Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම ඇසළ මහා පෙරහර

රුහුණූ කතරගම මහා දේවාලය පිලිබඳ විමසීමේදී අපේ ප්‍රතාවත් චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු සහිත පූජනීය ස්ථානයක් ලෙස සඳහන් කල හැකිය. කතරගම ඉතිහාසය පිළිබඳ සලකා බලන විට බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවන වර වැඩම කළ අවස්ථාවේ කතරගමට වැඩම කළ බව ධාතුවංශය සඳහන් කරයි. එම ඓතිහාසික ලේඛනයෙහි සඳහන් වන අන්දමට කතරගම පාලකයා වී ඇත්තේ මහසේන හෙවත් මහඝෝෂ නමැති ක්ෂත්‍රිය වංශික පාලකයෙකි. එම රජතුමාගේ උයන එදා නම් කර ඇත්තේ කිහිරි වනය යනුවෙනි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩහිද රජතුමා ප්‍රධාන පිරිසට දහම් දෙසා ඇත.සෝවාන් රජතුමා පසුව බුදුරදුන් වැඩසිටි ස්ථානයේ කිරිවෙහෙර දාගැබ ගොඩ නංවන ලදී. එදා මෙම දාගැබ නම් කර තිබුණේ කිහිරි වෙහෙර් යනුවෙනි. කියවීමේ පහසුව පිනිස කිරිවෙහෙර යනුවෙන් වර්තමානයෙහි යෙදී ඇත. දැනට සොයාගෙන ඇති කොටාදැමුහෙල ආදි සෙල්ලිපි අනුව කතරගම ක්ෂත්‍රිය පරපුරක් පාලනය කල බවට සාධක හමු වී ඇත. දසභාතික වශයෙන් සදහන් වන දස බෑ රජවරුන් එම පිරිස බව විචාරකයින්ගේ මතයයි. මොවුන් ප්‍රදේශයේ යහ පාලනයක් ගෙනගිය අතර බෝධි ආගමනය සමග තොරතුරු රැසක් හෙලිවෙයි. මහාවංසය ආදී වංශ කතාවල එන තොරතුරු අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජතුමාගේ අනු දැනුම මත භාරතයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලදී. අනුරාධපුර මහාමෙවුනා උයනේදී මෙම බෝධීන් වහන්සේ රෝපණය කිරීමේ උත්සවයට කතරගම ක්ෂත්‍රිය රජදරුවන්ටද ආරාධනා කර ඇත. බෝධි රෝපණයේදී පැන නැගුණු බෝ පැළ අටෙන් එක් බෝ පැළයක් කතරගම රජ දරුවන්ට ලබා දුන් බව වංස කතාවල සඳහන්ය.

ඉතිහාසයේ තවත් වැදගත් අවස්ථාවක් වන්නේ ගෝඨාභය සමයයි. අනුරාධපුරයේ රජකළ දේවානම්පියතිස්ස රජුගේ සොයුරා වූ මහානාග සිය බිරිඳත් සමග දිවි බේරාගෙන රුහුණේ මාගම රාජධානිය කරගත් බව ඉතිහාසයේ සදහන්ය. එතුමාගේ පුත් ගෝඨාභය සිය පියාගේ ඇවෑමෙන් මාගම රජවී කතරගම රජකළ දස බෑ රජදරුවන් මරාදමා මෙම ප්‍රාදේශීය පාලනයද අල්ලාගත් බව ධාතුවංශය සඳහන් කරයි. ජනතාවගේ ජනාදරය දිනාගත් දස බෑ රජ දරුවන් මරා දැමීම පිලිබඳ ජනතාවගේ කළ කිරීම ඈත් කිරීම සඳහා ගඟ අසබඩ විහාරස්ථාන පන්සියයක් ගොඩ නැංවූ බව වංශ කතාවල සඳහන්ය.


