Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහිඳු හිමියන් දෙසූ සූත්‍රවල මනෝවිද්‍යාත්මක අගය

නූතන මානව චින්තනයේ පෙරමුණට පැමිණ ඇති විෂයයක් වන්නේ මනෝවිග්‍රහය සහ මනෝචිකිත්සාවයි . මේ විද්‍යාංශ දෙක මිනිසාගේ යටි හිතේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කරණු සමූහයක් හෙළිකොට ඇත. මේ දැනුම මත පිහිටා පැරැණි ඉගැන්වීම් ද පතපොත් ද හෙළිකරන කරුණු දෙස නව දෘෂ්ටි කෝණයකින් බැලිය හැකිය. පුරාතන විඥානයේ ඇති සනාතන අගය මේ නිසා පැහැදිලි වේ.

ජාතක පොත පැරැණි උගතුන්ගේ ඥාන ධනය ඇතුළත් වූ විශිෂ්ට ග්‍රන්ථ රත්නයකි. ධර්මවේදීන් ජාතක කතා කියවන්නේ එහි ඇතුළත් වන ධර්ම උපදේශ දැන ගැනීමටයි. මහාචාර්ය රකිලාල් මේතා ජාතක කතා කියවා ඇත්තේ සමාජවිද්‍යා දෘෂ්ටි කෝණයක පිහිටාය. ජගදීස් චන්ද්‍ර ජේන් සහ රිචර්ඩ් ෆික් යන උගතුන් ද ජාතක කතා උගත්තේ සමාජ විද්‍යාඥයන් ලෙසය. මාර්ටින් වික්‍රමසිංහ මහතා ජාතක කතාවල ඇතුළත් වන චරිත දෙසා බලා ඇත්තේ මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයක පිහිටාය. මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී. ජේ. හරිස්චන්ද්‍ර මහතා මනෝ චිකිත්සක දෘෂ්ටි කෝණයක පිහිටා ඉතා අගනා ග්‍රන්ථයක් ලියා ඇත. ඒ පොත Psychiatric Aspects of Jataka යනුවෙන් හැඳින්වෙයි.

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කොට දෙසූ ධර්ම දේශනාවල මනෝවිද්‍යාත්මක අගය කාලානුරූප ලෙස විවරණය කිරීම මගේ අරමුණයි. මිහිඳු සමිඳුන් සුනිසිත් නැණින් යුතුව ලක්වැසියන් ගේ ජීවන දර්ශනයට අදාළ සූත්‍ර දේශනා තෝරාගෙන ඇති බව පෙනේ. මිහිඳු සමිඳුන් දේශනා කළ සූත්‍ර දහතුනක් මහාවංසයේ තුදුස්වන පරිච්ඡේදයේ ඇතුළත් වෙයි .

විචාර පූර්වක චින්තනය පෙරදැරි කරගෙන සියලු කටයුතු කළ යුතු බව චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ දැක්වෙයි. යමක් දුටු පමණින්, ඇසු පමණින්, අනුමාන කළ පමණින් තීරණවලට බසින්නේ නැතිව, හේතුප්‍රත්‍ය සොයා විමසා බලා තීරණ ගැනීම ඉතා වැදගත්වෙයි. මානව චින්තනය හැඩ ගැස්විය යුතු ආකාරය කාලාම සූත්‍රයේ දැක්වෙයි. මේ ඉගැන්වීම් බුදුනුවන් අතර ඉතා ප්‍රකටය .

පාරම්පරික විඥානයේ ඇතුළත් වන නිසාද , ආගමික පොත්වල දැක්වෙන නිසා ද තර්කානුකූල වුණු නිසා ද ඉතා මැනැවින් පවසා ඇති නිසා ද ගුරු ගෞරවය නිසා ද තමන් සිතන පිළිගත් සිතිවිලිවලට ගැලැපෙන නිසා ද, චිර සම්භාවිත ධර්ම සංකල්පයැයි සිතා ද යම් මතයක් අදහසක් නොපිළිගත යුතු බව කාලාම සූත්‍රයේ දැක්වෙයි. බුදු සමිඳුන් මෙසේ පැවසුවේ මන්ද? බුදුරදුන්ට පළමුවෙන්ද බුදු සමිඳුන් ජීවත්වුණු කාලයේ ද පාරම්පරික විඥානයේ ඇතුළත් ඉගැන්වීම් සමාජයේ පැවතුණු බැවිනි . වර්තමාන කාලය විදු නැණින් සපිරුණු ද පාරම්පරික ආගමික විඥානය නොවිමසාම පිළිගන්නා බොහෝ පිරිසක් සිටිති. දේව භක්තිය පහළ කරගෙන නොවිමසා ආගමික ඉගැන්වීම් පිළිගැනීමට ජනතාව යොමුකිරීම අන් ආගම් වල ස්වභාවය වෙයි.

