Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහි කැරෙන වෙසක් සඳ ගෙවී යත්ම, පොසොන් සඳ උදාවෙත්ම,සිරිලක සැදැහැති බොදුදනන්ගේ මනසට නිරන්තයෙන් සිහියට නැගෙනුයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනයයි. එසේ ම පොසොන් ස‍‍ඳේ සඳ කිරනින් විරාජමානව බැබළෙන ඓතිහාසික මිහින්තලා පුදබිමයි.

තථාගත බුදුපියාණන් වහන්සේ පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ ශ්‍රී සද්ධර්මය ලෞකික ලෝකෝත්තර සුබසෙත ගෙන දෙයි. ඒ උතුම් සදහම් රසය ලක්වැසි දනන් වෙත තිළිණ කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පිවිතුරු වූ ඓතිහාසික මිහින්තලා පින්බිම නා නා වර්ණයෙන් බබළන අලංකාර විදුලි බුබුලින් වර්ණවත් වනුයේ අනුබුදු මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට පිදෙන පූජෝපහාර ලෙසිනි.

මිහින්තලා කඳු මුදුනෙන් පැන නැගී ලක්දිව දස දෙසට විහිදී ගලා ගිය සදහම් අමා ගඟ අපේ රටේ ගම් දනව් සිසාරා ඇදී ගියේය. ඒ නිසා ම ඒ සම්බුදු දහමින් ප්‍රභාවත් නොවූ එකදු අංගයක් හෝ ඇතැයි නොකිව හැකිය. වැවයි- දාගැබයි අතීත හෙළ සංස්කෘතිය පෝෂනය කළේය.

කාලයාගේ ඇවෑමෙන් සතුරු උවදුරු හේතුවෙන් ජනාශුන ප්‍රදේශයක් වූයෙන් එදා වන දුර්ග ගිරි දුර්ග ආයසයෙන් තරණය කරමින් රාත්‍රී කාලයේදී හුළු අතු ආලෝකයේ ද බොදු දනන් සැදැහැසිතින් ඓතිහාසික මිහින්තලා පුදබිම වන්දනා කිරීමට අමතක නොකළහ. බුද්ධාලම්භන පී‍්‍රතියෙන් මිහින්තලා පුද බිම වැද පුදා ගනිමින් එම ඓතිහාසක පින්බිමේදී ආමිස ප්‍රතිපත්ති ප්‍රජාවන්හි නිරත වූහ.

ලේක්හවුස් ආයතනය මගින් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරන ලද්දේ මෙයට වසර හතළිස් හයකට පෙරය

. එදා විදුලි ජනක යන්ත්‍ර උපයෝගී කර ගනිමින් එදා ඇරැඹුණු ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව වසරෙන් වසර මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් සිදු කැරෙනුයේ උදාර මෙහෙවරකි.

පත්තර මහ ගෙදරින් සිදු කැරෙන දැයේ නැණ පහන් දැල්වීමට අමතරව සිදු කැරෙන එම අසිරිමත් ආලෝක පූජාවේ ඵලදායකත්වය හා අර්ථවත් බවද වර්ධනය වීමත් සමඟ ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවට දායකත්වය දීමට තවත් ආයතන ඉදිරිපත් විය.

ඒ අනුව මිහින්තලා ආලෝක භාරය බිහිවිය. මිහින්තලා රාජමහා විහාරාධිපති නා හිමියන්, ලංකා විදුලි බල මණ්ඩලය, ලේක්හවුස් ආයතනය සමග ඒකරාශිව ක්‍රමවත්ව ආලෝක පූජාව සිදු කිරීමට දරන වෙහෙස අපමණය.

