Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩරට අමරපුර නිකායේ නැගෙනහිර දිසාවේ සංඝනායක පදවි ලබන

කන්තලේ විමලසිරි නා හිමියන් පිළිගැනීමේ උළෙල 15 දා


නිසි හරසර දැක්වීමක්

සසුන් වත සපුරමින්, සමාජයටත්, ප්‍රදේශයටත් තමාගෙන් ඉටු විය යුතු මෙහෙවර යුද ගිනිදැල් මැද වුව නිර්භීත වැ ඉටු කරමින් උදාර සේවාවක යෙදී සිටිනා කන්තලේ විමලසිරි ස්ථවිරයන් හට නැගෙනහිර පළාතේ සංඝනායක පදවිය පිරිනැමීමෙන් උඩරට අමරපුර නිකායයේ සාසනජෝතිකා සංඝ සභාව කර ඇත්තේ ශික්ෂාකාමී කාර්යශූර භික්ෂූන් වහන්සේ නමකට නිසි හරසර දැක්වීමකි.

සාසනයට, සමාජයට, හා ප්‍රදේශයට ඵලදායි සේවා රැසක ක්‍රියාකාරිත්වයක් දරන තඹලගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකම් වූ ද, තිරිකුණාමල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වූ ද, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් වූද තඹලගමුව, ගල්පොකුණ රජමහා විහාරාධිපති විමලසිරි ස්ථවිරයන් වහන්සේ 'සද්ධම්මාචරිය පරාර්ථචාරි සිරි ධම්මින්ද ජිනානන්දවංසාලංකාර' යන නාම සම්මුතියෙන් ද පිදුම් ලබා ඇත. විමලසිරි නායක ස්ථවිරයන් මෙතෙක් පවත්වාගෙන ආ විවිධ සේවාවන් දිනෙන් දින දියුණුවට පත් කරවමින් ඉදිරියට ගෙන යාමට ඉහත සඳහන් පුද හරසර හේතු පාදක වේවා

සුඛී දීඝායුකො භව


මෙහෙවර පැසසිය යුතුයි

උඩරට අමරපුර නිකායේ නැගෙනහිර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්ත කන්තලේ විමලසිරි ස්ථවිරයන් වහන්සේ වෙත ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය මහනුවර මහවැලි ගඟ වරාතැන්න සිරි මහ බෝධි සීමා මාලකයේ දී මෙම 13 දින සිදු කෙරෙන අතර ඒ පිළිබඳ පිළිගැනීමේ උත්සවය මෙම 15 දින පෙරවරුවේ තඹලගමුව ගල්වැටියාව ගල්පොකුණ රාජමහ විහාරයේ දී සිදු කෙරෙන අතර පිළිගැනීමේ උත්සවයට ආශිර්වාදාත්මක පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට හේතුවකි.

උඩරට අමරපුර මහා නිකායේ මහා නායක ස්ථවිර පාදයන් වහන්සේ ප්‍රමුඛව සාසන ජෝතිකා කාරක සංඝසභාව ඉතා කාලෝචිත වැදගත් කාර්යභාරයක් සිදු කොට ඇති බව පෙනේ. දශක දෙකක් පමණ උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාවට අත්විඳීමට සිදුවී ඇති ජාතික ව්‍යසනයේ දී ජාතිය හා ශාසනය වෙනුවෙන් එම ප්‍රදේශය අත් නොහැර ජනතාවට ආරක්‍ෂාව සහ රැකවරණය ලබා දෙමින් ඉපැරැණි බෞද්ධ භික්‍ෂුවගෙන් ජාතියට සිදුවූ අමිල සේවාව නැවතත් සිදුකළ තරුණ භික්‍ෂුවක් බවද මම හොඳින් දනිමි.

දිළිඳු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පන්සීයක් ලබාදීම, ත්‍රස්ත විපත් පවතින ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනය සඳහා විශාල පරිත්‍යාගයක් සිදුකිරීම, වැනි කටයුතු කොට ඇති බව සතුටින් සිහිපත් කරමි.

ත්‍රස්ත විපතින් පීඩිත බෞද්ධ ජනතාව වෙනුවෙන් තරුණ ජීවිතය කැපකොට ත්‍රිකුණාමලය වැනි දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් සිදුකරන අමිල සේවාව පිළිබඳ තේරුම් ගැනීමත් සුදුසු අවස්ථාවේ සුදුස්සාට තනතුර ප්‍රදානය කිරීම පිළිබඳවත් එම සංඝසභාවට නැවතත් මාගේ ප්‍රශංසාව පුදකරමි.