පාරම්පරික විඥානය සහ ආගමික මතිමතාන්තර පිළිගැනීමට මිනිසුන් යොමු කරන මානසික ධර්මතා කවරේද?

මේ මානසික ධර්මතා ඇතිවීමට ඉවහල්වන හේතු දැන ගැනීමට සමාජ මනෝවිද්‍යාඥයන් හෙළි කරන ඉගැන්වීම් බෙහෙවින් ඉවහල්වෙයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයේ සමාජ මනෝවිද්‍යාව ඉගැන්වූ මහාචාර්ය විලියම් මැක්ඩුහල් ලියූ "An Introdcation to Social Psychology"  නමැති ප්‍රශස්ත ග්‍රන්ථයෙහි මිනිස් චර්යාවට මඟ පාදන සහජ මානව ආවේග දහතුනක් දැක්වෙයි. ජීවිතය ගැන සමාජ මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් කරන නිර්වචනය කුමක් ද ? ජීවිතය වූ කලී සහජ මානව ආවේග ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපාරයකි.

මිනිසුන්ට තමන් ගේ ලොකුකම වැදගත්කම ස්වාමිත්වය පහළ කරන සහජ ආවේගය වන්නේ ආත්ම අධිරෝපණකාමයයි . මෙරමාගේ පිළිසරණ පැතීමය දෙවිදේවතාවුන්ගේ සහ බලවතුන් ගේ පිහිට පැතීමට මිනිසුන් යොමු කරන්නේ ආත්ම අවමානය පිළිබඳ ලැඳිකමයි. අනුන්ගෙන් ඉගෙන ගැනීමට අප යොමු කරන සහජ ආවේගය වන්නේද ආත්මාවමානය පිළිබඳ ලැදිකමයි.

බොහෝ දෙනාට තමන් ගේ සැපත සතුට හා අධ්‍යාත්ම ශාන්තිය ලැබීමට පහසුම මාර්ගය ආත්ම අවමාන කාමය දියුණුකර ගැනීමයි. ආත්ම අවමාන කාමය අනුසෝතගාමී ව්‍යාපාරයකි. නායකකම් පිළිගෙන ස්වාමිත්වය සහ වගකීම් බාරගෙන ක්‍රියා කිරීමට අනුබල දෙන ආත්ම අධිරෝපණකාමයෙන් යුතුවීම පටිසෝතගාමී ව්‍යාපාරයකි.

සෑම කාලයේම වාසය කළා වූ ද වර්තමාන කාලයේ ජීවත්වන්නා වු ද ජනතාව ආත්ම අවමාන කාමය තෘප්ත කර ගැනීමට කල්පනා කරති. ආගමික ග්‍රන්ථවල එන ඉගැන්වීම් අවිවාදයෙන් පිළිගැනීම ඉතා උතුම් ප්‍රතිපත්තියක් බව බොහෝ ආගම්වල ඇතුළත් ඉගැන්වීමක් වෙයි. කාලාම සූත්‍රයේ එන ඉගැන්වීම් නො පිළිගෙන ස්වතන්ත්‍රව නිර්භයව සිතීමෙන් වැළැකී අන්ධ භක්තියෙන් යුතුව දේවාන්ද්‍රග්‍රහය පැතීමට වැඩි පිරිසක් යොමු වන්නේ ආත්ම අවමාන ළැදිකමේ බලපෑම නිසාය.

පුද පූජා පැවැත්වීම බාරහාරවීම , මෝඩ ක්‍රියාවකැයි බුද්ධිමතුන් පැවැසුවද බොහෝ දෙනකු විචාර පුර්වක චින්තනය බැහැර කරන්නේ, ද පාරම්පරික විඥානයට ගොදුරු වන්නේද අධ්‍යාත්ම ශාන්තියක් ලැබීමට ඇති ප්‍රවණතාව හේතුකොට ගෙනයි. අවිඳු අඳුර බැහැර කොට ස්වාධීනව සිතීමට සහ බුදුසමයේ ඇතුළත් වන ඉගැන්වීම් වලට අනුව ජීවත්වීමට උත්සාහ දැරීම පුද්ගල සුගතිය ලැබීමේ උතුම් මාර්ගයයි.

