Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කයිරෝ වෙසක් උළෙල


ඊජිප්තු ශ්‍රී ලංකා තානාපති ඊබ්රහිම් අන්ෂාර් මහතාගේ සුරතෙහි ලෙනදොර සෝරත හිමියන් පිරිත් නූලක් බැඳි අවස්ථාව

පසුගිය වෙසක් පොහෝ දින ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති ඊබ්රහිම් අන්ෂාර් මහතාගේ හා පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේද ආරාධනයෙන් ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට කයිරෝ නගරය ආශ්‍රිත කොටගෙන වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධ වී පැවැත්වූ වෙසක් උත්සවයකට සහභාගී වෙමින් ආගමික කටයුතු සිදු කිරීමේ අවස්ථාවක් ලැබිණි. එය විශේෂයෙන් ලාංකික වූ අපටත් සෙසු ලෝක වාසි ජනතාවටත් ආදර්ශමත් ක්‍රියාවකි.

ඊජිප්තුව මුස්ලිම් ජාතිකයින් වැඩි පිරිසක් ජීවත් වන අප්‍රිකා මහද්වීපයට අයත් රටකි. මෙහි ශ්‍රී ලංකා තානාපති වරයා ලෙස රාජකාරී කටයුතු වල නිරත වන්නේ ‘ඊබ්රහිම් අන්ෂාර්’ මහතායි. එතුමාගේ කාර්ය මණ්ඩලයේ සිංහල ජාතිකයින් මෙන්ම මුස්ලිම් පිරිසද සිටිති.

ගත වූ වෙසක් පොහෝ දින ඊජිප්තු තානාපති කාර්යාලය බෞද්ධ විහාරස්ථානයක අසිරිය ගෙන තිබිණි. තානාපති තුමා සහ එතුමාගේ බිරිඳත් පුතනුවන් හා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සෑම දෙනාමත් ඊජිප්තුවේ කයිරෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවත් එදින පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවන් මෙන් වූහ.

ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ වී මේ වන විට වසර 51 ක් ගත වී ඇතත් බෞද්ධ වතාවත් වලට මුල් තැන දෙමින් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩම කරවා ධර්ම දේශනාවක් පිරිත් දේශනාවක් පවත්වා ඇත්තේ පළමු වතාවට වීම විශේෂ කාරණයකි.

එය මුස්ලිම් ජාතික තානාපති වරයකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වීම ශ්‍රී ලාංකික ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් ලබා දුන් උතුම් ආදර්ශයකි.

මෙය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ආගමික සහනශීලී පිළිවෙත ඉතා හොඳින් ක්‍රියාවට නැගුණු අවස්ථාවක් පමණක් නොව විවිධ ජාතීන් අතර විවිධ ආගමිකයින් අතර තිබිය යුතු සුහදතාව ප්‍රදර්ශනය කළ මොහොතකි.

ධර්ම ශ්‍රවණය සඳහා ආගම් භේදයකින් තොරව මුස්ලිම් ජාතිකයින් කතෝලික ආගමිකයින්, බෞද්ධයින් එහි පැමිණියේ ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින්ය යන හැඟීමෙනි. මෙය අපේ රටේ ඇති වී තිබෙන අසමගිතාවය මග හරවා ගැනීමට ක්‍රියාත්මක කළ හැකි සාර්ථක පිළියමක් ලෙස සැලකීම ද වරදක් නොවේ.

සෑම පුර පසළොස්වක පොහෝ දිනකම කයිරෝ නගරයේ ශ්‍රී ලාංකිකයින් තානාපති කාර්යාලයට පැමිණ බෞද්ධාගමික වතාවත්හි නිරත වීම තානාපති තුමා හා කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන තවත් වැඩසටහනකි.

වෙසක් සමයේ දන්සල් පැවැත්වීම අපේ බොදු ජනයා අතර ක්‍රියාත්මක ජනප්‍රිය පිළිවෙතකි. එය ද ඊජිප්තු තානාපති කාර්යාලයේ මෙදින දක්නට ලැබිණි.

ආගමික කටයුතු නිම වීමෙන් පසු සහභාගී වූ හැමට දන්සල තුළදී ආහාර පාන ලැබිණි.

මුස්ලිම් ජාතික තානාපති වරයකු තම කාර්ය මණ්ඩලයද සහාය කර ගනිමින් කළ මේ උදාර මෙහෙය ලාංකික ජනතාවටද ආදර්ශයක් වේවා !.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.