Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අසිරිමත් දඹදිව වන්දනාව

ජීවිතයක ප්‍රාර්ථනා බොහෝය. ඒ අතරින් බෞද්ධයෙකුගේ ජීවිත ගමනේ අති උත්තරිතම ප්‍රාර්ථනාවක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද දඹදිව වැඳ පුදා ගැනීම. මේ සඳහා දුක් මහන්සියෙන් ජීවිත කාලය පුරා එකතු කර ගන්නා මුදලින් පෙරුම් පුරා යෑමට සූදානම් වන ගමනට මෙම ලිපියෙන් අත්වැලක් සැපයීම අපගේ පැතුමයි.

දඹදිව යෑමට ශ්‍රී පාදය කරුණා කිරීමට මෙන් කාලයක් ඇත. අධික රශ්නය අධික ශීතල නොමැති විය යුතු අතර එනම් දඹදිව යෑමේ කාලය අගෝස්තු සිට දෙසැම්බර් දක්වා සහ පෙබරවාරි සිට අපේ‍්‍රල් අතර යෙදී ඇත. ඔබ ශීත දේශගුණයට අකමැති නම් මාර්තු, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝම්බර් , නොවැම්බර් සුදුසු වන අතර පෙබරවාරි , නොවැම්බර් කාලය නුවර, පේරාදෙණිය වැනිය. දෙසැම්බරය, බණ්ඩාරවෙල වැනිය. මෙයිනුත් ඔබ දඹදිව වන්දනාව කිරීමට තෝරා ගන්නේ කඨින පින්කම් හා වෙනත් එවැනි උත්සව පවතින කාලයේ නම් වඩාත් විමසිලිමත් විය යුතුය. මන්ද නුවර පෙරහර කාලයට ඔබ දළඳා මාලිගයට ගොස් ඇත්නම් පොසොන් පොහොයට අනුරාධපුරයට ගොස් ඇත්නම් ඔබට සිත් සේ වැඳ ගැනීමට නොලැබී ද වරු ගණනක් පෝලිමේ ඉඳ අමාරුවෙන් මලක් පුදා එළියට තල්ලු වීමට සිදුවේ. සාමාන්‍යයෙන් එවැනි දිනවලදී 2000ක් 3000ක් පමණ පිරිසක් සහභාගී වීමේදී ඇතිවන තත්ත්වය ඔබ විසින් සලකා බලන්නෙ නම් යහපතකි. ශ්‍රී ලංකාවේ නම් ඔබට ඉහත කී ස්ථානවලට කිහිපවරක් යා හැකියි. එහෙත් පෙරුම් පුරා යන දඹදිව වන්දනාවකදී නම් සිත් සේ වැඳ පුදා නොගෙන ඒ ඒ ස්ථානවල මඳක් හෝ සමාධි සුවයෙන් නොහිඳ ආපසු පැමිණි පසු ඔබටම පසුතැවීමට සිදුවන බව අත්දැකීම් තුළින් අපි දනිමු.

කාලය තෝරාගත් පසු ඔබ ආයතනයක් තෝරා ගන්න. මෙම ගමන තනිව යෑම අපහසුතා වලට මුහුණ පෑමට සිදුවන අතර යම්කිසි ආයතනයක් මගින් යෑම ඉතා සුදුසුය. ආයතනයක් තෝරා ගැනීමේදී ඉතා කල්පනාකාරීවම එය කළ යුතුය. ඒ සඳහා පලපුරුදු ජන ප්‍රසාදයට පත් ආයතනයක් තෝරාගත යුතුය. ඔබ තෝරාගත් ආයතනය සමඟ කතා කිරීමේදී ඔවුන්ගෙන් ලැබෙන පිළිතුරු සෘජුවිය යුතුය. අනතුරුව අය කරන ගාස්තුව ඔබට ගැලපෙන්නේ නම් ලැබෙන පහසුකම් පිළිබඳව සොයා බලන්න. නවාතැන් ගන්නේ හෝටල් වලද පන්සල් වලද ඔබ යන්නේ සුඛෝපභෝගි වන්දනාවක් නම් අඩුම තරමේ යාබද නාන කාමර සහිත උණුවතුර ස්නානය කිරීමට හැකි මට්ටමේ කාමරවත් ලබාදිය යුතුය. ඔබ යන ගමනේ වන්දනා නඩය කොපමණ ඇද්ද යන්න ඉතාමත් වැදගත් කරුණකි. මන්ද 100 කට වඩා වැඩි වන්දනා කරුවන් පිරිසක් සහභාගී වන්නේ නම් එය ආයතනයට වන්දනාකරුවන් සෑම දෙනාටම එක සේ පහසුකම් දීමේ හැකියාව ඇද්දැයි සොයා බලන්න. (සමහර ආයතන සහභාගී වන ප්‍රමාණය කෙලින් පවසන්නේද නැත) කෑම / බීම ලැබෙන්නේ කුමන ආකාරයටද බීමට බෝතල් වතුර අනිවාර්යයෙන් පාවිච්චි කළ යුතුය. එය ආයතනය මගින් ලැබෙනවා ද ශ්‍රී ලංකාවේ ආකාරයට ඔබට ආහාර ලැබෙනවාද (ඉන්දියානු කෑම වේලක් දෙවේලක් කෑමට ගත්ත ද දින ගණනක් පුරා ගැනීමෙන් අපහසුතා වලට මුහුණ පෑමට සිදුවේ) එමෙන්ම ඔබ වන්දනාවේ යන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආකාරයට ආහාර පිළියෙල කිරීමේ දී සාංඝික දානය පිරිනැමීමට හැකි අතර ඔබ යන වන්දනාවේදී ඉන්දියානු හෝටල් වලින් ආහාර ගන්නවා නම් සාංඝික දානය පැකට් සාදා හෝ හෝටලයට ස්වාමින් වහන්සේලාට වඩම්මවා දිය නොහැකි බවත් සිතන්න.