අධ්‍යාත්ම ශාන්තියක් ලබා ගැනීම ඉතා උතුම් මාර්ගයක් බව සමචිත්ත පරියාය සූත්‍රයේ දැක්වෙයි. ශාන්ත වු සිත් ඇත්තෝ ශාන්ත ඉන්ද්‍රිය ඇත්තෝ වෙති. මිනිසුන් අයථා මාර්ගයට යොමු වී අධ්‍යාත්ම ශාන්තිය වනසා ගන්නේ කෙලෙස් ධර්මවල බලපෑම නිසා බව බුදුසමය අපට උගන්වයි. මිනිසුන් ගේ ජීවිතය දුක්ඛ ප්‍රවාහයක් බවට පත්වන්නේ කෙලෙස් දහම් තුනී කර ගැනීමට ඉවහල්වන ආත්ම ශික්‍ෂණය නොමැති කල්හිය. බුද්ධ කාලීන සමාජයේ විසූ යස ඉසුරෙන් පිරුණු මිනිසුන් කල්පනා. කළේ ඉඳුරන් පිනවීමෙන් අධ්‍යාත්ම ශාන්තිය සහ තෘප්තිය ලබාගත හැකි බවයි. ඉඳුරන් පිනැවීමට මිනිසුන් යොමු කරන ආයතන බුද්ධකාලීන සමාජයේ පැවැතිණ. ඉඳුරන් පිනැවීමෙන් නොව, ඉඳුරන් දමනය කිරීමෙන්ද සතුට සැපත සහ තෘප්තිය ලබාගත හැකි බව ශ්‍රමණ ධර්ම ජනතාවට පෙන්වා දුන්නේය. ඉන්ද්‍රිය දමනයට යොමුවුණු ශ්‍රමණ ධර්ම පිළිගත් බොහෝ දෙනෙක් බුද්ධකාලීන සමාජයේ සිටියහ.

ඉඳුරන් දමනයෙන් සතුට හා සැපත ලැබිය හැකිවෙතිය යන ධර්මය ශ්‍රමණයන් විසින්ම හෙළිකරනු ලැබූ ඉගැන්වීමක් නොවේ. මොහෙන්ජදාරෝ හරප්පා යන ස්ථානවලින් හමුවුණු නෂ්ඨාවශේෂ පෙන්වා දෙන්නේ, ඉන්දු මිටියාවතේ ජීවත්වුණු ඇතැම් පිරිස් මේ දහම් විශ්වාස කළ බවයි.

මිහිඳු සමිඳුන් දෙසු සමචිත්ත පරියාය සූත්‍රයේ ඉගැන්වීම් ලක්ජනතාව කෙරෙහි සෑහෙන බලපෑමක් කෙළේය. මිහිඳු සමිඳුන් ගේ ඉගැන්වීම් පිළිගෙන සසුන්ගත වූ පුද්ගලයෝ සැහැල්ලු දිවි පෙවෙතක් ගත කළ ආත්ම ශික්ෂණයෙන් යුතු අය වූහ. මේ භික්ෂූන් ගේ ජීවන මාර්ගය ගිහි ජනතාව කෙරෙහි මහත් බලපෑමක් කෙළේය. පුද්ගලයන් ගේ පෞරුෂ සංවර්ධනයේදී අනුකරණය සහ භාවාරෝපණය මහත් බලපෑමක් කරන බව ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනයක් ලැබූූ ජේ.ඒ. හැඩ්පීල්ඩ් නමැති මනෝ විද්‍යාඥයා පවසයි. භාවාරෝපණය යනු අපේ ඇසුරට පැමිණෙන පුද්ගලයන් තුළ පවතින හැඟීම් අප තුළ රෝපණය කර ගැනීමයි. මෙය සිතා මතා කරන්නක් නොව ඉබේටම සිදුවන්නකි. සමාජයක ජීවත්වන පුද්ගලයන් උත්සාහයක් නැතිවම ලබා ගන්නා දැනුම වෙසෙසක් ඇත.

මේ දැනුම සිග්මන්ඩ් ප්‍රොයිඩ් හදුන්වා දෙන්නේ සබ්ලිමිනල් එක්ස්පීරියන්ස් යනුවෙනි. මෙය නිර්විඥානිකව ලබන දැනුම යනුවෙන්ද හැඳින්විය හැකිය.