ඇසළ පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ ඇසළ මහා පෙරහර ජූලි 03 වනදා ඇරඹේ. ඇසළ පෙරහර වෙනුවෙන් කප්සිටුවීමේ මංගල්‍යය ඉකුත් 20 දින කතරගම මහාදේවාලයේ මිණි බැඳී මණ්ඩපයේ දී සිදු කරන ලදී. ජූලි 15 වන දින ගිනිපෑගීමේ උත්සවය පැවැත්වේ.

ජූලි 18 දින අවසාන රන්දෝලි මහා පෙරහර පැවැත්වෙන අතර ජූලි 19 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල්තැනක් දෙමින් ලංකාවේ විවිධ කලායතන වල නැටුම් කණ්ඩායම් අලි ඇතුන්ගෙන් යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට ජනාධිපති පෞද්ගලික ලේකම් රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත. කතරගම පුදබිමට ඇසළ පෙරහර සමයේ පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමට කතරගම ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කතරගම පොලීසිය කටයුතු සම්පාදනය කර ඇත.

කතරගම ඉතිහාසයට ඉතා වැදගත් චරිතයක් ලෙස නම්කල හැක්කේ දුටුගැමුණු රජතුමා බව ඓතිහාසික ලේඛන මත සඳහන් කල හැකිය. මෙරටට පැමිණ ආක්‍රමණික පාලකයකු ලෙස රට පාලනය කළ එලාර රජු සමග යුධ වැදීමට කටයුතු කළ දුටුගැමුණු රජතුමා කතරගම හරහා රජ මාවත ඔස්සේ ගමන්කර ඇත. කතරගමට පැමිණි රජතුමා කතරගම දෙවියනට බාරයක් වී ඇත. එනම් රට ජාතිය වෙනුවෙන් යුධ වදින තමාට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන ලෙසයි. යුද්ධයෙන් ජය ලැබුවහොත් කතරගම දෙවිදුන් වෙනුවෙන් දේවාලයක් සාදා පූජා කරන බවත්ය. ජයගත් රජතුමා කතරගම මහා දේවාලය පූජාකර ඇත. එපමණක් නොව දේවාලයේ නඩත්තුව සඳහා අක්කර දහස් ගණනක් නින්දගම් ලෙස පූජාකර ඇත. වසර දහස් ගණනක් ගියද අදත් එම ගොඩමඩ ඉඩම් දේවාලය සතුව පවතී.

දේවාලයේ චාරිත්‍රයක්ද රජ කාලයේ සිට පැවතෙන බවට සාධක ඇත. කතරගම මහා දේවාලයේ රාජකාරී හිමිව ඇත්තේ පාරම්පරික පිය පුතු ක්‍රමයට අනුවය. දේවාලයේ ප්‍රධාන පෙරහර කීපයක් ඇත. අවුරුදු මාසයේ පැවැත්වෙන බක්මහා පෙරහර ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර සහ නොවැම්බර මස පැවැත්වෙන ඉල්මහා පෙරහරයි. මෙයට අමතරව ගමන් කරනා කනු කපන පෙරහර සහ දිය කපන පෙරහරද ඇසළ මහා පෙරහරට සම්බන්ධ පෙරහර බව සඳහන් කළ යුතුය. රටට ආශිර්වාද පතා දෙවියන්ට උපහාර පතා අවුරුදු මහා පෙරහර පැවැත්වේ. මෙය එක්දින පෙරහරකි. කතරගම දේවාලයේ සුවිශේෂී පෙරහරක් වන්නේ ඇසළ මහා පෙරහරයි. මෙම පෙරහර දින පහලොවක් පවත්වන අතර ඇසළ පුර පසලොස්වක් දිනය අනිවාර්යයෙන්ම නිමවිය යුතුය. මෙහි ප්‍රථම පෙරහර නම් කර ඇත්තේ මංගල පෙරහර යනුවෙනි. මෙම පෙරහර දේවාල වීථිය ඔස්සේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට ගොස් නැවතත් එම මාවතේම ගමන්කර දේවාලයට ගෙවදීමෙන් නිමාවට පත්වේ. මින් අනතුරුව පැමිණෙන පෙරහරවල් මහා දේවාලයෙන් පිටවී පිට වීදිය ඔස්සේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට ගොස් පෙරහර මාවත ඔස්සේ මහා දේවාලයට පිවිසේ. මෙසේ දින දොලහක් ගමන් කරනු ලබන පෙරහර අවසානයේ ගිනි පැගීම සිදු කරයි. පසු දින තුනම එක රැයකට පෙරහර දෙක බැගින් ගමන් කිරීමට පෞරාණික චාරිත්‍රයකි. ඇසළ පසළොස් පෝ දිනට පසුදින උදෑසන මහ දේවාලයෙහි පිටවන පෙරහර වල්ලි අම්මාතොටුපලින් ගඟට බැස දිය කැපීම නම් චාරිත්‍රය ඉටුකිරීම සිදු කරනු ලබයි. දිය කැපූ පෙරහර නැවත ගමන්කර වල්ලිඅම්මා දේවාලයට පිවිසේ .