මිහින්තලා ආලෝක භාරය මිහින්තලා අලෝක පූජාවට අමතරව තව තවත් පුණ්‍ය කටයුතුවලද නිරත විය. 1989 සිට උතුරු මැද පළාතේ පාසල් හා දහම් පාසල් දරුවන් 125 දෙනකුගේ සහභාගිත්වයෙන් පොසොන් පෝදා මිහින්තලා පුද බිමේදී සීල සමාදාන පින්කමක් ද ආරම්භ කෙරිණි. එම දරුවන් උදෙසා සිල් රෙදිමෙන්ම දානමානාදිය පිරිනැමීමද වාර්ෂිකව සිදු කැරේ. මෙවර සීල සමාදානයට සහභාගිවන දරුවන් පන්සියය දක්වා වර්ධනය කර ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරු මැද පළාතේ පාසල් හා දීප ව්‍යාප්ත රචනා තරගයක් ද බුදුසරණ පුවත්පත මගින් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් මෙහෙයවනු ලැබේ. මෙවර එම රචනා හා කථික තරගයේ සම්මාන පිරිනැමිම සඳහා ලේක්හවුස් බෞද්ධ සංගමය අනුග්‍රහය දක්වයි. උතුරු මැද පළාතේ පාසල් දරුවන්ගේ් අධ්‍යාපන තත්ත්වය වර්ධනය කිරීම සඳහා මිහින්තලා ආලෝක භාරය 1990 සිට මෙහෙවර රැසක් සිදු කර ඇත. කම්මලක්කුලම ගමට විදුලිය ලබාදීම, කම්මලක්කුම විදුහලට විද්‍යාගාරයක් ලබාදීම, මිහින්තලා මහ විදුහල් භූමියේ බුදුසරණ දහම් පුස්තකාලය පිහිටුවීම ආදිය ඉන් සමහරකි සිදුකළහ.

1992 මිහින්තලා රෝහලට මාතෘ නිවාසයක්ද, 1993 දී මිහින්තලා කනිටු විදුහලට දන්ත චිකිත්සාගාරයක්ද 1994 දී කුරුන්දන්කුලම විදුහලේ වඩු කාර්මික වෘත්තීය පුහුණු වැඩමුළුව ඇරැඹීමද මිහින්තලා ආලෝක භාරයේ සේවාවන් අතර වේ.

වාර්ෂිකව සිදු කැරෙන මිහින්තලා ආලෝක පූජාව පොසොන් පොහොය නිමිත්තෙන් මෙවරද තෙදිනක් පුරා පැවැත්වේ. එම මිහින්තලා පුදබිම වෙසෙසිත්ම පොසොන් සමයේ වැඳපුදා ගැනීම බොදුනුවා සතු යුතුකමකි.

ජුනි 17 වන දායින් ඇරැඹෙන මිහින්තලා ආලෝක පූජාව පොසොන් පුර පසළොස්වක පෝදා සහ ඊට පසුදාද පැවැත්වේ.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 46 වැනි වරටත් මිහින්තලා ආලෝක පූජා උළෙල මෙම 17, 18, 19 දිනවල මිහින්තලා පුදබිමේදී අත්‍යාලංකාරයෙන් සිදු කැරේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන සංඝනායක නාමල්වැවේ රතනසාර නාහිමියන්ගේ සහ විහාරාධිකාරී වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත්වේ.

46 වැනි වරටත් පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් පැවැත්වේ.

අබාන්ස් ආයතනය ඊට බැතිබර අනුග්‍රහය දක්වයි. 17 වනදා පස්වරුවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මිහින්තලා ආලෝක පූජාව විවෘත කැරේ. මිහිඳු පෙරහරද පැවැත්වේ.

පොසොන් පෝදා (18) පෙරවරුවේ සීල සමාදානය සිදුකැරෙන අතර පෙරුවරු ධර්ම දේශනාව මහාචාර්ය වෑගම පියරතන හිමියන් විසින් පවත්වනු ලැබේ.

පෝදා පස්වරුවේ සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් මිහින්තලා ආලෝක පූජාව විවෘත කැරෙන අතර සමස්ත ලංකා රචනා තරගයේ සහ උතුරමැද පළාත් පාසල් හා දහම් පාසල් සිසුන් අතර පැවැති කථික තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානයද සිදු කරේ.

ආලෝක පූජාව සම්භාවනීය අමුත්තන් අතින් විවෘත කැරේ.

එම උත්සව අවස්ථාවන් සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා, ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්වරුද ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරී මහත්වරු සහ අබාන්ස් ආයතනයේ නිලධාරී මහත්වරුද සහභාගි වීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.