබලන ගහකොළ ඇසළ මස වන විට ජරාජීර්ණ වී මල්පල කොළ හැලී ඉපල් බවට පත්ව ඇටසැකිලි සේ දිස්වෙමින් ස්වභාවධර්මයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පහළ කරන පරිසරයක බුදු හිමියන්ගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම අර්ථවත් වූයේ කොණ්ඩඤ්ඤ තවුසන් දහම් දකින නුවැණැස අවදි වී සොවාන් පලයට පත්වීමත් සමගය.

කොතරම් ඇසළ මාස පසු වී ගියත ් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හරියකාරව අවබෝධ වී අපට තවම සෝවාන්වීමටවත් නොහැකිව ඇත්තේ ඒ සඳහා අවශ්‍ය අපේ හේතු සම්පත් තවම මුහුකුරා ගොස් නැති නිසා විය යුතුය.

අප යමකට ඇලෙන්නේ කැමැත්ත නිසාය. යමක සමග ගැටෙන්නේ අකමැත්ත නිසාය. අකමැත්තට මුල් වන්නේත් කැමැත්තය. යමක් තමන් කැමති ස්වරූපයෙන් නැති විට ඇති වන්නේ අකමැත්තය.

රාගය යනු කැමැත්ත නිසා යමකට සිත ඇලී යාම ය. දෝසය නොහොත් ද්වේෂය යනු අකමැත්ත නිසා යමක් සමග සිතින් ගැටීමය. අප යම් යම් දේ හා ඇලෙන්නේත් ගැටෙන්නේත් ඒ ඒ දේවල් වල යථා තත්ත්වය නොහොත් ඇත්ත ඇති සැටියේ නොපෙනෙන මෝහය නිසාය. නිවන් දැකීම යනු මේ රාග දොස මොහ මුළුමනින්ම දුරු වී යාමය.

සෝවාන් වීමේදී එක්තරා මට්ටමකට රාග, දෝස, මෝහ දුරුවුවත්, එතෙක් කල් රාග, දෝස, මෝහ භාවිතයෙන් ඇති වූ හුරුව නොහොත් රාගානුසය දොසානුසය හා මොහානුයස මුළුමනින්ම නැති නොවේ. දොසානුසය නමැති පටිඝය මුළුමනින්ම දුරු වන්නේ අනාගාමී පලයේදීය. රාගානුසය හා මෝහානුසය මුළුමනින්ම දුරු වන්නේ අරහත් පලයේදීය.

සෝවාන් වූ පසුව අපාගත වන තරමේ බලගතු පාපයක් නොකෙරෙන්නේ රාග දෝස මෝහ බෙලහීන වීම නිසාය. එසේම සෝවාන් පසු අලුතින් බලගතු පව් කිරීම නතර වීම පමණක් නොව පෙරකළ බලගතු පාපයන් නිසා සතර අපා ගතවීමක් ද සිදු නොවේ. රතන සූත්‍රයේ 10 වෙනි ගාථාවෙහි ‘චතූහපායෙහි ච විප්පමුත්තො’ යනුවෙන් කියවෙන්නේ සෝවාන් වූ අය සතර අපා දුකෙන් මිදෙන බව ය.

තිරිසන් පේ‍්‍රත අසුර හා නරකාදී ආත්මයන් ලෙස දැක්වෙන්නේ සතර අපායන් ය. තිරිසනා නිතරම ජීවත් වන්නේ භයෙන් හා සැකයෙනි. පේ‍්‍රතයා නිතරම ඉන්නේ නැතිබැරිකමෙන් පීඩා විඳින ලෝභ සිතකිනි. අසුරයා නිතරම ඉන්නේ තිබෙන කිසිවකින් පූර්ණ තෘප්තියක් ලැබිය නොහැකිකම නිසා සෑහීමකට පත්නොවන අතෘප්තිමත්කමෙහි පීඩා විඳ විඳය. නරකයෙහි නිරි සතුන් ඉන්නේ නිතරම පිච්චි පිච්චී දැවෙන දැඩි දාහයකිනි. සෝවාන් වූ අය මේ සතර අපා දුකට පත්නොවන බවෙන් කියවෙන්නේ ඒ අයගේ සිතට තිරිසන් සතුනට මෙන් නිරන්තර භයක්වත්, පේ‍්‍රතයනට මෙන් නැති දේ ඉල්ලා අඬා වැටෙන ලෝභ සිතක්වත්, අසුරයන්ට මෙන් තියෙන දෙයකින් සැහීමකට පත් නොවෙන දැඩි අතෘප්තිමත් භාවයක් වත් නිරිසතුන්ට මෙන් නිතර සිත දවන චිත්ත දාහයක්වත් ඇති නොවන බවය. මීට හේතුව සතර අපා දුක් මවන ලෝභ දෝස මෝහ තුනි වී තිබිමය.