එහි සිදුවන චාරිත්‍රයක් නම් දිය කැපූ කපු මහතා සවස් වනතෙක් එම දේවාලය තුලම රැදීසිට නැවතත් පෙරහරින් කතරගම මහා දේවාලයට එක්කර ගෙන ඒමයි. මහා දේවාලය තුලම සැන්දෑ කාලය වනතෙක් ජීවත්වන මොහු වස් ඇරීම නම් චාරිත්‍රය ඉෂ්ඨ කිරීම කරනු ලබයි. මොහු විසින් මිනිසුන් අතරට පැමිණෙන්නේ ඉන් අනතුරුවය. කතරගම ඇසළ පෙරහර අවසානයේ සැමට සෙත්පතා කතරගම අභිනවාරාමය විහාරස්ථානය තුන්තිස් පැයේ මහා පරිත්‍රාන දේශනාවක් පවත්වා ගම පුරා පිරිත් පැන් බෙදාහැර ආශීර්වාද කිරීමක් කරනු ලැබේ.

ඇසළ මහා පෙරහර පිළිබඳ විවිධ මතවාද ජන සමාජයේ දැකිය හැකිය. ඇසළ පෝයට මෙම පෙරහර අවසන් වන බැවින් දම්සක් පැවතුම් සූත්‍රයට උපහාර දැක්වීමක් ලෙස මෙම පෙරහර සිදුකරන බව, එක් අදහසකි. කතරගම දෙවියන් හා වල්ලිඅම්මා දෙවඟන අතර විවාහය සිහිපත් කිරීම තවත් අදහසකි. සූරයන් සහ අසුරයන් අතර යුද්ධයෙන් ලත් ජය සිහිපත් කිරීම මෙහි තවත් අදහසක් බවද සදහන් කළ යුතුය. නොවැම්බර් අවසානයේදී එක්දින පෙරහරක් ලෙස පෙරහරක් ගමන් කරයි.

රුහුණු කතරගම මහා දේවාලයේ සියලු කටයුතු සිදුවන්නේ පෞරාණික චාරිත්‍රයන්ට අනුවය. ඒවා කිසිවකුට වෙනස්කල හැකි නොවේ. 2008 වර්ෂයේ කතරගම මහා පෙරහර සඳහා මැයි 20 දින කප් සිටුවන ලදී.

එතැන් සිට දින හතලිස් පහක් ඉක්මයාමට පෙර ඇසළ මහා පෙරහර සිදුකල යුතුය. ඒ අනුව ජූලි 03 වන දින ඇරඹෙන පෙරහර එම මස 19 දින කතරගම මැණික් ගඟේ දිය කැපීමෙන් අවසන් වීමට නියමිතය. පෞරාණික චාරිත්‍රයන්ට අනුව මෙවරද ඇසළ මහා පෙරහර ඉතා උසස් අන්දමින් සිදුකිරීමට රුහුණූ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමන් ගන්නා මහත් වූ උත්සාහය ඉතා අගය කල යුතුය. කතරගම ඇසළ මහා පෙරහර සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.