Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

බියකරු සසර

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
 

අන්ධ භූතෝ අයං ලෝකෝ

තණුකෙත්‍ථ විපස්සති

සකුන්තෝ ජාලමුත්තෝව

අප්පෝ සග්ගාය ගචිඡති
 

කාරුණික පින්වතුනි ,

අද දින ධර්ම දේශනාවට මාතෘකාව කරගනු ලැබුයේ ධම්මපදයේ ලෝක වග්ගයේ අටවන ගාථාවයි. දැන් මේ ගාථාවේ තේරුම ගෙන බලමු. “මෙහි ටික දෙනෙක් වෙසෙසා දකී දැලින් මිදුණු මුවකු මෙන් ටිකදෙනෙකු සුගතියට යති. නිවනට යන්නෝ ටික දෙනෙකි. බොහෝ දෙනෙක් අපායට යති”.

මෙයින් පැහැදිලි කරනු ලබන්නේ ලෝක වාසී සත්වයා පුහුදුන් බවින් යුක්ත බවයි. නුවණ නැති මිනිසා ලොව ඇති සියල්ල සැපසේ සලකයි. පංච කාම සම්පතින් ආඪ්‍යව හෝ ඒවා සොයායාමෙන් අනේකවිධ දුක් පීඩා ආදියට සත්වයා ගොදුරු වේ. එවන් සත්වයන් එහි ඇලී ගැලී සිටිනු මිස ඒවායෙන් මිදීමට උත්සාහ කරන්නේ නැත. පුහුදුන් මිනිසා යනු සසරට නිතරම පිවිසෙන්නා යන අර්ථය දෙන්නකි. යථා අවබෝධයට බැස නොගත් අවිද්‍යා අන්ධකාරයෙන් මුලා වී සිටින පුද්ගලයා ය. ඉහත ගාථා ධර්මයෙන් “තණුකෙත්‍ථ විපස්සති” යනු පංච කාම සම්පත්හි ආදීනව විශේෂයෙන් දකින්නේ ටික දෙනෙකි. පංච ඉන්ද්‍රියන් හා ඒවාට ගෝචර වන අරමුණු පස්කම් සැපයට අයත් වන්නේ ය. මෙහි නිස්සාරත්වය දැකීම නුවණැති බවයි. අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීම හා විශේෂයෙන් දැනගැනීම නම් වේ. වටු වැද්දා එලන දැලට හසුව එයින් මිදී පළා යන වටුවන් මෙන් ඥානවන්තයා ලොව තත්ත්වාකාරයෙන් දකිනු ලැබ පස්කම් සැප බැහැර කර අනගාරික දිවි පෙවෙතකට නැඹුරු වෙයි. මේ නිසා සසර ගමන කෙටි කරනු ලබන කුසල ක්‍රියාවල නියැලේ. සසර බැඳ තබන කෙලෙස් සංසිඳවීමට නම් වස්තු සම්පත් පිළිබඳව දැඩි ආශාව දුරුකළ යුතුයි. මම මගේ යන සංකල්පය ඇති තැන සසර ගමන දිගුකරනු ලබයි. මේ නිසා ලෝකවාසී සත්වයා අන්ධ වන්නේ ය. සියල්ල ආත්මීය ග්‍රහණයට ගෙන ගැලවීමට නොහැකි ලෙස බැඳී සිටීම අන්ධ බවයි. දැඩිව යමක් එල්බගෙන සිටීම නුසුදුසු වේ. ධනය ඉපයීමේ දී ධාර්මික ක්‍රම රටාවෙන් බැහැර වූ තැන මිනිසාට විවිධ ගැහැට විඳීමට සිදුවේ. තාවකාලික ලොවක අප ඒ සිදුකළ යුත්තේ හොඳ දෙයයි. අස්ථිර ලොවේ අස්ථිර සම්පත් රැසක් ස්ථිර කර ගැනීමට අපට හැකියාවක් නැත. මේ නිසා පරලොව දෙස බලා දිවිමග යහපත් කර ගැනීමට බුද්ධිගෝචර වන්නේ ය. අද ලොව දෙස බලන විටදී ද විවිධ සම්පත් නිසා වටිනා ජීවිත සියගණනින් වැනසීමට ලක් වේ. එමෙන්ම මිථ්‍යාදෘෂ්ඨියෙන් මුලා වී ලොව තුළ සිදුවන ජීවිත හානි ප්‍රමාණය සීමා කළ නොහැකි තරම්ය. මිථ්‍යාදෘෂ්ඨි වශයෙන් අප වැරැදි සංකල්පනා ඇතිකරගත් තැන සසර ගමන දිගුවන බව කල්පනාවට ගත යුත්තකි. බුද්ධිමතා මෙලොව දිවිය ගතකරනුයේ පරලොව සැපය ලද හැකි අයුරිනි. මේ නිසා ධර්මානුකූල දිවිපෙවෙත සැපයට හේතුවේ. පස් පව් දස අකුසලෙන් වෙන් වූ තැන කාහටත් සැනසීම ලද හැකි ය.

