Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැරද නැණ රුවන නා හිමි සඳ

අනූ පස්වන වියට පා තබා වැඩ වෙසෙන ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස වැලිගම ඤාණරතන මහ නා හිමිපාණන් වහන්සේට බුරුම දේශයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උපහාර පූජෝත්සවය නිමිත්තෙනි.

අරහත් ධජය සුදු වැලිමළුවේ රැඳුණු
බෝ සිලි සිලිය මහ පිරිතේ ස්වර ඇඳුණු
උජු පටිපන්න ගුණයෙන් ඕපිත කුළුණු
රන් කොත ඔබයි මිනිසත් සෑ අග දිලුණු

පින් කෙත සරු කරන නිල් දියවර සිසිල
දන හද කසුන් ගුණ රන්දන බස් තෙපළ
පෙර මහ පවර යතිඳුන් වැඩි මඟ ලකළ
යළි යළි උදුළවයි මා හිමි දිවි නිමල

දසතින් හමන ගොරහැඩි සැඩ සුළං වැසි
අභියස තුමුල ඉඳුකිල විය ලද පසැසි
වරදක් දුටුව කල පෙන්වා නොව සැහැසි
මඟ සරි කළෝ කවුරුද මා හිමි සදිසි

විදුරු නැණින් විදි තෙවළා දම් එළියයි
දිවිය දෙවනි කොට රකිනා සිල් ගුණයයි
බෝසත් මං පෙත සරු ගැන් වූ දිවියයි
දෙස බස රැස රකිනා සත් සෙත් ගීයයි

විරුවන් දිනූ රුහුණේ වැලිගම ඉපිද
පස් නූ වියට පා තැබ කෙසරිඳුන් ලෙද
සසුනට වින කටින අදමිටු රුපුන් තද
බිඳ හැර මගේ දැය සුරකිනු මැනවි සඳ

අගමහ පඬි පදවි බුහුමන් සැදැහැ පුද
රන් සෑ බුරුමයේ නිරඳුන් වෙතින් ලද
නිකැළැල් සිතින් දෑ ඟිලි අත් මුදුන් බැඳ
නැණ රන් පියුම නමදී මුළු ලොවම අද


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.