Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිසදිටු බල බිඳිනට මුල් වූ පානදුර රන්කොත් විහාරය

සැතපෙන බුද්ධ ප්‍රතිමාව

රන්කොත් විහාරයේ දසුනක්

පැරැණි බිතු සිතුවමක්

ශත වස් සතරකට වැඩි කලක් සුදු මිසදිටු අයෝමය ග්‍රහණයෙන් මිරිකී ඔද්දල් වුන මානසිකත්වයෙන් සිරි ලක් දන වෙසෙසින්ම සිහළ බොදුනුවන් නිදහස් කරවා ගනු පිණිස සුවිශේෂී වූත් දුෂ්කරවූත් යුග මෙහෙවරක නියැලී ජනතාවගේ ජන්ම භූමිය වූ පානදුරයේ රන්කොත් විහාරය යුග මෙහෙවරක තෝතැන්නකි.

ක්‍රි.ව.1890 ට පෙරාතුව ගල් කන්දේ විහාරය සහ ගල් වලේ විහාරය යන නම් වලින් හැඳින්වුන මෙම පුණ්‍යස්ථානයේ උපත අසිරිමත් ය. මෙය ජය බිමක් ලෙස ප්‍රකට ය. 1800 වසරේ දී කුඩා කුටියක් තැනවීමෙන් වත්මන් රන්කොත් විහාරයේ ආරම්භය සිදු විනැයි කියැවේ.

අමරපුර නිකාය පිහිටුවා වදාළ හදන්ත ශ්‍රී කතළුවේ ගුණරතන මහ නා සමිඳුන් ගේ ප්‍රධාන ශිෂ්‍ය බටපොල කල්‍යාණතිස්ස නා සමිඳුන් මෙම විහාරස්ථානයේ ආදී කර්තෘවරයාණෝ ය. නිවහල් අදීන චින්තනයක් විකසිත කරවීමෙහිලා උපස්ථම්භක වූ රන්කොත් විහාරයේ සියලුම විහාරාධිපතීන් වහන්සේලා විද්වත් සුපේශල ශික්‍ෂාකාමී මහා බුදු පුත්තු වෙති..

බටපොල කල්‍යාණතිස්ස මහ නාහිමි, වල්පිට සිරි සුමනතිස්ස නා හිමි, වල්පිට ගුණරතනතිස්ස මහ නා හිමි, පණ්ඩිතාචාර්ය පානදුරේ ඤාණවිමලතිස්ස නා හිමි, කරගම්පිටියේ ජොතිරතන අනු නා හිමි, විවිත‍්‍ර භාණක මහාචාර්ය මොරටුවේ ශාසනරතන අනු නා හිමි, ක්‍රි.ව. 1981 සිට විහාරාධිපති පදවිය දරන කැලණිය සරසවියේ සංස්කෘත භාෂා අධ්‍යායනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත මහාචාර්ය කහපොල සුගතරතන නා සමිඳුන් ද මේ අතර වෙති.

රන්කොත් විහාරය ප්‍රදේශයේ බොදු දරු දැරියනගේ නැණස පාදමින් උපාධ්‍යාය විදුහලද, ශ්‍රී සුමංගල විදුහල ද ආරම්භ කර ඇති අතර ක්‍රි.ව. 1903 ආරම්භ කරන ලද සිසු සිසුවියෝ 1400 ක් පමණ ඉගෙනුම ලබන දහම් පාසල ද කැපී පෙනෙන සත් කාර්යයන් වේ. ලොවෙහි ගරු බුහුමනට බඳුන් වූ බුදු පුතුන් සෙවන ලද මෙම විහාරස්ථානයේ සසුනඹර එකළු කළ සංඝ පීතෘන් වහන්සේලා රැසක් බිහි කළ පිරිවෙන නිල වාර්තාවලට 1896 සැප් 17 දා දැනට ජෙරමියෙස් දියෙස් මැතිඳුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති අතර “බුද්ධගයාව බෞද්ධයන්ට හිමිවිය යුතු ය” යන අදහස ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා සමඟ මුලින්ම ප්‍රකාශ කළ වැලිගම ශ්‍රී සුමංගල මහ නා හිමියෝ ප්‍රථම පරිවේනාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කර ඇත. මෙම පිරිවෙනෙහි වාර්ෂික විභාග සඳහා එදා වැඩම කර ඇත්තේ අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල මා හිමිපාණෝ ය.

