Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්ෂුවගේ වගකීම්

භික්ෂුව යනු කවරෙක්ද? සංසාරෙභයං ඉක්ඛතීති භික්ඛු යන අටුවා විග්‍රහයට අනුව සසර බිය දැක ඉක්මනින් සසර කෙටි කරගෙන, නිවන් අවබෝධ කර ගැනීමට සමත්ව, සසර බිය ඉක්ම වූ පුද්ගලයා භික්ෂුවයි. ගිහි පින්වතා සසරට ඇලුම් කරයි. ඔහු නිවන් ලැබීම සෙමින් ප්‍රාර්ථනා කරයි. මොනරෙකු බඳු දිවිපැවැත්මක් ගිහි පින්වතුන්ට ඇත. භික්ෂුවගේ දිවිය හංසයකුට උපමා කෙරේ.

ගිහි ජීවිතය බාධා සහිතය. සම්බාධොයං සරාවාසො රජස්සායතනං කෙලෙස්වලට විවෘතය. එහෙයින් ඉතා ඉක්මනින් නිවනින් සැනසීමට කැමැති වන්නෝ පැවිදි වෙති. අබ්භොකාසොව පබ්බජ්ජා පැවිද්ද අභ්‍යවකාශය වැනිය. පැවිද්දෙහි අවස්ථා දෙකකි.

1. පබ්බජ්ජා - පැවිද්දා සසුන්ගතවීම ශ්‍රද්ධාව මූලිකව සිදුවේ.

2. උපසම්පදා - සංඝ ශාසනයට ඇතුළත් කර ගන්නා සුදුසුකම් සම්පූර්ණ වීම.

හික්මීම මුලික කරගත් ධර්ම විනයෙහි හැසිරීම තුළින් සාමණේර පැවිද්ද ඉක්මවා සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් උපසම්පදාව ලද හැකිය. ශ්‍රද්ධාව, විශ්වාසය මූලික කරගෙන ආර්ය මාවතෙහි ගමන් කළ යුතුය. නමුත් නූතන ඇතැම් තරුණ භික්ෂූන්ගේ් සිතෙහි ශ්‍රද්ධාව, විශ්වාසය, ගුරු භක්තිය (රාහුල හිමියන්ට මෙන් හික්මීම) ඇත්තේ ම නැති බව අපට පෙනෙන කරුණකි.

භික්ෂුව සිවුර පොරවාගත් පමණින් වන්දනීය නොවේ. ශ්‍රද්ධාව ආදී මූලික ආකල්ප සම්පත්තියෙන් යුතු වූ ආත්මාර්ථ සාධනය කරගෙන, ඉන් ඔබ පරාර්ථයට කැප වූ භික්ෂුව ම වන්දනීය, පූජනීය භාවයන්ට පත් වේ. සිවුපසය ලැබීමට ද උන්වහන්සේ සුදුසු වේ.

එසේ ගිහි පින්වතුන්ගේ ආමිස දානයෙන් නිති උවටැන් ලබන භික්ෂූන් වහන්සේ, පෙරළා ගිහි පින්වතුන්ට ප්‍රත්‍යුපකාර කළයුතුª ආකාරය සිඟාලෝවාද ආදී සූත්‍ර ධර්මයන්හි පැහැදිලි කර දී ඇත.

ගිහීනමුප කරොන්තානං - නච්චමාමිසදානතො
කරොථ ධම්ම දානේන - තෙ සං පච්චුපකාරකං

නිතර ආමිස පූරජාවන් පවත්වන උපකාරී ගිහි පින්වතුන්ට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කළයුතුªබව බුද්ධ දේශනාවයි. ගිහියන් වෙත අනුකම්පා කළයුතු කරුණු හයක් භික්ෂුව සතුව පැවැතිය යුතු බව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ.

