Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර නිකායේ උපසම්පදා උළෙල 12 වන දා රද්දොළුවේ දී


අම්බලම්ගොඩ
ශ්‍රී සුමංගල මහ නාහිමි

අමරපුර නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙම 12 වන දා රද්දොළුව සුබෝධාරාම මහා විහාරාසන්න නදී සීමාවේදී අමරපුර නිකායේ මහානායක ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යය චන්ද්‍රකීර්ති ශ්‍රී පණ්ඩිත අම්බලම්ගොඩ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

කතලුවේ ශ්‍රී ගුණරතන මහ නාහිමියන් වහන්සේගේ පටන් 1998 වසර දක්වා අතිපූජනීය මහ නාහිමිවරු දාහතර නමක් යටතේ අමරපුර නිකාය පාලනය වී ඇත.

එම නිකායේ පාලක සංඝ සභාව ශ්‍රී සුමංගල කාරක සංඝ සභාව ලෙස හැඳින්වේ. වැලිගම ශ්‍රී සුමංගල මහ නාහිමියන් විසින් ස්වකීය නිකායේ අභිවෘද්ධිය පිණිස සිදු කරන ලද අත්‍යුදාර සේවයට උපහාර ලෙස එම නාමය ඊට යොදා ගෙන ඇත.

කතලුවේ ගුණරතන මහ නාහිමියන් නිකාය ආරම්භ කිරීමේ දී ස්වකීය කල්‍යාණ මිත්‍ර අම්බලන්ගොඩ සුනන්දාරාමාධිපතිව වැඩ විසූ විලේගොඩ ශ්‍රී පඤ්ඤාසාර හිමියන්ගේ සුවිශේෂ අනුග්‍රහය ලබා ගත් බව සඳහන් වන අතර අමරපුර නිකායේ මූලස්ථාන විහාරය වශයෙන් අම්බලන්ගොඩ සිරි සුනන්දාරාමය සම්මත කර ගැනීමේ ප්‍රධාන හේතුව එම සබඳතාව විය හැකි ය.

අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය 2005 වසරේ සිට රද්දොළුවේ දී පැවැත්වේ. 2006 වසරේ දී මහාමාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ අනුග්‍රහයෙන් විහාරාසන්න නදී සීමාවද ඉදි කැරිණි.

මෙවර උපසම්පදා විනය කර්මයේ දී 30 නමකට ආසන්න උපසම්පදාපේක්‍ෂක සාමණේර හිමිවරුන් මෙම 12 වන දා අධිසිල් ලබන බව අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී රද්දොළුවේ විමලවංස නා හිමියෝ පැවැසූහ.

පරලොව සැපත් අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ තෙමස් පූර්ණ ගුණ සමරුව නිමිත්තෙන් එදින දවල් ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරික සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.

ඊට වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද සහභාගී වීමට නියමිත ය.

අනතුරුව පස්වරුවේ උපසම්පදා විනය කර්මය සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.