Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහින්දාගමනය

සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනු කම්පාය
ජම්බු දීපා ඉධා ගතා

මහරජ අප ධර්ම ස්වාමි වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වම්හ. තොපට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු. අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ විසින් මේ කාරුණික වූ වදන් ප්‍රකාශ කළේ අද වැනි පොසොන් පොහොය දිනකදී ය.

බුද්ධ පරිනාර්වාණයට පසු ව වසර 236 ක් ඉකුත් විය. පාටලී පුත්‍ර නගරයේ දී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ් ප්‍රධානත්වයෙන් තුන්වන ධර්ම සංඝායනාව සිදු විය. එය බුදු සසුනේ චිර ජීවනයට මහා පිටුවහලක් වුණි. ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්ම දූතයන් පිටත්කර යවන ලදී. ඒ සමයෙහි ලක්දිව රාජ්‍ය කටයුතු දේවානම්පියතිස්ස නිරිඳුන් විසින් හෙබවීය. මිහිඳු හිමියන් ප්‍රධාන ව ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල යන තෙරුන් වහන්සේලා මිහින්තලාව වෙත වැඩම කළහ. එසේම දේවානම්පියතිස්ස නිරිඳුන් හා මිහිඳු මිහියන් අතර ප්‍රථම හමුව මිස්සක පව්වේ දී සිදුවිය. එම අඹ තලයේදී පැවති කෙටි සංවාදයෙන් පසුව රජතුමාගේ තීක්ෂණ බුද්ධිය වටහාගත් මිහිඳු මිහියෝ එතුමාට ධර්ම දේශනා කළහ. රජතෙම උතුම් තිසරණ සරණ පිහිටියේ ය. එය ලක්දිව බුදු සසුනේ ආරම්භක අවස්ථාව ය. පසු ව රජතුමා ඇතුළු පිරිසට මිහිඳු හිමියන් චුල්ලහත්ථ පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළ සේක. බොදු පිළිවෙත යම් මේ ආකාරයක් වේ ද එය සැකවින් එම සූත්‍රයෙන් සඳහන් වේ. එසේ ම ශ්‍රද්ධාව, ශීලය වැනි උසස් ගුණ නුවණ වඩන චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් ද මතුවිය. ලක්දිව පළමුවන දහම් හඬ නැඟූ අනුරාධපුර, මිහින්තලය ලක් වැසියන්ට බරණැස ඉසිපතනය මෙන් පූජනීය වන්නට විය. සිංහල ජාතිය වෙත ආගමික පුනරාලෝකය උදාවිය. එසේ ම බෞද්ධ යන උත්තම නාමය අපහට උරුම විය.

එදා සිට දහම් පණිවිඩය ලක්දෙරණ තුළ පැතිරෙන්නට විය. පසුව දා අනුරපුර රජමාලිගයට වැඩම කළ මිහිඳු හිමියන් දන් වැලඳු සේක. ඉක්බිති ව පේතවත්ථු විමාන වත්ථු හා සච්ච සංයුක්තයෙන් දහම් දෙසූ සේක.

මෙදින අති විශාල ජනකායක් පැමිණ සිටිය හ. මෙම මා හැඟි දේශනය ශ්‍රවණය කිරීමේ කුසලය මහා නාග යුවරජුගේ මෙහෙසිය වූ අනුලා දේවියට ද උදා විය. එසේ ම පිරිවර පන්සියයක් කුල කාන්තාවන් සමඟ උතුම් සෝවාන් මගට පත්ව නිවන් අවබෝධ කර ගැනීමට සමත් වූවාහු ය. එම පිරිස ලක් දෙරණෙහි ප්‍රථමයෙන් ම එකවර නිවන් ප්‍රත්‍යක්ෂ කළ බොදු පිරිස ය.

සම්බුදු මාහිමියන්ගේ දකුණු අකු ධාතුව හා පාත්‍රය රැගෙන සුමන සාමණේරයන් වහන්සේ පැමිණියේ ය. පසු ව ඒවා මිහින්තලාවෙහි වැඩ වාසය කළ මිහිඳු මාහිමියන් වෙත බාර දුන්නේ ය. එතැන් පටන් මිස්සක පර්වතය චේතිය පර්වතය නමින් ප්‍රකට වුණි. භාරත දේශය හා ලංකා සමාජය අතර පැවති ආගමික සම්බන්ධතාව ඉතා වැදගත්ය. මිහිඳු මාහිමියන් උපන් ස්ථානය උජ්ජසිහි නුවර ය. එය චේතිය ගිරිය වීම නිසා ද ලක්දිය බුදු සමය ආරම්භක ස්ථානය ඒ නමින් ප්‍රකට වීමට හේතු විය. මහා මේඝ වනෝද්‍යානය මිහිඳු හිමියන් පිළිගත් බව මහමාවංසයේ සඳහන් වේ.