 

1. පාප ක්‍රියාවලින් දායකයන් වළක්වා ගැනීම

2. යහපත් ක්‍රියාවල යෙදවීම

3. යහපත් සිතින් ආශිර්වාද කිරීම

4. නො ඇසූ දහම් කරුණු ඇසීමට සැලැස්වීම

5. ඇසූ දහම් කරුණු මනාව සිතේ ධාරණය කරවීම

6. සුගතිගාමී මඟ කියාදීම

තමන්ට ප්‍රත්‍ය පහසුකම් ලැබුනත් නැතත් ගිහි පින්වතුන් (සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා) සියලු පාප ක්‍රියාවලින් මිදවීමත් කුසලයෙහි යෙදවීමත් භික්ෂුවගේ් ප්‍රධාන කාර්යයකි. ධර්මදේශනා මගින් මෙන් ම ආදර්ශවත් හැසිරීමෙන් ද භික්ෂුව දායක පින්වතුන්ට උපකාර කළ යුතුය. පාපය අඳුරකි. කුසලය ආලෝකය බඳුය. පවිටු අඳුරට ඇදවැටී වැනසෙන ගිහි පින්වතුන් ඉන් වළකා ආලෝකයට යොමු කිරීමට සැරියුත් මහ තෙරුන් මෙන් භික්ෂූන් වහන්සේ කි‍්‍රයාකළ යුතුය. වරෙක තම පැරණි යහළුවකු වූ බමුණෙකු තවමත් යාග කරමින් පවු රැස්කරන බව දැනගත් සැරියුත් මහ තරුණුවෝ, ඔහුට යහමඟ පෙන්වීමට ම උපන් ගමට වඩමවා පර පණ නැසීමේ ආදීනව පෙන්වා, යහළුවා කුසලයෙහි යෙද වූ ආකාරය සැරියුත් සිරිතේ දැක්වේ. පවු සිදුකර අපාගත වුවහොත් ඉන් මිදීම කල්ප ගණනකිනුත් සිදු නොවන්නකි.

කරන කලට පවු මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

එනිසා පළමුව පාපයන්ගෙන් මිදිය යුතුය. නරක ක්‍රියාවලින් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවේ. යහපතෙහි නිවැරැදි වැඩදායක ක්‍රියාවන්හි නිරතවීමත් අවශ්‍යය. එනිසා ගිහි පින්වතුන් පිනට දහමට උනන්දු කරවීම, කාල සිටුපුතුට මෙන් උපායශීලිව හෝ හොඳ දෙයක යෙදවීමට භික්ෂුව ඥානවන්ත විය යුතුය.

භික්ෂුව ධර්ම ඥානයෙන් සන්නද්ධව ගිහි පින්වතුන්ට දහම් දෙසිය යුතුය. ඔවුන්ට නව දහම් කරුණු දෙසිය යුතුය. ඇසූ කරුණු වඩාත් පැහැදිලි කර දිය යුතුය. කාලෙන ධම්ම සවණං කාලෙන ධම්ම සාකච්ඡා - ඒතං මංගලමුත්තමං ධර්ම ශ්‍රවණාදිය දියුණුවන චරිතාංගයකි. අභිවෘද්ධිදායක කරුණකි.

එක් පුද්ගලයකු පාපයට යොමුවීමෙන් තවත් විශාල පිරිසකට විපත් සිදුවිය හැකිය. එමෙන් ම එක් පුද්ගලයකු යහපතෙහි යෙදවීමෙන් විශාල පිරිසක් යහමඟට ගත හැකිය. නිග්‍රෝධ සාමණේරයන්ගේ් සන්සුන් ඉරියවු දැකීමෙන් පහන් සිත් ඇති චණ්ඩාශෝක මහාධිරාජයා ධර්මාශෝකයන් වූ අයුරුත්, ඉන් සැලසුණු ඉමහත් ශාසනික සේවයත් මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත් ය.

නූතන තාක්ෂණ දියුණුව හමුවේ අසරණ වන වල්මත් වන සමාජයට භික්ෂුවගේ අවශ්‍යතාව තදින්ම දැනේ. තරගකාරී ධාවනයක නිරත වන ගිහි පින්වතුන්ට අමා දහමින් සුවයක්, සැනසිල්ලක් උදාකරදීමට භික්ෂුව සමත් විය යුතුය. ලෞකික විෂයයන්ගෙන් ඈත්ව ධර්ම විනය හදාරා ධර්මඥානයෙන් පිරුණු ශ්‍රද්ධා, සීල ගුණයන්ගෙන් උපලක්ෂිත භික්ෂූ ආකල්පයන්ගෙන් පිරුණු භික්ෂූන් වහන්සේලාට නූතන අතෘප්තිකර සමාජයට ඉමහත් මෙහෙයක් කළ හැකිය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.