අඳුර තුළ සිටගෙන සාපකිරීම හා විලාප දීම සුදුසු නොවේ. අඳුර නැසීමට තම අධ්‍යාත්මය ආලෝකවත් කර ගත යුතු ය. එවිට දුගති බිය දුරු වී සුගතියට යන මාවත පැමිණෙනු ඇත. මේ සඳහා දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් හා දානය ,පි‍්‍රයවචන, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි යහගුණ දහම් ප්‍රගුණ කිරීමෙන් දෙලොව ප්‍රගතිය උදාවේ. එසේ නොමැති විට පාපී ක්‍රියාවන්හි අන්ධ වී සිටීමෙන් ලද හැකි වන්නේ ප්‍රපාතයට වැටීමයි. සසර සැපදායක කරගත හැකි වන්නේ තම මනස යහපත් කරගතහොත්ම පමණි. එමගින් පුද්ගලයාගේ කය වචනය ද පාලනයට නතුකර ගත යුතු වේ. එසේනම් ඔබද ඔබේ දිවිමග ආලෝක කර ගැනීමට සම්බුදු දහම අනුව ක්‍රියා කරන්න. එවිට දෙලොව යහපත සැලසෙනු ඇත.

“අන්ධ භූතෝ අයං ලෝකෝ” යන මේ ගාථාව දේශනා කිරීමට හේතුවන්නේ අලව්නුවර දී පේෂකාරදුවක් අරභයා ය. එම කථාව මෙසේ ය. විහාරයේ බුදුරදුන් වැඩ වසද් දී සැදැහැති පිරිස් එම විහාරයට ගොස් දන් දී බණ ඇසීමෙහි නියැලුණහ. ඒ මහා පිරිසට බුදුරදහු මරණානුස්සති භාවනාවේ අනුසස් වදාළහ. ඒ දහම් ඇසූ බොහෝ දෙනා සිය නිවෙස් වෙත ගොස් ඒ ඒ කටයුතු කිරීමෙහි යෙදුණහ. ඒ මහා පිරිසට බුදුරදහු මරණානුස්සති භාවනාවේ අනුසස් වදාළහ. ඒ දහම් ඇසූ බොහෝ දෙනා සිය නිවෙස් වෙත ගොස් ඒ ඒ කටයුතු කිරීමෙහි යෙදුනහ. ඒ මහා පිරිස, සමඟ එකට බණ ඇසූ පේෂකාර දුවක් පැහැදී මෙසේ සිතුවා ය. අහෝ ! බුදුරදුන් වදාළ දහම මනහරය, අගනේ ය, සෑම දෙනාට යහපත සැපත සිදු කරදෙන්නේ ඒ දහමය. ඒ දහම පිළිපදින තැනැත්තා යහපත දකී. සැපත ලබයි. මම ඒ මරණානුස්සති භාවනාව වඩමියි සිතුවා ය. බුදුරජාණන් වහන්සේ එදා දහම් දෙසා දෙවුරම් වෙහෙරට වැඩිසේක. පේෂකාරදුව මරණ සති භාවනාව වැඩීමෙහි උත්සාහවත් වූවා ය. ඒ අතර ගේ දොර කටයුතු ද මනාව සිදුකළා ය. එසේ ඇය අවුරුදු තුනක් මරණ සතිය වැඩුවා ය. ඒවාගේම ගුණධර්මයෙන් පිරිපුන් වූවා ය. මෛත්‍රීයෙන් හා නුවණින් ද යුක්ත වූවා ය. එක් දිනක් අලුයම් කාලයෙහි ලොව බැලූ බුදුරදුන්ට ඒ පේෂකාර දුව පෙනුනි. තුන් අවුරුද්දක් මරණය මෙනෙහි කළ ඇගේ මරණය එදින සිදුවන බවත් ඇයට සෝවාන් වීමට වාසනාව ඇති බවත් පෙනුනි. බුදුහිමියෝ ඇය කෙරෙහි කරුණාවෙන් නැවත විහාරයට වැඩම කළහ. අලව් නුවර වැසියෝ බුදුරදුන් වැඳපුදා බණ ඇසීමට වෙහෙරට රැස් වූහ. පේෂකාර දුවද ඔවුන් සමග විහාරයට යාමට සිතා ඇය සූදානම් වෙද්දීම ඇගේ පියා මහන නූල්ටිකක් කැටගෙන එන ලෙස කියා රෙදි වියන හලට ගියාය. ඇය එම කැට වියවා දී වහා වෙහෙරට ගොස් පිරිස් අතර හුන්නී ය. බුදුරජාණන් වහන්සේ ඇය අමතා මෙසේ වදාළ සේක.