එංගලන්තයේ විසූ මනෝ චිකිත්සකවරියක වූ බාර්බර් ලෝ පවසන්නේ මිනිස් මනසේ සංකීර්ණ ද අවරෝධිත හැඟීම් සහ නිරුත්සාහකව ලබන දැනුම පවතින බවයි.මේ නිරුත්සාහකව ලබන දැනුම මිනිසුන් ගේ් ජීවිතය කෙරෙහි මහත් බලපෑමක් කරන බවයි. මිහිඳු සමිඳුන් ගේ ධර්ම දේශනා හා ඉගැන්වීම් වලින් අවදිවුණු සිංහල ජනතාව තුළ පැවතුණු නිරුත්සාහකව ලබන දැනුම ඔවුන්ගේ ජීවිතය ධාර්මිකව පවත්වා ගැනීමට හේතුවිය. පව් කරන හා අධම මිනිසුන් ඇසුරු නො කළ යුතු බවත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු බවත් බුදුසමය අපට උගන්වයි.

මිහිඳු සමිඳුන් ඉගැන්වු ධර්මය අසා ධාර්මික ජීවන රටාවක් සකස් කරගත් පුද්ගලයන් ගේ ධාර්මික විචාර විඥානය හෙවත් සුපර් ඊගෝව ශක්තිමත් විය. ජනතාව තුළ මනෝඥාව වර්ධනය වුණු සුපර්ඊගෝව සාරයෙන් අසාරය වෙන්කර ගැනීමට මිනිසුන්ට මඟ පාදා දුන්නේ ය. පුද්ගලයන් ගේ සුපර්ඊගෝව මනෝඥ ලෙස වර්ධනය කර ගැනීම, සමාජයේ වසන අයට මනෝඥ පුද්ගලාන්තර සබඳතා ඇති කර ගැනීමට ද ඉවහල් විය. විවිධ හේතු ප්‍රත්‍ය නිසා පහළ වන ගැටුම් දුරුකර ගනිමින්, සාමයෙන් හා සහජීවනයෙන් යුක්තවීමෙන්, දැහැමි දිවියක් ගෙවීමට හැකිවන්නේ මනෝඥ පුද්ගලාන්තර සබඳතා ඇති කල්හිය.

බුදුනුවන්ට මනෝ සංවරයද වාග් සංවරයද කාය සංවරයද පහළ කර ගැනීමට මිහිඳු සමිඳුන් ගේ ක්‍රියා මාර්ගය හේතුවිය.

මිහිඳු සමිඳුන් විසින් දේශනා කරනු ලැබූ අනමතග්ග සූත්‍රය , සර්වකාලීන අගයක් ඇත්තාවූද මානවහිතවාදී මානසික ප්‍රවණතා ජනතාව තුළ පහළ කරන්නා වු අග්‍රගණ්‍ය එකක් බව අප සියලු දෙනාම සිතට ගත යුතුය.

මෙයින් පැහැදිලි වන්නේ සත්වයා ඉතා දිගු කලක් තිස්සේ අගමුල නැති මේ සංසාරයේ භව ගමනක යෙදුණු බවත් හැම සත්වයෙක් ම ඔවුනොවුන්ට සම්බන්ධව සිටි බවත් ය. තයද සත්ත්වයා ගේ ආරම්භයා සෙවිය නොහැකි බවත්, භව ගමනේදී මවක පියකු සහෝදරයකු හා සහෝදරියක නොවු කෙනකු සොයාගත නො හැකි බවත් මේ සූත්‍රය පෙන්වා දෙයි.

මානව හිතවාදය ඉක්මවා යන ජීවභක්තිවාදයක් පිළිබඳ සංකල්පය මේ සූත්‍රයේ ඇතුළත්ය. මානවහිතවාදය පෙන්වා දෙන්නේ, සකල මානව සමාජයටම කරුණාව හා මෛත්‍රිය දැක්විය යුතු බවයි. බුදුසමය මානවහිතවාදය ඉක්මවා යන ජීවභක්තිවාදයක් බවද අමතක නොකළ යුතුය. ඉතා දිග භව ගමනක යෙදෙන සත්ත්වයෝ නොයෙක් ආත්මභාවයන්හි උපත ලබති. සුමේධ තවුසා අගක් මුලක් නොපෙනෙන සංසාර සාගරයේ සැරිසරණ කාලයේදී වඳුරකුව මුවකුව, ගවයකුව උපත ලැබු බව ජාතක කතාවල සඳහන් වෙයි. අපේ වත්තේ සිටින එළදෙනක ඉහත භවයකදී අපගේ මවක් වන්නට ද ඉඩ ඇත.

