Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සදාචාරය වනසන සංස්කෘතික උපකරණය’

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංශාධිපති (සිංහල) සාලිය කුලරත්න මහතා විසින් රූපවාහිනිය හා ධර්ම සන්නිවේදනය මැයෙන් 2008 - 05 - 19 වැනි දින බුදුසරණ පත්‍රයට සැපයූ ලිපිය පිළිබඳවයි.

“රූපවාහිනිය වැනි දෘෂ්‍ය මාධ්‍යයක් නියත ධර්ම නීති පද්ධතියක් (Set of canons) මත පාලනය විය යුතු බව, සන්නිවේදන විශේෂඥයන්ගේ මතය යි.

(ආරියරත්න ඇතුගල සන්නිවේදකයා 1995) එසේම රූපවාහිනිය සංස්කෘතික උපකරණයකි. ඉන් සදාචාරාත්මක ඵල (moral effects)  ප්‍රේක්ෂකයාට තිළිණ විය යුතුය.

මේ ප්‍රවේශය මගින් මම අතිශයින් කාලෝචිත ප්‍රස්තූතයක් පිළිබඳ බුදුසරණ පාඨකයාගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි” යනුවෙන් සාලිය කුලරත්න මහත්මා පැහැදිලි කරන්නට යෙදුණු කරුණු සියල්ල ඉතා ප්‍රශංසනීය බව කිව යුතුව ඇත.

රූපවාහිනිය වැනි දෘශ්‍ය මාධ්‍යයක් නියත ධර්ම නීති පද්ධතියක් (Set of canons) මත පාලනය විය යුතු බව මෙකී ලියුම්කරු ද අනුමත කරන බව පෙනේ. එ සේ ම රූපවාහිනිය සංස්කෘතික උපකරණයකි. ඉන් සදාචාරාත්මක ඵල (moral effects) ප්‍රේක්ෂකයාට තිළිණ විය යුතු ය. යන්න අප ගේ ද බලවත් සැලකිල්ලට හේතු වී ඇති බැවින් මේ ලිපිය ලියා එවීමට අදහස් කළෙමි. අපේ බුද්ධිමතුන් ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ යථාර්ථය ජනතාවට පෙන්වා දීමට දරන වෑයම කොයි කාගේත් පැසසුමට ලක්විය යුතුය.

රුපවාහිනිය සංස්කෘතික උපකරණයක් වී ඇත්තේ කෙසේ දැයි සලකා බැලීම ඉතා වැදගත් කටයුත්තක් බව පෙනේ.

රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණයකි. ඇස - කන - දෙක ම යොමු කළ යුතු ය. මෙය මිනිසා දැහැන් ගත කරවන්නක් බඳු ය.

ඇස්වට නොරිදෙන්නට රස භාව නමැති කටු ගසා තිර පටක (Screen) බැඳ තැබුවාක් මෙන් බලා සිටීමටත් කන්වලට නොරිදෙන පරිදි ශබ්දභාවයන් නමැති කටු ගසා සද පතුරවනයක (speaker) ඇද බැඳ තැබුවාක් මෙන් අසා සිටීමටත් සිදු වී ඇති සැටි අප කොයි කාටත් පැහැදිලි ය.

කරුණු මෙ සේ හෙයින් අප හැම දෙනාවම අද එකම මණ්ඩපයකට පමුණුවා ඇති බව රහසක් නොවේ.

මව, පියා,දුව,පුතා, මුණුබුරා, මිණිබිරිය ආදී වශයෙන් ඇති සෑම සියලු දෙනාව ම අද එකට එක් තැන් කොට රූපවාහිනිය අබිමුවට කැඳවා ගෙන ඇත.

මෙය මහ ම මහ අසිරියෙක් නො - වේ - ද? එ පමණක් ද නොව, එකිනෙකා ගේ පි‍්‍රය මනාප කම් අනු ව වුවමනා නම් එක එක චැනලයක් වුව ද නැරැඹිය හැකි ය. දුව පි‍්‍රය කරන චැනලය පුතා ප්‍රිය නොකරනවා විය හැක.පුතා පි‍්‍රය කරන චැනලය දුව පි‍්‍රය නො කරනවා ද විය හැක. මෙසේ තව ද නොයෙකුත් පහසුකම් දැන් සැලසී ඇත.

