Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය හා එවකට සමාජසේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ නොපසුබට උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙසට 1997 දී ආරම්භ කරන ලද අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර ජූලි මස 16 – 17 යන දෙදින තුළ අත්‍යාලංකාරයෙන් හා සංස්කෘතික, අභිමානයෙන් හා පූජනීයත්වයෙන් යුතුව අනුරාධපුර පින්බිමේ දී පැවැත්වේ.

එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජ දවස (ක්‍රි.ව. 301 – 308 ) දඹදිව කළිඟු රට රජකළ ගුහසීව, රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්තකුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළහ.

පසුව දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද ධම්මචක්ක මාලිගයෙහි වඩා හිඳුවා පුද පූජා පවත්වා ආකර්ශනීය පෙරහරක් පැවැත් වූ බව අපේ පෙරහර ඉතිහාසය සඳහන් කරයි.

ශ්‍රී දළදා වහන්සේ කිත්සිරි මෙවන් රජදවස මෙරටට වැඩම කළ කල්හී එතුමා විසින් දළදා වහන්සේ ඇතුළු නුවර වඩා හිඳුවා එහි භාරකාරත්වය අභයගිරි විහාරයේ උත්තර මූලයට බාර දී වාර්ෂිකව පෙරහර පැවැත් වූ බව මහා වංශයෙන් ද පෙන්නුම් කර ඇත.

එම රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශ කථාවට නව පිටුවක් සනිටුහන් කරමින් අනුරාධපුර ඓතිහාසික ශුද්ධ නගරයේ ප්‍රථම මහා පෙරහර 1997 ජූලි 18 දින දී පැවැත්විණි.

මෙහි නිර්මාතෘවරයා වූයේ එවකට හිටපු සමාජසේවා අමාත්‍ය, හා හිටපු උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ය.

මෙම භාරදූර හා ඓතිහාසික අභිමානය යළිගොඩ නැඟීමේ කාර්යයට විශේෂ සංවිධායක කමිටුවක් පත්කර ගත් අතර එහි ප්‍රධාන අනුශාසක වශයෙන් කටයුතු කළේ හිටපු අටමස්ථානාධිපති අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමනරේවත ඤාණ රතනාභිධාන නාහිමියන් වහන්සේ ය.

අද එම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරශ්‍යෙමෝපාලි මහනිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ගේ අනුශාසනා මත, ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන, සියම් මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු මධ්‍යම දෙපලාතේ, ප්‍රධාන සංඝනායක ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි යන නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදය මත මෙවර පැවැත්වේ.

හෙළ රජ දවස පැවැති පෙරහරේ ආගමික හා සංස්කෘතික ලක්‍ෂණයන්ට හැකිතරම් සමානව මෙම පෙරහර අභිමානවත් අයුරින් පැවැත්වීම පෙරහර කමිටුවේ අභිප්‍රාය බව පෙරහර කමිටුවේ ප්‍රධාන සංවිධායකවරයකු මෙන්ම මාධ්‍ය ප්‍රකාශක සරත් බණ්ඩාර හේරත් මහතා සඳහන් කරයි.

ජාතක කථාවල එන චරිත, ප්‍රතිමාවලට නංවා වස්ත්‍රාභරණ පළඳවා පෙරහර ගමන් මගෙහි මඟ දෙපස තැබීම හා ඇතැම් ජාතක කථා නාට්‍යානුසාරයෙන්, රඟ දැක්වීම එදා රජදවස පෙරහරට එක් කරන ලද අංග වෙනුවට අද පෙරහරේ එම ජාතක කථා චිත්‍රවලට නංවනලද පෙතිකඩ 500 ක් පෙරහරේ ගමන් කරවනු ඇත.

මෙම පෙරහර සම්බන්ධව අලියකු පිට නැඟුන පණිවිඩකරුවකු විසින් රටවැසියාට දැනුම් දුන් අතර අද එය අණබෙර කරුවකු ලවා හෝ වත්මන් සමාජ රටාවට අනුව විවිධ මාධ්‍ය ඔස්සේ දැනුම් දෙන අතර එදා මෙන් අදත් පෙරහරේ පිරිත් සජ්ඣායනා කිරීම සිදු කරන අතර පිරිත් සජ්ඣායනා කරමින් භික්‍ෂූන් වහන්සේලාගෙන් සමන්විත රථයක් ගමන් කරවීම සිදු කෙරේ.

