Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?

පිළිතුර - වලිසිංහ හරිස්චන්ද්‍රතුමා. ඔහුට ජාතියේ උපහාරය පිණිස අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය නම් කොට ඇත.

ප්‍රශ්නය - ක්‍රි.පූ. තුන් වන සියවසට අයත් සාංචි හා භාරුත් කැටයම්වල සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ නිරූපණය කර ඇත්තේ සංකේත භාවිතා කරමිනි. ඒ සඳහා කලාකරුවන් යොදා ගත් සංකේත කවරේදැයි පැහැදිලි කරන්න.

පිළිතුර - සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් ශ්‍රාවක පිරිස අතර දොම්නස් සිතිවිලි ජනිත වීම නිසා උන්වහන්සේ නියෝජනය වීම සඳහා සංකේත භාවිතා විය. දාගැබ් වහන්සේ හෙවත් චෛත්‍ය, බෝධීන් වහන්සේ සහ පිළිම වහන්සේ යන අංග තුන සංකේත වශයෙන් භාවිතා කළහ.

ප්‍රශ්නය- යුරෝපීයයන් තමන් උරුමකරගත් ආගම තම වැඩිහිටි වියෙහි දී අතහැර දමා බුදු සමය වෙත ඇදී ඒමට ඔවුනට අතිශය ආකර්ශනීය වූ තාර්කික වූ හේතු තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත ආකර්ශනීය වූ සමහර අය අතිය ප්‍රසිද්ධියට පත් වූ අයයි. ශ්‍රී ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ විශ්වාසය කින් තොර ව ඔවුන් බුදුසමය වෙත ආකර්ශනය වීමට හේතු පැහැදිලි කරන්න.

පිළිතුර- ලන්ඩන් විහාරාධිපති මැදගම ශ්‍රී වජිරඤාණ නාහිමි අභිනන්දන ග්‍රන්ථයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා මෙම ප්‍රශ්නයට ලියූ පිළිතුරකි මේ. බටහිර විද්වතුන් තුළ බුදු සමය ජන විශ්වාසයන් අධිවාසනයෙන් සැළකීම හෙවත් සහන සීලීත්වය බටහිර ලෝකයේ ඊශ්වරවාදී හෙවත් සර්වබලධාරී දෙවිකෙනෙකු ගේ සර්වාධිපත්‍ය ගැන පූර්ණ විශ්වාසය තැබූ ආගම් ගැන පමණක් දැන සිටි ඔවුනට අමුතු ම අත්දැකීමක් වූ බව පෙනේ. තවද යුරෝපීය ජනයා දාහත්වන දහ අටවන සියවස්හි අති දරුණු මනුෂ්‍ය ඝාතක යුද්ධ කිහිපයක් තම තමන් අතර යෙදුනාහ. එසේම පසළොස්වන සියවසින් පසුව ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල යටත් විජිතයන් පිහිටුවාගෙන ඒ ඒ රටවල පැවති ආගම් වෙනුවට තමන් අදහන ක්‍රිස්තියානි ධර්ම ස්වරූපය එම පෙදෙස්හි පතුරුවා හැරීමට මහත් ප්‍රයත්නයන්හි යෙදී සිටියහ. එම ප්‍රයත්නයන්හිදී වධහිංසා හා මනුෂ්‍ය ඝාතන නිරන්තර ව සිදු වූ ආකාරය ඉතිහාසයෙන් පෙනේ.

මින් කණස්සල්ලට පත් වූ යුරෝපීයයන්ට බුදු සමයෙහි එන මානව හිතවාදී සහනසීලී ආකල්පය මහත් සේ ආකර්ශනීය විය. සුප්‍රකට දාර්ශනිකයෙකු වූ බර්ටර්න්ඩ් රසල් (1872 – 1970) විසින් මෙසේ කියා තිබේ. ඉතිහාසයෙහි දක්නා ලැබෙන ශ්‍රේෂ්ඨ ආගම් අතුරෙන් මගේ කැමැත්ත බුදු සමය වෙතට ය. කුමක් හෙයින් ද? එහි මුල් ස්වරූපයෙහි දී අන්‍ය පීඩනය අඩුවෙන් දැකිය හැකි බැවිනි.