ඇතැම් විට පවුලේ මවුපිය සහෝදර ආදීන් එක්ව ඉඳ නැරැඹීමට තරම් සුදුසු නො - වන දර්ශන කොතෙකුත් දැක ගත හැකි ය.

ඉදින් සංස්කෘතික උපකරණයක් යැයි කියා මෙයින් පෙන්වන, කියා දෙන සදාචාරාත්මක දේ කුමක් විය හැකි ද? සංස්කෘතික දේ කුමක් විය හැකි ද?

අපේ තුබුණු සදාචාරාත්මක හැඟුම් සියල්ලක්ම වාගේ අද විනාශයට යමින් පවත්නේ මෙකී රූපවාහිනී නියත ධර්ම නීති පද්ධතිය (Set of canons) නිසා දැයි අසන්නට සිදු වී ඇත.

මෙකී උපකරණය අප සමාජයට පිවිසි දා සිට ම අපට ඇති වී තිබෙන සුගතියක් ගැන නම් කෙසේවත් කියන්නට පුළුවන් කමක් නැති තරම් ය. භාෂා ශාස්ත්‍ර - කලා ශිල්ප හා නොයෙකුත් අගනා දේ ඉගෙන ගැනීමට රජ මාවතක් ඇරුණා යැයි බොහෝ දෙනා සිතා සිටි නමුත් - තිබුණු සදාචාරයත් පිරිහී සභ්‍යත්වයත් වැනැසී ගිය බවට නම් දහසකුත් එකක් සාධක දැක ගත හැකි ය.

ළමා ළපටින් ගේ අධ්‍යාපනයට කුමක් සිදු විණි ද? දරුවන් අද රූප පෙට්ටියෙන් වැළැක්වීම කෙසේ වත් කළ නො හැකි තැනට පත් ව ඇත. වෙළෙන්දන්ගේ බඩු බාහිරාදිය විකුණා ගැනීමට ප්‍රසිද්ධිය ලබා දෙන රූපවාහිනිය ඔවුන්ට උවමනා හැටියට රටේ ජනතාව නොමඟට යොමු කර සදාචාරයට සභ්‍යත්වයට පවා හානි සිදු වන අන්දමට ටෙලි නාට්‍ය ආදිය ප්‍රදර්ශනය කරන බව ද කිව යුතු ව ඇත. අධ්‍යාපනික, සාමාජික, සදාචාරාත්මක සියල්ල ව්‍යාපාරිකයින් ගේ ඕනෑ එපාකම් වලට අනුව කරගෙන යාමට ඉඩ දී ඇත.

පහනට පැන නසින පළගැටියන් මෙන් ඇවිළෙන විදුලි බුබුළුවක් දෙස බලා ඉඳිමින් කල් යවන අපේ අසරණ ජනතාව ඉතා බරපතල අන්දමට කාලය කා දැමීමට අද පුරුදුව ඇත.

කාලය රන් හා සමාන යැයි දැනගෙන කාලයෙන් වැඩ ගත් සිංහලයා අද කාලය - මිරිකා ඉවත දමන පොල්කුඩු තරමටවත් නො සලකා ඕප දූප අසන්නට හා බලන්නට පුරුදු වී ඇත.

පිට රටවල මිනිසුන් යකා පෙට්ටිය  (devils box) නමින් හඳුන්වන මෙකී ඕපාදූප පෙට්ටිය (රූපවාහිනිය) අද අපට ජාතියේ මුදුන් මල්කඩ වී ඇත්තේ නො වේ ද?

බඩු භාණ්ඩ විකුණන වෙළෙන්දන්ගෙන් ඒ බඩු භාණ්ඩ මිලයට ගැනීම පමණක් නොවේ ඒ අයට වුවමනා හැටියට ඒ අය දෙන හැටියට අධ්‍යාපනය සදාචාරය සහසභ්‍යත්වය ද අපට භාර ගන්න සිදු වී ඇත.