බුදුරජ - ළදැරියනි කොහි සිට අවුද?
පේෂකාර දුව - බුදුන් වහන්ස මම නොදනිමි,

බුදුරජ - කොහි යවුද?
පේෂකාර දුව - බුදුන් වහන්ස මම නොදනිමි.

බුදුරජ - නොදන්නෙහි ද?
පේෂකාර දුව - බුදුන් වහන්ස මම දනිමි.

බුදුරජ – දන්නෙහිද?
පේෂකාර දුව - බුදුන්වහන්ස මම නොදනිමි.

මෙසේ ඇය පිළිතුරු දෙද්දී අසාසිටි ජනතාව ඇය කටට ආ දෙයක්ම කියතියි සිතා කලබල වූහ. බුදුරදුන් පිරිස සංසිඳවා ඇසූ ප්‍රශ්නවලට එසේ පිළිතුරු දීමට හේතු විමසූ සේක. එවිට පේෂකාර දුව බුදුන් වහන්ස,

1. මම කොයි සිට අවුත් මනුලොවැ උපන්නාද යන්න නොදනිමි.

2. මම මියගොස් උපදින තැන නොදනිමි.

3. මම මිය යන බව දනිමි.

4. මම මිය යන වේලාව නොදනිමි.

එම නිසා මේ ආකාරයට පිළිතුරු දුන්බව ඇය කීවා ය. බුදුරජාණන් වහන්සේ ඇය ඒ මහා පිරිස මැදදී සිහි නුවණින් යුතුව එම ප්‍රශ්න වලට පිළිතුරු දීම පිළිබඳව ප්‍රශංසා කොට ඒ නිමිති කොට ඉහත ගාථාව දේශනා කළහ. ඒ අසා පේෂකාරදුව සෝවාන් ඵලයට පත් වූවා ය.

මෙම කථාව මගින් පැහැදිලි වන්නේ සසර ගමනෙහි අඳුරු ස්වභාවයයි. ඉතා දීර්ඝ සසර ගමනක් යාමට ඇති පුද්ගලයා නුවණ මෙහෙයවා යහගුණ දහම් වැඩිය යුතු වේ. ඉපදීම මැරීම උරුම වූවද ඒ අතර කාලය තුළ “කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්ම චරියං” යනුවෙන් වදාළ පරිදි කුසල් කළ යුතු යි. බ්‍රහ්ම චර්යාව පුරුදු පුහුණු කළ යුතු යි. සසර ගමනේ දී අතට ගත් දේ දමායන අතර සිතින් ක්ලේශ ධර්ම රැගෙන යයි. මේ නිසා දේපල සම්පත් මත නොව අධ්‍යාත්මික දිවිපෙවෙත සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ පින්කම්වල නියැලීම තුළින් දෙලොව සැනසිල්ල උදාකර ගතහැකි බව සැමදෙනාම සිතට ගනිත්වා.

සැමට සම්මා සම්බුදු සරණයි...!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.