තිරිසන් පේ‍්‍රත අසුර හා නිරය යන ආත්මවල උප්පත්තියක් නැතිවත්, මිනිස් සිත් සතන්වල සතර අපායන් නිර්මාණය විය හැක. සිත තුළ නිර්මාණය වන සතර අපායන් යනු සිත තුළින්ම මතු වෙන පීඩාකාරී චිත්ත ස්වරූපයන් ය. නැති දේට ලෝභ කරමින් පීඩා විඳින අය තුළ ඇත්තේ පේ‍්‍රත චිත්ත ස්වරූපයකි. කොතරම් දේ තිබුණත් තවත් මදියයි සිත සිතා කිසිම දේකින් කිසිම තෘප්තියක් ලැබිය නොහැකිව පීඩා විඳින අය තුළ ඇත්තේ අසුර චිත්ත ස්වරූපයකි. හැම විටම කිසියම් දෙයක් ගැන භයෙන් හා සැකයෙන් ඉන්නා අය තුළ ඇත්තේ තිරිසන් චිත්ත ස්වරූපයකි. කිසිවකින් සතුටු විය නොහැකිව හැම දේටම ද්වේෂ කරමින් පිච්චී සිටින අය තුළ ඇත්තේ ගිනිගෙන දැවෙන තිරිසනකු බදු චිත්ත ස්වරූපයකි.

අපගේ සිත්තුළ අපා දුක් මතුවන්නේ අප සිතන ආකාරය උඩය. සිතීම නොහොත් සිතුවිලි පහළවීම දුකක් බවය බුදු හිමියන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ‘සංඛිත්තෙන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා’ යයි සැකෙවින් නොහොත් ඉතා කෙටියෙන් පැහැදිලි කළේය.

‘පංච උපාදානස්ඛන්ධා’ යනු සිතීම නමැති ක්‍රියාවලියේ එන ‘රූප, වේදනා, සංඥා, සංඛාරා, විඤ්ඤාණ’ යන ප්‍රධාන අවස්ථා පහ වේ. සිතීමත් ආරම්භ වන්නේ අපගේ ඇස, කණ, දිව නැහැය, ශරීරය, මන යන ඉන්ද්‍රියන් හයෙන් කිසිවක් ඊට අදාළ නිමිත්තක් ස්පර්ශ කිරීමක් සමඟ එම ඉන්ද්‍රියේ කිසියම් කම්පනයක් ඇතිවීමෙනි. රූප යනු එසේ කම්පනයක් ඇතිවීමය. ‘රුප්පතීති ඛො භික්ඛවෙ රූපං’ යනුවෙන් අර්ථ විග්‍රහ කෙරෙන්නේ රූප යනු රුප්පනය නමැති කම්පන ක්‍රියාවලිය බවයි. ‘ඝට්යීයති පිළීයති’ යනුවෙන් අර්ථ විග්‍රහ කෙරෙනනේ නිමිත්තක හා ගැටීම නොහොත් නිමිත්තක ස්පර්ශ කිරීම නිසා ඉන්ද්‍රිය කම්පනය වී පීඩාවට පත්වීම බවය. මෙහි ඉන්ද්‍රියට ඇතිවන පීඩාව නම් නිමිත්තක හා ගැටී ඇතිවන කම්පනයෙන් එම ඉන්ද්‍රිය කිසියම් ප්‍රමාණයකට රත්වීමයි.

ඉන්ද්‍රියක සිදුවන කම්පනය නමැති චලනයෙන් තෘෂ්ණාව නිපද වේ. මයික්‍රොවේව් අවනයක් තුළ ආහාර රත්වන්නේ ආහාරවල ඉතා සියුම් අණු ඉතාමත්ම වේගයෙන් කම්පනය වීමෙනි. නිමිත්තක් ස්පර්ශයෙන් ඉන්ද්‍රියක සියුම් අණු කම්පනය වන්නේ ඉතා සියුම් මට්ටමකිනි. වේදනා නමින් හැඳින්වෙන්නේ් ඒ මගින් සියුම් විද්යුත් තාප ශක්තිය නිෂ්පාදනය යි.

සංඥා යනු නිමිත්තක ස්පර්ශයෙන් ඉන්ද්‍රියක ජනිතවන විද්යුත් තාපය අනුව ඒ තාපයට මුල් වූ නිමිත්ත හඳුනා ගැනීමය. ඒ දැන හඳුනා ගැනීම සිදු වන්නේ ඊට අදාල පරණ මතක සටහන් අවදි වීමෙනි.

දැනීම යනු නිමිත්ත ස්පර්ශයෙන් ඉන්ද්‍රිය රත්වීමය. වේදනාවය. ඇදිනීම යනු පරණ මතක සටහන් ඇසුරෙන් මතුවන සංඥාවය.