ඉස්සර දෙමාපියන් තම දරුවන් අසල්වැසි නිවෙස් වලට යෑමෙන් පවා වළක්වා ගත් සැටි අපට මතක ඇත. එසේ කළේ ඒ ගෙවල් වල ඉන්නා අය නොසැබි දේ කථා කරන නිසා ඒවා ඇසීමෙන් ඔවුන් වළක්වා ගැනීමේ අදහසිනි.

එහෙත් අද කොපමණවත් නො සැබි නො මනා දේ දැක බලා ගැනීමටත් අසා දැන ගැනීමටත් අවකාශය එළඹී ඇත්තේ මේ අලුත් උපකරණය නිසා නො වේ ද ?.

පාසලේ ගුරුවරුන් පැය පහක පමණ කාලයක් තිස්සේ විනයානුකූලව සතර හදාරන්නට සලස්වන නමුත් දරුවන් නිවෙස් කරා පැමිණීමෙන් පසු ගුරුවරයා හැටියටත් මවුපියන් හැටියටත් සලකන්නේ රූපවාහිනිය බව කිව යුතු ව ඇත.

මෙවැනි නවීනතම යන්ත්‍රයක් ලැබීමෙන් ඇති විය හැකි දියුණුව පිළිබඳ සිහින දකිමින් සිටි අපට ඉන් ඇති වන දුර්විපාක වලින් බේරී සිටීමට ද අද ඉඩ කඩක් නැති ව ගොස් තිබීම හරි ම අවාසනාවන්ත කමක් නො වේ ද ?

ඇරිය බලියකුත් නැත බෙරේ පලුවකුත් නැත කියන තත්ත්වයේ පරාජිත බවකට අප හැම දෙනා ම පත් ව නැති දැ යි සිතා බැලිය යුතු නො වේ ද ?.

මිනිසා මිනිසාට උවමනා දේ බලා හදා ගැනීමට හැකි වන පරිදි යන්ත්‍රයක් නිපදවා ගැනීමෙහි ලා අවුරුදු ගණනාවක් තිස්සේ සිහින දකිමින් සිටියේය.

ඒ සිහිනය සැබෑ කර ගැනීමට දරන ලද ප්‍රයත්නයෙහි ඵල විසින් යන්ත්‍රයක් නිපදවූයේ ය.

එම යන්ත්‍රය තමයි අද අප ටී. වී. හෙවත් රූපවාහිනිය නමින් හඳුන්වන්නේ.

අභාග්‍යයකට මෙන් මෙසේ සාදා ගන්නා ලද යන්ත්‍රයෙන් අපට වුවමනා දේ වෙනුවට බලා ගත හැකි වන්නේ ඒ අයට වුවමනා දේ බව ඉතා පැහැදිලිය.

අපි හැම දෙනාම ඔවුන්ගේ කාබන් පිටපතක් බවට පෙරැළීම කෙසේ වත් අද වළක්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

බකං නිලාගෙන සිටීම අපේ ජීවිතයට ම හුරු පුරුදු කරන යන්ත්‍රයක් අද අපිට තිළිණ වී ඇති බව ඉතා ආඩම්බරයෙන් කිව යුතු නො වේ ද ?

බල්ලා කණ්ණාඩියෙන් බලා කණ්ණාඩියට බුරා වටයක් දෙකක් කැරකී කණ්ණාඩියට ඉතා කිට්ටු වී ළෙවකා ආදරය පෙන්නා යන්නේ යම් සේද අද අපි ද එබඳුම කටයුත්තක නිරත වන පිරිසක් වී ඇත. අනුන් කියන දේ අනුන් කරන දේ බලා ගන්නට සාදා ගත් තාක්ෂණික කණ්ණාඩිය (Technological mirror)  දෙස බලා ඉඳගෙන අද අපි හැම දෙනා ම ඇප වී කැප වී වශී වී ආකර්ෂණය වී සියල්ල අමතක කොට ගෙන මහා ප්‍රපාතයකට ගමන් කරමින් සිටින්නේ දැන දැන ම නො වේ ද ?


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.