ඉන්දියානු හෝටල් වලින් ලබා ගන්නා අබතෙල් හා අපට නුපුරුදු තෙල් වර්ග අධිකව යෙදු කෑම වර්ග විශාල ප්‍රමාණයක් තිබුණත් ඒවා කෑමට ගැනීමට අපහසු නම් පලක් නැත. ශ්‍රී ලාංකික අපට පුරුදු මිරිස් ලුණු ඇඹුල් රසය ඔබට ලැබෙනුයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන යන තුනපහ වර්ග යෙදූ කෑම ඉන්දියාව තුල පිස දීමෙදී පමණි.

ඔබේ ගමනේ පරමාර්ථය බුදු පහස ලැබූ සියලු ස්ථාන වන්දනා කරමින් කුසල් රැස් කිරීමයි. එසේ නම් මෙම ගමන දඹදිව චාරිකාවක් නොවි දාන ශීල භාවනා කටයුතු සිදුවන දඹදිව වන්දනා විය යුතුය.

මීට අමතරව ඔබේ ගමන් මාර්ගය කෙසේ ද ගුවනින් යන්නේ දිල්ලියට හෝ බුද්ධගයාවට නම් එය වඩාත් පහසුය. ඔබට දුම්රියේ යෑමට සිදුවන්නේ නම් එය කුමන තත්ත්වයේ දුම්රියක් ද දුම්රිය තුල ගතකරන කාලය කොපමණ ද යන්න සොයා බලන්න. ඉන්පසු වන්දනාවට යන බස්රථය සුඛෝපභෝගි රථයක්ද වායු සමනය කර ඇත් ද විමසිලිමත් වන්න. ඔබට මුලු වන්දනාව සඳහා යන බස්රථය ඉතාමත් හොඳ තත්ත්වයේ විය යුතුය. වන්දනාවේදී සිද්ධස්ථාන වලට ඇතුලු වීමේ ගාස්තු ගෙවීමට සිදුවේ. ඔබ ආයතනයට ගෙවූ මුදලට එය ඇතුලත් ද යන වග සොයා බලන්න. ඔබට ගමන් බල පත්‍රයක් නැත්නම් එය සහ වීසා ආයතනය විසින් සාදා දෙනවාද ඔබ දැනගන්න. ඔබගේ ගමන් මලු රැගෙන යෑම සිදුවන ආකාරය විමසන්න. අපගේ වන්දනාකරුවන්ගේ ගමන් මලු අප විසින් රැගෙන යෑම සිදුවන ආකාරය විමසන්න. අපගේ වන්දනාකරුවන්ගේ ගමන්මලු අප විසින් රැගෙන යනු ඇත.

අප වන්දනාවක ගියත් රටකින් රටකට යෑමේදී ශ්‍රී ලංකාවේ සිටිනා දුවා දරුවනට තෑගි ගෙන ඒමට සාප්පු යෑමට ඔබට පුළුවන්. ඒ සඳහා ඔබට ලැබෙන වේලාව පහසුකම් පිළිබඳව දැන ගන්න. විශේෂයෙන්ම ඔබගේ වගකීම සහ ආරක්ෂාව දැරීමට සිටින කාර්ය මණ්ඩලය ගැන දැනගන්න. මෙහි ලියවුනු නොලියවුනු ඔබට ඇති සියලුම ගැටලු ශ්‍රී ලංකාවේ දී නිරාකරණය කර ගනිමින් වන්දනාවේ යෙදෙන්නට ඔබට හැකිනම් සාර්ථක වන්දනාවක් කර ගැනීමට ඔබට හැකිවනු ඇත.

දඹදිව වන්දනාවන් ඉතා හොඳින් පවත්වාගෙන යන ආයතන ඇතත් එලෙසින්ම වන්දනාකරුවන් කරදරයට පත්කරන ආයතන සහ පුද්ගලයන් ද බොහෝ ඇති බව සිතන්න.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.