එම ප්‍රවෘත්තිය මිහිඳු මාහිමියන්ගේ සම්ප්‍රාප්තිය සනාථ කරන ප්‍රධාන සාධකයකි. ආගමික සසුන් කටයුතු කෙරෙහි එම උයන මනා පිටුවහලක් විය. එය නගරයට එතරම් දුර හෝ ආසන්න නොවූ ස්ථානය වූ බැවිනි. බුදු සමයේ ප්‍රධාන මධ්‍යස්ථානය අනුරාධපුර නගරයෙහි පැවතිණි. එය මිහිඳු හිමියන් විසින් සැලසුම් කර නිර්මාණ කරන ලද බව තවදුරටත් මහාවංසයෙහි විස්තර වන්නේ ය.

රජුගේ බෑණනුවන් වූ අරිට්ට අමාත්‍යවරයා බුදුදහම අසා සෝවාන් වී උතුම් අරහත් ධජයෙන් ගත සරසා අවිහිංසාවාදී ව පැවැදි බව ලැබ ගත්තේ ය. ඒ සමඟ ම පනහක පිරිසක් එදින ප්‍රවෘජ්‍යාව ලැබුයේ ය. එම සංඝයාගේ විසීම සඳහා කණ්ඨක චේතිය අවට ගල්ලෙන් ශුද්ධ පවිත්‍ර කර දුන්හ. ඉන්පසු ව ආවාස කුටි ලෙස භාවිතයට ගත්හ. ඒවා මිහිඳු මාහිමියන් ප්‍රධාන සංඝයා වහන්සේලා උදෙසා පූජා කරන ලද්දේ ය. එහි පවතින ලෙන් ලිපි මගින් ලක්දිව බුදු සමයේ ආරම්භය ඒ සමය බව තවදුරටත් සනාථ කෙරේ.

බෞද්ධ සංස්කෘතියේ ආරම්භක කාලය ද විය. සිංහල කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රධාන කොටගත් බුදු දහමට අනුකූ®ල ව වටිනා සම්ප්‍රදායක් මතුවිය. එය හෙළ සාහිත්‍යය සම්බන්ධ පුරෝගාමී මෙහෙවරක යෙදුණි. ඒ සමයෙහි අනුලා දේවිය ප්‍රධාන පිරිස වෙත පැවිදි බව ලබා දීමට අවශ්‍යතාවය මතුවුණි. එබැවින් සඟමිත් තෙරණින් වහන්සේ දඹදිවින් ගෙන්වා මෙහෙණි සස්න පිහිටුවීමට කටයුතු සලස්වන ලදී.

ඉනික්බිතිව දස දහස් ගණනින් හෙළ වනිතාවෝ ද බුදු සසුනෙහි පැවිදි ව උතුම් මඟ ඵල නිවන් අවබෝධ කර ගත්හ. භික්ෂූ ශාසනය දිවයින පුරා පැතිරෙන්නට වුණි. ඈත ගම් දනව්වල මෙහෙණි අසපු ගොඩනැගුණි. එම ස්ථානයන්හි සිප් සතට ඉගෙනුම මෙන් ම ජන ජීවිතය යහමගට ගැනීමට මඟ පෙන්විය. බෞද්ධ උරුමයේ මහා කේන්ද්‍රස්ථානය අනුරාධපුරය බවට පත්විය. ථෙරවාදී බුදු සසුනේ පදනම් බල කොටුව මහා විහාරය වුණි. විශේෂයෙන් තම පියා වූ අශෝක මහ රජතුමා විසින් ඉදිකරන ලද අශෝකාරාමයේ ආකෘතිය ඇසුරෙන් ථූපාරාමයට සැලැසුම සකස් විය. එසේ ම මිහිඳු මිහිගේ මෑණියන්ගේ දායකත්වයෙන් ඉදිකරන ලද සාංචි ස්ථූපය ආදී නිර්මාණ අනුව ලංකාවේ විහාර ස්ථූපයන් ගොඩ නැගෙනන්ට විය.

ත්‍රිපිටක ධර්මය ලංකා ජනතාවගේ යහපත උදෙසා සිංහල බසට පෙරළුණි. සාහිත්‍යය සම්ප්‍රදායෙහි ආරම්භයට මනා පිටුවහලක් ද සැලසුණි. එමෙන් ම අශෝක හෝඩිය ඇසුරෙන් ලේඛන සම්ප්‍රදායක් ගොඩනැගුණි. භාරත දේශය හා ලක් දෙරණ අතර සුවිසල් ව සමාජ, සංස්කෘතික හා ආර්ථික සබඳතාවක් පැවතුණි. මේ අයුරින් පෝෂණය වී ගිය රාජ්‍ය පරිපාපලනයෙහි පවා නීතිමය බලයට බෞද්ධ ජනතාව හිමිකම් වූවෝහු ය. දේශපාලන ස්ථාවරය පවත්වා ගැනීමට අවශ්‍ය වූ සාර්ථක මූලධර්මය අනුපමය සහයක් ලැබිණ. රජතුමා අනුරාධපුර සිට දිවයින වටා වෙරළබඩ කලාපය දක්වා තම අණසක ව්‍යාප්ත කොට රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක කළේ ය. එසේ ම රාජ්‍ය පාලකයෙකු තම බලය යෙදවිය යුතු නිසි අන්දම පිළිබඳ දැනුමෙන් ද පරිපූර්ණ විය.