එක ඉන්ද්‍රියකින් දෙනු ලබන සංඥාව අනුව පංචේන්ද්‍රියන්ටම අදාළ මතක සටහන් අවදි වේ. සිතක් පහළ කරන චිත්ත වීථියකදි පංචද්වාරාවර්ජනයක් සිදුවන බව අභිධර්මයේදී කියවෙන්නේ මේ ලෙස පංචෙන්ද්‍රියෙම අවදිවීමක් සිදුවන බවය. උදාහරණයක් ලෙස ගතහොත් අම්මාගේ ඡායාරූපයක් ඇස ගැටුණු විට අම්මාගේ ජීවමාන ස්වරූපය සිතෙන් මතු වේ. අම්මාගේ කටහඬ ඇහෙන්නාක් මෙන් දැනේ. අම්මා හදා දුන් කෑම වල රසය දිවට දැනේ. අම්මාගේ සුවඳ මෙන්ම අම්මාගේ කෑමවල සුවඳද නැහැයට දැනේ. අම්මාගේ ස්පර්ශය ඇඟට දැනේ. අම්මාගේ ආදරය කරුණාව හිනාව දැනේ. ඒ මගින් සිදුවන්නේ අම්මා පිළිබඳ සිතුවිලි වැලක් ක්‍රියාවට නැගීමය. අප තුළ සතුවිලි පහළ වන්නේ මේ ආකාරයටය.

සංඛාරා යනු සිතුවිලි පහළවීම නොහොත් සිතීමය. අප යමක් ගැන සිතන්නේ ඒ ගැන ඇතිවන කැමැත්ත හෝ අකමැත්ත හෝ ඒ ගැන හරිහැටි නොදන්නාකම නිසා ය. රාගය යනු කැමැත්තය. දෝසය යනු අකමැත්තය. මෝහය යනු හරිහැටි නොදන්නාකම ය.

අප පින් පව් දෙකම කරන්නේ රාග, දෝස, මෝහ පදනම් කරගෙනය. පින්කරන්නේ සැප විඳින කැමැත්තෙනි. කැමැත්ත රාගයකි. එසේම අප පින් කරන්නේ දුක් විඳීමට ඇති අකමැත්ත නිසා ය. අකමැත්ත දෝසයක් නොහොත් ද්වේශයකි. එමෙන්ම අප පින් කරන්නේ අප පින් කිරීමෙන් අපේක්ෂා කරන මනුෂ්‍යලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත් පවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බව නොවැටහෙන මෝහය නිසා ය.

අපාගත වීමට සිදුවන පව් සිතුවිලි හඳුන්වනු ලබන්නේ අපුඤ්ඤාභි සංඛාරා නමිනි. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, සැප සම්පත් ලබාදෙන පින් සිතුවිලි පුඤ්ඤාභි සංඛාරා නිමිනි. බ‍්‍රහ්ම ලෝක සම්පත් ලබාදෙන උපේක්ෂාසහගත මධ්‍යස්ථ සිතුවිලි ආනෙඤ්ඡාභි සංඛාරා නමිනි. මෙබඳු පින් පව් දෙකෙන්ම සිදුවන්නේ නැවත නැව.ත ඉපදීමට ඉඩ සැලසමින් සංසාර ගමන දික්කරන ප්‍රතිපදාවයි. විඤ්ඤාණය ලබාදෙන විඤ්ඤාණ ශක්තිය වැඩීමය. සිතක් දැක්වෙන පංච උපාදානයකුත් තමා නමැති පියවර පහේ අන්තිම පියවර විඤ්ඤාණය වේ.

එම විඤ්ඤාණය මෙම ආත්මයේදී පහල වන්නක් වන අතර ඒ මගින් පටිසන්ධිවි ඤාණය පහළ වීම සිදුවන්නේ ඊළඟ ආත්මයේදී ය.

සිතක අවසාන පලය වන විඤ්ඤාණය පදනම් වන්නේ සංඛාර නමින් හැඳින්වෙන සිතුවිලි සකස්වීමය. බුදු හිමියන් ධම්මඤචක්ක පවත්තන සූත්‍රය දේශනාකොට කොණ්ඩඤ්ඤ තවුසාණාන්ගේ නුවණැස පෑදුවේ ‘සංඛිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා’ යනුවෙන් වදාරා දුක යනු සිතීම බව පැහදිලි කිරීමෙනි.

ලොව්තුරා බුද්ධත්වයට පත් වීමේදී සිදුවූයේ සිතීම නතරවීම බවය. ‘විසංඛාරගතං චිත්තං’ යනුවෙන් ප්‍රථම බුද්ධ උදානයේදී කියවෙන්නේ.

අප සිතන්නේ ඥානය නමැති දැනුම නොහොත් පරණ අත්දැකීම්වල මතක සටහන් පදනම් කරගෙනය.

ප්‍රඥාක්ෂිය නමැති නුවණැස පෑදෙන්නේ ඥානය පදනම් කරගෙන කෙරෙන සිතීම නතර වූ විටය.

ඇසළ පුන් පෝදාක සිදු වූ මහා මහිමය මෙසේ කොණ්ඩඤ්ඤ තවුසාණන් තුළ දහම් දකින ධම්මචක්ඛු නොහොත් නුවණැස පෑදීමය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.