සුදුසුකම් රැසකින් යුක්තයි

උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතික කාරක සංඝ සභාව මගින් “සද්ධම්මාවරිය සාසනහිත පරත්ථචාරී සිරි ධම්මින්ද ජිනානන්ද වංසාලංකාර” ගෞරවනාම සම්මුතිය සහිතව නැගෙනහිර දිසාවේ සංඝනායක පදවියෙන් පිදුම් ලැබීමට භික්‍ෂුවක් ලෙස කන්තලේ විමලසිරි ස්ථවිරයන්ට සුදුසුකම් රැසක් විය. ධර්ම විනය මනාකොට හදාරා තිබීම, ශාස්ත්‍රීය ලෝකය පිළිබඳ අවබෝධය ලබා තිබීම, විනය ගරුක භික්‍ෂුවක් ලෙස කටයුතු කොට තිබීම, ප්‍රදේශයේ මහා සංඝරත්නයේ නායකත්වය ලබා තිබීම, ගැටළු නිරාකරණයේ දී නායකත්වය ගැනීම, සිංහල බෞද්ධ ජනතාවට ත්‍රස්තවිපත් පැමිණි හැමවිටකම ඔවුන්ගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් විහාරස්ථ ගොදුරු ප්‍රදේශය ජනශූන්‍ය නොකොට ආරක්‍ෂා කරගැනීමට සමත්වීම වැනි කටයුතු පිළිබඳ සලකා බලා එම ප්‍රදේශයට අවශ්‍ය ශාසනික නායකත්වය ප්‍රදානය කර ඇත. එය අප සංඝ සභාවේ යුතුකම් හා වගකීම් ඉටු කිරීමත් බව සලකමු. ශාසනයටත් නැගෙනහිර පළාතටත් වඩාත් ප්‍රමුඛත්වය විධිමත්ව ශාසනික හා ජනතා දායකත්වය ලබා දෙමින් සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙමු. එම වගකීම් සමුදාය නොපිරිහෙලා ඉටුකිරීමට අභිනව නායක ස්ථවිරයන් වහන්සේට රත්නන්ත්‍රයානුභාවයෙන් චිරජීවනය සැලසේවායි ආශිර්වාද කරමි.


මහඟු සේවයක්

වර්තමාන තරුණ භික්‍ෂු පරපුරේ දීප්තිමත් තාරකාවක් බඳු නැගෙනහිර පළාතේ ගිහි පැවිදි කා අතරත් ගෞරවාදරය ලබන උඩරට අමරපුර මහා නිකායේ නැගෙනහිර දිශාවේ සංඝ නායක ධූරයට පත්වීම පිළිබඳ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් වශයෙන් බලවත් සතුට පළ කරන්නට කැමති වෙමි.

මහ සඟරුවනේ අනුශාසනා පරිදි ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ගෞරවප්‍රණාමය පලකරන්නට උපහාර උත්සවයක් සංවිධානය කර ඇත. මෙම 15 වන දා ගල්වැටියාව ගල්පොකුණ රජමහා විහාරයේ දී පැවත්වෙන එම අවස්ථාව නිමිතිකොට ආශිර්වාදාත්මක පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම අප ලද භාග්‍යයක් සේ සැලකිය හැකි ය.

සිල්වත්කමින් හා බහුශ්‍රැතබවින් යුක්ත නැගෙනහිර ජනතා නායකත්වයෙන් යුත්, අපේ කන්තලේ විමලසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උඩරට අමරපුර මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක තනතුරට පත්කිරීමට එම නිකායේ සාසනජෝති කාරක මහා සංඝ සභාව ගෙන තිබෙන තීරණය නිසා එම නිකායටත් සමස්ත ශ්‍රී ලංකා අමරපුර නිකායටත් ලෝක ශාසන දෙකටත් මහඟු සේවයක් සිදුවෙනු නොඅනුමානය. සමාජයේ යහපැවැත්ම උදෙසා භික්‍ෂූන් වහන්සේගෙන් ඉටුවිය යුතු සේවය අතිමහත් ය.

ඒ සඳහා නායකත්වය දැරීමට සුදුසු ස්වාමීන්වහන්සේලාගේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් අවශ්‍යව පවතින යුගයක, අපේ කන්තලේ විමලසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඉටුවන සේවය ප්‍රශංසා කටයුතු ය.

එය අනෙකුත් භික්‍ෂූන් වහන්සේට ද ආදර්ශයකි. ලැබූ උතුම් පදවියේ වගකීම් මැනවින් ඉටුකිරීමට අභිනව නාහිමිපාණන් වහන්සේට සිරි දළදා සමිඳු පිහිටෙන් චිර ජීවනය හා නිරෝගී සුව පතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.