භික්ෂු - භික්ෂූනි, උපාසක - උපාසිකා යනසිව් පිරිසෙන් සිදු වූ ශාසනික පුනර්ජීවනය අති මහත් විය. සමගි සම්පන්න වූ සංඝ පිරිසක් සසුන්ඹර හෙබවී ය. දහම පිළිබඳ බුද්ධිමත් දැනීමක් යුතු පිරිසක් හෙළයට දායාද විය.

එසේ ම මෙහෙණින් වහන්සේලා ද ගම් දනව් සැරි දරමින් දහම් දෙසමින් ජනතාවට ඉමහත් සේවාවක් ඉටු කළහ. පසුකාලීන ව අනුරාධපුර දේශපාලන ව්‍යුහය බිඳ වැටීමට හේතු වූයේ චෝළ ආක්‍රමණය යි. එය බාහිර වශවෙන් අප රටට එල්ල වූ අහිතකර වූ බලපෑමකි. පොළොන්නරුව රාජ්‍ය පාලන සමයේ එහි රාජ්‍ය කටයුතු නිශ්ශංකමල්ල රජතුමා විසින් සිදු කෙරුණි.

ඒ සමයෙහි ලංකාව බුදු සමයෙන් පෝෂණය වී පැවතුන නමුත් චෝළ පාණ්ඩ්‍ය , කේරළ ආදී අබෞද්ධ පිරිස් විසින් රාජ්‍ය පාලනය සඳහා අවහිර බාධක මතු කළෝ ය. විහාරමහා දේවිය, සෝමා දේවිය වැනි වීර කාන්තාවන් හෙළ දැයෙහි පහළ විය. සිංහල ජාතිය වෙත පරසතුරු උවදුරු පැමිණි අවස්ථාවල දී පවා අභීත ව රට ජාතිය ආගම බේරාගත් ගැමුණු පුතුන් වැනි වීරෝදාර පුරුෂයන් බිහි විය. නිර්මල බුදු සමය හා රාජ්‍යයන් මිථ්‍යා දෘෂ්ටික වූ කිසිවකුට පාලනය සඳහා සුදුසුකමක් නැත්තේ ම ය.

එදා දුටුගැමුණු කුමරුන් තම මෑණියන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළේ ය. අහස් කුස සිප ගත් වෙහෙර විහාර ලක් දෙරණෙහි ගොඩ නැගෙන්නට විය. සෝමා දේවිය වැනි උදාර කාන්තා රත්නයන්ගෙන් හෙබි සමාජයක උරමයක පැවසීමට අපට හැකි විය.

ධම්සෝ නිරිඳු පුත් ලෙස ජනිතව මොග්ගලීපුත්ත තිස්ස මහ රහතුන් වෙතින් පැවිදි උපදම්පදා ලැබූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමන සිහිකරන මෙවන් පොසොන් පොහොය දිනය සිංහල ජාතියේ ජාතික උත්සව දිනය ම වන්නේ ය. දෙතිස් වියෙහි දී ලංකාවට වැඩම වා වදාළ මිහිඳු හිමියන් පුරා අසූ වසක් ආයු ලැබූ සේක. දේවානම්පියතිස්ස රජුගෙන් පසුව උපතිස්ස රාජ්‍ය සමයේදී මිහිඳු හිමියන් අපවත් වූ සේක. රාජකීය ගෞරව සහිත ව අනරාධපුර ශුද්ධ නගරයේ දී ආදාහන කටයුතු සිදු කෙරිණි. ඉක්බිති ධාතු නිදන් කොට ස්ථාන කිහිපයක ස්ථූප ගොඩ නැගිණ.

දෙවෙනි බුදු හිමියන් ලෙසින් මිහිඳු මා හිමියන් වැඩම වීම මගින් මෙරට කලා ශිල්පයන්හි පුනර්ජීවනයක් ද සිදු විය. එසේ ම එම සමාජ පැවැත්ම ආරක්ෂා කිරීම උදෙසා බෞද්ධ දේශපාලනික සම්ප්‍රදාය රටට දායාදය කර හඳුන්වා දුන් බව පැහැදිලි ය. රටක් සංවර්ධනය කිරීමේදී බලය ඒකරාශී කොට තබා පැවතීම එක් සේසත් දේශපාලන සම්ප්‍රදායක් විය. එය බුදු දහමට අනුකූල ව පැවතීම අප රට ධර්ම දීපයක් ලෙසින් පැවතීමට හේතු වන්නේ ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.