වාසෙට්ඨ සූත්‍රය මිනිසා ගේ ඒකීය භාවය පෙන්වා දෙයි. විවිධ ජාතිවලට අයත්වන විවිධ වර්ණවලින් යුතු සියලුම මිනිස් ගණයා එකම වර්ගයකට (ස්පීසීස්) අයත්වන බව මානවවිද්‍යාඥයෝද ජීවවිද්‍යාඥයෝද පෙන්වා දෙති. ජාතික ලක්‍ෂණ යැයි සලකන දේ මිථ්‍යා විශ්වාස බව “ ඉලූෂන් ඔෆ් නැෂනල් කැරැක්ටර් “ නමැති පොත ලියු හැමිල්ටන් පයිපේ නමැති චින්තකයා පවසැයි.මේ සූත්‍රය ඉතාම වැදගත් වන්නේ සියලු සත්ත්වයන්ට මෙත් කිරීමට අපට උගන්වන බැවිනි.

විමානවත්ථු හා පේ‍්‍රතවත්ථු තුළ පුනර්භවය පිළිබඳ සංකල්පය ඇතුළත්වෙයි. පුනර්භවය පිළිබඳ මතය මානව චින්තනයේ කවර කාලයේ පහළ වූයේ දැයි කීම අසීරුය.

පරලොව පිළිබද විශ්වාසයක් පහළවීම මිනිසුන් ගේ මෙලොව ජීවිතය උසස් කිරීමට ද හේතුවිණ. මරණින් පසු ජීවිතයක් නැත්නම් කවර අයුරේ අකුසල කර්මයක් කිරීමට වුවද මිනිසා පැකිළෙන්නේ නැත. මිනිසුන් කරන වැරැදි ක්‍රියාවලට දුර්විපාක ඊළඟ ආත්මවලදී ලැබෙන බව විශ්වාස කිරීම මේ ලොවේදී ගුණධර්ම පිරීමට මිනිසා පොළඹවයි.

බුදු සමයේ මෙන්ම මනුනීතියේද මිනිසුන් විසින් පිරිය යුතු ගුණ ධර්ම බොහෝ ගණනක් ඇතුළත් වෙයි. බුද්ධ ධර්මය මහු නීතිය කෙරෙහිද බලපෑමක් කර ඇති බව ඇතැයි උගත්තු කල්පනා කරති. ඒ ගුණ ධර්ම මෙබඳු වෙයි. 1. ආත්ම පාරිශුද්ධිය 2. නිහතමානි ගුණය 3. ගුරුභක්තිය 4. සුඛ විහරණයට ආශක්ත නොවීම 5. ඉන්ද්‍රිය සංවරය 6. ශාස්ත්‍ර කාමය 7. ප්‍රතිඥා ඉටුකිරීම 8. ආගමික වත් පිළිවෙත් ප්‍රගුණ කිරීම 9. විනීත චර පුරුදු කිරීම 10. පමණ දැන ආහාර ගැනීම 11. මනෝඥ පුද්ගලාන්තර සබඳතා ඇතිකර ගැනීම 12. තර්ක ක්‍රියාවලට දුර්විපාක ලැබෙන බව දැන ගැනීම 13. චිර සම්භාවිත සමාජ ධර්ම නොබිඳීම , ඒ ගුණ ධර්මයන්ය.

ලක් ජනතාව මේ ගුණධර්ම ශක්ති පමණින් ප්‍රගුණ කිරීම පුද්ගල සුගතියට මෙන්ම සමාජ සුගතියටද ඉවහල් විය.

දේව දූත සූත්‍රය ද බාල පණ්ඩිත සූත්‍රයේද ආසිවිසෝපම සූත්‍රයේද ඇතුළත් වන ධර්ම මනෝවිද්‍යාත්මක අගයකින් යුක්තවෙයි.

කල්‍යාණ මිතුරන් නිසා, මිනිස් ජීවිතය උසස් වන අතර පවිටු සතුරන් නිසා මිනිසාගේ ජීවිතය විනාශවෙයි. බුදුසමයට අනුව මිනිසාගේ පරම සතුරා නපුරු සිතය මේ නපුරු සතුරා දුරු කිරීමට මිහිඳු සමිඳුන් දෙසූ ඉගැන්වීම් පිහිටවෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.