ක්‍රි.ව. 1857 – 1920 දක්වා වූ දීර්ඝ කාලයක් අධිපති ධූරය දැරූ වල්පිට ගුණරතනතිස්ස නා සමිඳුන් විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ ප්‍රදීපස්ථම්භය වේ. උන්වහන්සේගේ උදාර මෙහෙවරයන් අතර මුතුතන්ත්‍රිගේ ලුවිස් ප්‍රනාන්දු මහතා මෙහෙවා එතෙක් පල්ලියේ සිදු කළ විවාහ ලියාපදිංචි කැරවීමේ ශාසනික විනාශය වලක්වා බෞද්ධ විවාහ ලේකම්වරුන් ලබා ගැනීම සහ ලෝ පූජිත පානදුරා වාදයේ ආදී කර්තෘන් වීම ද අමතක කළ නො හැක.

පානදුර අධිකරණයේ පෙරකදෝරු පීතර් දානියෙල් සහ මස්තෙස් සුවාරිස් ගුණවර්ධන යන මහතුන් ජෙරමියෙස් දියෙස් සහ කුරුකුලසූරියගේ කොර්නේලිස් ප්‍රේරා කරුණාරත්න අප්පුහාමි යන මහතුන්ට ක්‍රි.ව. 1873 අගෝ 26 – 28 දෙදින තුළ මෙම මහා විවාදය දෙපිල මුහුණට මුහුණලා කළ යුතු බව සඳහන් කරමින් එවන ලද ලිපිය විහාරස්ථානයේ අද ද සුරක්‍ෂිතව ඇත.

 


විහාර මැදුරේ පැරැණි මූර්තියක්

බොදු පස වෙනුවෙන් වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමියන්ද කිතුණු පස වෙනුවෙන් දාවිත් ද සිල්වා පාදිලි තුමා සහ සිරිමාන්න කතිසේරු තුමා ද ජෙරමියෙස් දියෙස් මැතිඳුන්ගේ දොඹගහ වත්ත නැමැති භූමියේ දී මෙම මහා වාදය පවත්වන ලදින් ඉන් ඇති වූ ශාසනික උන්නතියේ දෝංකාරය ලොව දස දෙස පතල විනි. වාදය පිළිබඳව විස්තර වාර්තාවක් ජෝන් කැපර් මහතා “ටයිම්ස්” පත්‍රයේ පළ කිරීමෙන් ද ජේ.එම්. සීබල්ස් මහතා ඇමරිකාවේ දී ග්‍රන්ථයක් ලෙස නිකුත් කිරීමෙන්ද පසුව ඒවා කියවූ හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා ක්‍රි.ව. 1880 මැයි 17 වැනි දින ලංකාවට පැමිණ රන්කොත් විහාරයේ දී ද දේශන පවත්වා ඇති බව වංශකථාවේ

සඳහන් වේ. ක්‍රි.ව. 1958 සිට 1981 දක්වා විහාරාධිපති ධූරය බැබලවූ ලෝ පූජිත අග්‍රගණ්‍ය මහ පඬිරුවනක් වූ විචිත්‍ර භානක මහාචාර්ය මොරටුවේ ශාසනරතන අනු නා සමිඳුන් නිසා 1976 දී මහාචාර්ය ට්‍රෙවොලින් 1978 දී මහාචාර්ය නීඩ්හම් 1980 දී මහාචාර්ය යූ.එම්. බ්‍රොම්ලි වැනි විද්වතුන් ද මෙම විහාරස්ථානයේ සෙවන සොයා පැමිණ ඇත.

විශාල කළු ගලක් මත නිමවා ඇති රන් කොතකින් යුත් චෛත්‍ය රාජයාණන් වහන්සේ ක්‍රි.ව. 1863 දී ඉදිකර ඇත. අඩි 30 ක් පමණ උසට බැමි බැඳ බැති දණ හිසින් ගෙනා මුහුදු වැලිවලින් පුරවා බෝ මළුව මුලින් සකසා ඇති අතර ක්‍රි.ව. 1981 දී නව ඇත් පවුර සහිත බෝධි ප්‍රාකාරය සාදවා මුළු පානදුරයටම සෙවන දෙන බෝ රදුන් සුරක්‍ෂිත කර ඇත. මුළු මහත් විහාර ගෙයම විසිතුරු සිතුවමින් ද පිළිම වහන්සේලා තුන් නමකින් ද යුක්තය.

ක්‍රි.ව 1987 පෙබරවාරි 12 වැනි දින විශ්ව කීර්තිධර මොරටුවේ ශාසනරතන හිමි සමරා ශ්‍රී ශාසනරතන අනුස්මරණ ජාත්‍යන්තර පුස්තකාලය ඉදිකිරීම වත්මන් විහාරාධිපතීන් වහන්සේගේ සුවිශේෂී වූ සත් කාර්යයක් ලෙස පෙන්වා දිය හැක.

කරුණු සොයා යාමේ දී අපට මෙත් සිතින් අනුග්‍රහය දැක් වූ විහාරාධිපති නා සමිඳුන් ද විහාරවාසී ශාස්ත්‍රපති අයගම සුසීල හිමි ද කෘතවේදීව සිහිපත් කරමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.