Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘උඩට’ – ‘පහළට’ යන සිව් දෙනා

මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති ආලෝකය හදෙහි දල්වන්නට බෞද්ධයෝ උත්සුක වෙති. භෞතික දියුණුවේත් ආධ්‍යාත්මික දියුණුවේත් නැණ පහන් දැල්විය හැක්කේ මෝහය නමැති ගණ අඳුර නිවා ප්‍රඥාව නමැති පහන දැල්වීමෙනි. ප්‍රඥාලෝකය නිවා මෝහාන්ධකාරය ජයගත හොත් භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත් වේ. ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සඳහා ප්‍රඥාලෝකය වැඩිය යුතු ය.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් “තමෝ තම පරායන” සූත්‍රයේ දී “තම” යන පාලි වචනයෙන් අඳුර (පිරිහීම) යන අර්ථ මතු කළ අතර ‘ජෝති’ යන පාලි වචනයෙන් (ආලෝකය) දියුණුව යන අර්ථ මතු කරමින් සමාජයෙහි සිටින පුද්ගලයන් හතර දෙනෙකු පිළිබඳව භික්‍ෂූන් වහන්සේට මෙසේ දේශනා කළහ.

“මහණෙනි මේ ලෝකයෙහි පුද්ගලයෝ සතර දෙනෙක් සිටිති. ඒ සතර දෙනා කවරහුද?”

1. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා (තමො තම පරායනො)

2. අඳුරෙන් ආලෝකයට එන පුද්ගලයා (තමො ජොති පරායනො)

3. ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා (ජොති තම පරායනො)

4. ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා (ජොති ජොති පරායනො) වශයෙනි. (තමො තම පරායන සූත්‍රය)

සමාජයෙහි විවිධ පුද්ගලයෝ සිටිති. එසේම විවිධ සමාජ මට්ටම් සහ බෙදීම්ද පවතී. ආර්ථික වශයෙන් ද ශාරීරික වශයෙන් විවිධතා පවතී. උගත් නූගත් වශයෙන් ද, කුල වශයෙන්ද විවිධ බෙදීම් පවතී.මෙම විවිධ බෙදීම් හා ගැටීම් හමුවෙහි ඇතැම්හු දුෂ්කරතා පරාජය කරන්නට උත්සුක වෙති.එහෙත් සමහරු දුකෙහිම ඇලී ගැලී එය තමාගේ අවාසනාව වශයෙන් ද ලැබීම වශයෙන්ද කර්මය වශයෙන්ද සලකා කුසීතව දුකෙහිම සිටිති.

මේ අතර ඇතැමෙක් උපතින්ම ආර්ථික දුෂ්කරතා වන්ගෙන් පෙළෙති. ශාරීරික දුබලතාවන්ගෙන් ද පිරී පවතී. මෙකී සියලු දුෂ්කරතා මධ්‍යයෙහි ඉන් මිදීමට කිසිදු උපායක් නොයොදන පුද්ගලයා ‘අඳුරෙන් අඳුරට යන පුද්ගලයා’ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේම ඔහු හඳුනා ගැනීමට ඔහු තුළ තිබෙන ලක්‍ෂණ තුනක් ද උන්වහන්සේ මෙසේ පැහැදිලි කළහ.

1. ඔහු කයින් දුෂ්චරිතයෙහි යෙදේ. (කායෙන දුච්චරිතං චරති)

2.ඔහු වචනයෙන් දුෂ්චරිතයෙ යෙදේ (වාචාය දුච්චරිතං චරති)

3. ඔහු සිතින් දුෂ්චරිතයෙහි යෙදේ (මනසාය දුච්චරිතං චරති)

එනම් පරපණ නැසීම, සොරකම් කිරීම, වැරැදි කම්සැප සෙවීම යන කායික අකුසලයෙන්ද, බොරු කීම, කේලාම් කීම්, හිස් වචන කීම හා පරුෂ වචන කීම යන වාචසික අකුසලයෙන්ද දැඩි ලෝභකම, දැඩි තරහ සහ මිථ්‍යදෘෂ්ටිය යන මානසික අකුසලයෙන් ද යන දස අකුසල් වලින් ම මෙම පුද්ගලයා පිරී පවතී. ඔහුගේ තිදොර අපිරිසුදු ය. මොහු තුළ අධ්‍යාත්ම පාරිශුද්ධත්වයක් නොමැත. දස අකුසලයෙන් මිදී ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ලබන්නට උත්සහ නොකරන්නා අඳුරෙන් අඳුරටම යන්නෙකි.