යුරෝපීයයන් දැන සිටි කිතු සමය හා ඉස්ලාම් දහම් අනුගමනය කළේ “දළ්හ ද්ට්ඨික” නොහොත් පරමත නොඉවසන දැඩි පිළිවෙතකි. මේ ගැන ඉංගී‍්‍රසි ජාතිකයෙකු වූ ෆ්රැන්සිස් ස්ටෝරි මහතා (1910 – 71 )පසුව අනගාරික සුගතානන්ද ලෙස බුරුමයේ විසූ. දක්වා ඇති පරිද’ි නිර්වාණ සාධනය සඳහා ඇත්තේ ඒකායන මාර්ගය බව පවසන බව සැබෑ ය. එහෙත් ඒ නිසා ම අන්‍ය ආගම් අදහන සියලු දෙනා ම දෙව්ලොව දෙව් සැප ආදියෙන් වෙන් කොට අපායගාමී වන බවක්,බුදු සමයේ නොදැක්වූ මනුෂ්‍යාට ඇත්තේ එකම එක භවයක් ය කියා බුදු සමය උගන්වන්නේ නැති හෙයින් තමන් උපන්නා වූ හා තමන් ජීවත් වන්නා වූ දේශය සමාජය පවුල හා යුගය ආදී කරුණු නිසා එක් භවයකදී බුදු වදන් ගැන අසන්නට නොලැබුණු කෙනෙකු සදාකාලික ‘නිරයට’ යනවා යැයි යන අසාධාරණ විශ්වාසය බුදු සමය තුළින් පැන නොනගින්නකි.අන්‍යාගම් කෙරෙහි සහනසීලීවීම යනු අවිචාරශීලී කටයුත්තක් ලෙස බුදුසමය උගන්වන්නේ නැතිබව ‘ෆ්රුන්සින් සිටෝරි’ තව දුරටත් ප්‍රකාශ කරනුයේ මෙසේ නිදසුනක් ද ගෙන හැර පාමිනි.

ප්‍රශ්නය - බුද්ධ චරිතයහි එන ඉතාමත් සංවේදී අවස්ථාවකි මේ. අවස්ථාව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ප්‍රකාශ කවුරුන් උදෙසා කරන ලද්දක් ද?

ප්‍රකාශය - අග්නිවෙස්න, මට මෙසේ අදහස් විය. අතීතයෙහි මහණ බමුණන් විසින් විඳින ලද තියුණු කටුක ඖපක්‍රමික දුකක් වේදනාවක් වී නම් මේ දුකම ඊට වඩා බරපතල හා අනාගතයෙහි මහණ බමුණන් විසින් විඳිනු ලබන ඖපක්‍රමික තියුණු කටුක යම් දුකක් වෙයි නම් මේ දුකම ඊට වඩා බරපතල ය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණු කටුක දුකක් වෙයි නම් මේ දුක ම ඊට වඩා බරපතළ ය.

පිළිතුර - වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල තියුණු කටුක බව භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ ගේම වචන වලින් සව්වකට ප්‍රකාශ කොට ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ විසින් දෙසු ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ ශක්රයාගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහනක් කරන්න.

පිළිතුර- සක්දෙවි පදවිය ලැබීමට පළමු මිනිස් බව ලැබූ ඔහු සප්ත ව්‍රත සමාදන් වීමෙන් මෙම පදවිය ලබාගත් බව සක්ක සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මෙසේ ය. දිවිහිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම, දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම, දිවිහිමියෙන් මිහිරි වදන් කීම, දිවිහිමියෙන් කේළාම් බස් නොකීම, දිවිහිමියෙන් ත්‍යාගශීලී බවෙන් යුතු වීම, දිවිහිමියෙන් සත්‍ය ගරුක වීම, දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීම යනුවෙනි.

