Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බුරුම රජයේ හමුදා පාලක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ජනරාල් මවුන් ඒ මහතා සහ එම මහත්මිය විදේශ මුදල් ඇමතිවරුන් ප්‍රමුඛ ඉහළ නිලධාරින් හැත්තෑ දෙදෙනෙකු සමඟ නොබෝදා බරණස ඉසිපතන මිගදායට පැමිණියහ. ඉන්දීය ජනරජයේ විශේෂ රාජ්‍ය අමුත්තෙකු ලෙස පැමිණි හමුදා පාලකතුමා බරණැස් නුවරට පැමිණි මොහොතේ ඉන්දීය මහාබෝධි සමාගම වෙනුවෙන් එහි සහකාර මහාලේකම් හා ඉසිපතන මිගදායෙ විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් ඇතුළු ශ්‍රී ලාංකික ධර්මදූත භික්‍ෂූන් වහන්සේ විසින් පිළිගෙන සෙත්පිරිත් දේශනා කොට ආශිර්වාද කරන ලදී. පින්තූරයෙන් දැක්වෙන්නේ බුරුම හමුදා පාලක මවුන් ඒ මහතා සහ මහත්මිය ඇතුළු දූත පිරිස ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් සහ සාරානාත් බුරුම විහාරාධිපති වන්නධජ හිමියන් ඉන්දීය රජයේ නිලධාරින් සමඟ මූලගන්ධ කුටි මහා විහාරයට පැමිණි අවස්ථාවයි .

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිහිපත් කෙරෙමින් ජපානයේ කියොතෝ නුවර අගොන්ශු විහාරයේ පැවැති ආගමික උත්සව කිහිපයකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා අගොන්ශු මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් රෝහණකීර්ති ශාසන බන්ධු දේශමාන්‍ය සෝමසිරි ඒ. පතිරණ මහතාගේ මෙහෙයවීම මත එම චාරිකාව සිදු කෙරිණි. මීට සහභාගි වූ දූත පිරිස කියොතෝ නුවර නිල ආරාමයේදී අගොන්ශු නිකායේ මහානායක සෙයියු කිරියමා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාව මෙම ඡායාරූපයෙන් දැක්වේ. (වමේ සිට) සෝමසිරි ඒ. පතිරණ, මාකඳුරේ සිරිරතන හිමි, අගොන්ශු මිත්‍රත්ව පදනමේ ගාලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි බැදිගම නන්දසිරි හිමි, සෙයියු කිරියමා මහනාහිමි, බෝපිටියේ විජිත නාහිමි, ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි හිමි හා නඹකෝ වදා ලේකම්තුමිය ද ඡායාරූපයේ වෙති.

මරණයට කැප වු ගවයින් නිදහස් කිරීමේ පින්කමක සංවිධාන කටයුතු වෙනුවෙන් කොළඹ ගව ඝාතනාගාරයට වැඩම කළ වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති අහංගම ආනන්ද හිමියන් හමුවේ මේ වසුපැටියා හැසිරුනේ ‘අනේ මගේ ජීවිතය බේරාදෙන්න හාමුදුරුවනේ’ කියන්නාක් මෙනි. දුටුවන්ගේ නෙතට කඳුලක් එක්කළ මේ දසුන කැමරාවේ සටහන් වුයේ මිනිස්කමේ අරුත පිළිබඳ අප දැනගතයුතු පාඩමක් ලොවට කියාපාන විලසිනි

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.