අලි ඇතුන් කොඩි, සේසත්, පංචතූර්ය නාද, උඩරට, පහත රට සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග මධ්‍යයේ ඉතා අලංකාරවත් අන්දමින් සකසන ලද රන්සිවි ගෙයක තැන්පත් කළ සධාතුක කරඬුව හස්තිරාජයකු පිට පෙරහරේ ගමන් කරවීම අභිමානවත් අයුරින් සිදු කෙරේ.

ඒ සමගම කසකරුවන්, ගිණිබෝල හා ගිණිපන්දම්කරුවන්, බෞද්ධ ධජ, පෙරමුණේ ධජ, හේවිසි, දවුල්, තම්මැට්ටන්, වෙස් නැටුම්, මුරායුධ, සේසත්, නිලමේවරු, පන්තේරුකරුවන්, ලී කෙළි, කාවාඩි, කෝල්මුර කණ්ඩායම්, සවරන් නැටුම්, සබරගමු සම්ප්‍රදායික නැටුම්, බහිරව දේවාල පෙරහර ඇතුළු සංස්කෘතික අංගයන් ඇතුළත් නැටුම් කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් මෙවර පෙරහරේ ගමන්කරවනු ඇත.

1997 එක් දිනකට සීමා වී මෙම පෙරහර පැවැත්වූ අතර දැන් එය දින දෙකක් පුරා පැවැත්වේ.

මෙවර පෙරහරේ ප්‍රථම දිනය වනුයේ ජූලි 16 වනදා ය. එදින ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ නැගෙනහිර වාහල්කඩ දොරටුවෙන් ආරම්භකර පෙත්මග ඔස්සේ රුවන්මැලි මහ දාගැබ අබියසින් පැරැණි රෝහල් හන්දිය දක්වා ගමන් කරයි. එහිදී කරඬුව සහිත හස්ති රාජයා පංචතූර්ය නාද සහිතව ඇතුළුනුවර (සංඝමිත්තා මාවත) අද නටබුන් බවට පත්ව ඇති ප්‍රථම හා පෞරාණික දළදා මාලිගාව වෙතට ගොස් පුද පූජා පවත්වා ආපසු පැරැණි රෝහල් හන්දියට ළඟාවනු ඇත.

එතැනින් හරවන පෙරහර ථූපාරාම චෛත්‍ය රාජයාණන් අබියසින් අනුලා මාවතට ප්‍රවිශ්ඨ වී වයි හන්දියෙන් දකුණට හැරී මධ්‍යම සංස්කෘතික අරමුදල අයත් අභයගිරිය, ව්‍යාපෘති ප්‍රධාන කාර්යලය අබියසින් මහ බෝ මළුවට ගෙවැදීමෙන් ප්‍රථම දින පෙරහර මධ්‍යම රාත්‍රියේ නිමාවට පත්වේ.

දෙවන දිනය හෙවත් ජූලි 17 වනදා ප්‍රථම දිනයේ දී පෙරහර ආරම්භ කළ ස්ථානයෙන්ම පටන් ගන්නා පෙරහර අභිනවයෙන් ඉදිකර ඇත. බෝ සමිඳුන් වටා පෙරහර මාවතේ ගමන් කර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහකණුව වටරවුුම පසුකර දුම්රිය නගරය හරහා මාර්කට් පෙදෙසට පැමිණ. මෛත්‍රිපාල සේනානායක මාවත (මහවීදිය) ඔස්සේ ගමන්කර පොලිස් වටරවුමෙන් දකුණට හැරී ජයන්ති වට රවුම පසුකර කුරුණෑගල හන්දියෙන් කැටේ හන්දිය දක්වාද එතැනින් දකුණට හැරී මධ්‍යම රාත්‍රී පසුවන විට බෝ මළුවට ගෙවැදීමෙන් පෙරහර අවසන් වේ.

පෙරහර අවසානයේ රන්සිවිගෙය මුදාහැරීමෙන් පසු එය රැගෙන ගිය හස්තිරාජයා බෝ සමිඳුන් වෙතට නමස්කාර කිරීම මෙහි තවත් විශේෂ සිදුවීමකි.

මෙම පෙරහරේ සමාරම්භක අවස්ථාවන් හට අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයද, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, හිටපු ප්‍රධාන අමාත්‍ය පෙරහරේ නිර්මාතෘ බර්ටි ප්‍රේමලාල් දිසානායක, මහදිසාපති, එච්.ඇම්. කේ. හේරත්, අනුරාධපුර නගරාධිපති ලංකා කේ. කල්දේරා යන මහත්වරු ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ විවිධ ආයතන නිලධාරීන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහභාගිවනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.