තවද මෙම සූත්‍රයෙහිම එන පරිදි දිනක් මහාලි ලිච්ඡවි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සක්දෙව්රජ දුටුසේක් දැයි ඇසී ය.එයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් මහාලි, මම ශක්‍රයා ද දිටිමි. ශක්‍රයකු වීමට නිසි දහම් ද දනිමිය මෙසේ වදාළහ.

සක්දෙව් රජ පෙර මිනිස් වූයේ මූලිකව දන්දුන් බැවින් ද නුවරක් පාසා දන්සැල් දුන් බැවින් ද පුරින්දන නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැයි කියනු ලැබේ. ආවස්ථ හෙවත් නිවාස දන්දුන් බැවින් වාසව යැයි ද අරුත් දහසක් මොහොතක සිතන බැවින් සහස්සඛ යැයි ද කියනු ලැබේ.

ශක්‍ර භාර්යාව සුජා නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍ය දරන බැවින් දෙවාති නමින් හදුන්වනු ලැබේ. (මහාලීසත්තවත පද සූත්‍ර) (සංනි).

ප්‍රශ්නය- හිමාලය වාසී තවුස් පිරිසක් වෙතින් බුදුන් ලොව පහළ ව සිටිතියි. ඇසු සිටුවරුන් තිදෙනෙක් බුදුන්වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද? ඔවුන් විසින් කරවා පූජා කරන ලද ආරාම මොනවාද?

පිළිතුර - ඝෝසිත සිටුවරයා, ඝෝසිතාරාමය, කක්කුට සිටුවරයා, කක්කුටාරාමය, පාවාකරික සිටුවරයා, පාවාරික අම්බවනයයි.

ප්‍රශ්නය - පුරා පන්සාළිස් වසක් මුළුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරමාදර්ශී ලෝකාර්ථ චර්යාවයි. ඒ සඳහා උන් වහන්සේ වෙත භාවිත බහුලිකෘත කරුණා මෛත්‍රීය පිරි චරිතාපදානයත් ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහත්ම ශක්තියත් හේතුභූත විය. තව ද තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු හතරකුත් චෝදනා නොකළ හැකි කැරණු තුනකුත් ඇති බවට කල උන්වහන්සේ ගේ ම අභීත සිංහ නාදයත් පෙළ පොත්වල සඳහන් වෙයි. බුද්ධ චරිතයෙහි එන මේ තොරතුරු පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - සූත්‍ර පිටකයෙහි අං.නි. අරෙක්‍ඛය්‍ය සූත්‍ර පාඨයකින් උපුටා ගත් පාඨයකින් මේ කරුණු පැහැදිලි කිරීම වඩාත් උචිත ය.

මහණෙනි, තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නොවන කරුණු 4ක් ඇත. තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනීවා කියා සැඟවිය යුතු කාය දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු වාග් දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු මනො සමාචාර ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනීවා කියා සැඟවිය යුතු මනෝ දුශ්චරිතය නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීවකයන් ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු අපිරිසුදු ආජීවකයක් නැත. චෝදනා නොකල හැකි තුන් කරුණ නම්, තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත ධර්ම ඇති සේක. තථාගතයන් වහන්සේ ස්වක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙතිය කියාද? තථාගතයන් වහන්සේ නිබ්බාණ ගාමිණී පටිපදාව මැනවින් පනවන ලදී. තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාණ ගාමිනී පටිපදාව මැනවින් නොපනවන ලදී කියා ද, සිය ගණන් ශ්‍රාවකයෝ ආශ්‍රව නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්ව ලබා වාසය කරති.

තථාගතයන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරතියි කියා ද මේ තුන් කරුණෙන් සකාරණව චෝදනා කළ හැකි දෙවියෙකු මාරයකු, බ්‍රහ්මයකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමි. එබැවින් මම ක්‍ෂේම ප්‍රාප්ත ව අභය ප්‍රාප්තව විශාරද ව වාසය කරමි. මිහිපිට මිනිසකුට අකම්පිත ව නොසැලි විශාරද ව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.