ගොවිතැන්, රැකී රක්‍ෂා, වෙළහෙළඳාම්, ආදී කිසිදු දැහැමි වෘත්තියක නොයෙදී තමාට ද සමාජයට ද බරක් වී කටයුතු කරන මෙම පුද්ගලයා අඳුරෙන් අඳුරට ගමන් කර මෙලොවත් පරලොවත් පිරිහීමට පත්වේ.

මෙවැනි පිරිස් එදා භාරතීය සමාජයට පමණක් සීමා නොවූ අතර වර්තමානයෙහි ද ජීවත් වෙති. අනාගතයෙහි ද එසේ විය නොහැකි යැයි කිව හැකි ද?

මේ අනුව ගුණ ධර්ම දියුණුවක් ද ආර්ථික දියුණුවක් ද සලසා ගන්නට උත්සහ නොකරන පුද්ගලයා අඳුරෙන් අඳුරටම යන පුද්ගලයා වශයෙන් සඳහන් කළ යුතු ය.

“අඳුරෙන් ආලෝකයට එන පුද්ගලයා” දෙවන පුද්ගලයා වශයෙන් තමො තම පරායන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මුලින් සඳහන් කළ පුද්ගලයාට තිබෙන ආර්ථික සාමාජික ගැටලු මෙම පුද්ගලයාටද තිබුණද මොහු එම සියලු ගැටලු අභියෝගයක් ලෙස ගනී.

අඳුරෙන් ආලෝකයට එන පුද්ගලයා , වීර්යයෙන් දුක පරාජය කරයි. (විරියෙන දුක්ඛං අචේචති)

“ අඳුරෙන් ආලෝකයට එන පුද්ගලයා “ හඳුනා ගැනීමට ඔහු තුළ ඇති ලක්‍ෂණ තුනක් මෙසේ දේශනා කළහ.එනම්

1.ඔහු කායික සුචරිතයෙන් යුක්තය (සො කායෙන සුචරිතං චරති)

2. ඔහු වාචසික සුචරිතයෙන් යුක්තය (සො වාචාය සුචරිතං චරති)

3. ඔහු මානසික සුචරිතයෙන් යුක්තය (සො මනකය සුචරිතං චරති)

පරපණ නැසීම් ආදී දස අකුසලයෙන් මිදී දස කුසල ධර්මයන් හි නිරත වන පුද්ගලයා අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නෙකි. අකුසලයෙන් මිදීමේ උත්සාහය සහ අධිෂ්ඨානය ඔහු තුළ පවතී. දස කුසලන්හි නිරත පුද්ගලයා ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් ආලෝකය කරා පැමිණි අයෙකි.

එමෙන්ම ආර්ථික වශයෙන්ද අඳුරේ සිිටින පුද්ගලයාට එයින් ආලෝකය කරා ගමන් කිරීමට උත්සාහය සහ අධිෂ්ඨානය තිබිය යුතුය. වර්තමාන සමාජයෙහිද දුප්පත්කම නමැති අඳුර දුරු කර පොහොසත්කම නමැති ආලෝකයට ගමන් කරන්නෝ සිටිති. කොතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් හොඳ අධ්‍යාපනයක් ලැබ රැකි රක්ෂා කොට, තමාද, තම මවුපියන්ද පවුලේ අනෙක් සාමාජිකයන්ද අඳුරෙන් ආලෝකය කරා ගෙන එන අවස්ථා දැකිය හැකිය.

අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නට නම් පාප අධම මිතුරන් ඇසුරුනොකොට සත්පුරුෂ කල්‍යාණ මිතුරන් ඇසුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (පණ්ඩිත වග්ග 03 ධම්ම පදය) සත් පුරුෂ ගුරු මවුපියන්ගේද පණ්ඩිතයන්ගේද අවවාද අනුශාසනා නිධාන සේ ඉතා කැමැත්තෙන් පිළිගෙන ජීවිතය නිවැරදි මඟට යොමු කර ගත යුතුය. (පණ්ඩිත වග්ග 01 ධම්මපදය)

තම උත්සාහයන් නිවැරදි මඟ පෙන්වීමක් තුළ කටයුතු කර අඳුරෙන් ආලෝකය කරාගමන් කරන්නට උනන්දු විය යුතුය. මොවුහු අගැයිය යුතු අය වෙති. “අලෝකයෙන් අඳුරට යන පුද්ගලයා” තෙවැනි පුද්ගලයා වශයෙන් මෙම සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කළහ. ආලෝකයෙන් අඳුරට යෑම ආධ්‍යාත්මික වශයෙන්ද ආර්ථික වශයෙන්ද සිදු වෙයි. මෙය තමා සිටි උසස් තත්ත්වයෙන් පහළට වැටීමකි. එය පුද්ගලයාගේ පිරිහීමකි. ලෞකික වශයෙන් ;බාහෝ සැප සම්පත් ලබා සිටියත් එම සම්පත් සියල්ල විනාශ කර ගෙන විපතට පත්වන පිරිස්, වර්තමාන සමාජයෙහි කොතරම් සිටිත්ද?

ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා හඳුනා ගැනීමට කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ තමෝ තම පරායන සූත්‍රයේදී දේශනා කළහ. එනම් මුලින් කය, වචනය සහ සිත සුචරිතයේ යොදවමින් කටයුතු කළත් පසුව එම ගුණ ධර්ම අමතක කොට තිදොරින් දුශ්චරිතයේ යෙදේ නම්, ඔහු ආලෝකයෙන් අඳුරට ගමන් කරන්නෙකි. ඔහුගේ අධ්‍යාත්මික ශක්තිය පිරිහෙයි. ඔහුගේ ලෝකෝත්තර මාර්ගය අවහිර වෙයි.

ආලෝකයෙන් අඳුරට යන පිරිස් වර්තමාන සමාජයෙහි ද නිරතුරුව දැකිය හැකිය. පෙර පිනකින් උතුම් මිනිසත් බව ලබාගත්තද ගුණ ධර්ම ලොව පැවතියද එයින් ප්‍රයෝජන ගන්නට උත්සුක නොවෙති. මොවුහු බබළන සඳ වළාකුළුවලින් වැසී ගිය විට ආලෝකයක් නොමැති වනවා සේ මෝහය නමැති අන්ධකාරයෙන් වැසී යති.

මවුපියන් ගුණධර්ම ඉගෙන ගෙන දැහැමින් ධනය උපයා ජීවත් වුවත් තම දූ දරුවන්ට නිසි මඟ පෙන්වීමක් නොකර ගුණ නැණ දෙකින් යුත් අධ්‍යාපනයක් ලබා නොදී ධනය පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවෙයි. එවිට දරුවෝ මවුපියන් ගෙන් ලත් ධනය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොදනී. සැවැත් නුවර මහ ධන සිටාණන්ගේ පුතාට අසූ කෙළක් ධනය තිබුණත් අවසානයේ සිඟා කන්නට සිදු වුයේ හොඳ අධ්‍යාපනයක් නොමැති බැවිනි. මුලින් ධනයෙන් ආලෝකයේ සිට මහ ධන සිටුපුත් අඳුරට ගමන් කරන්නේ ගුණ නැණ නොමැති වූ නිසාය.

තරුණකම (යෞවනං ) ධනවත්කම (ධනං) ප්‍රභූබව (ප්‍රභූත්වං) ඉඩ ප්‍රස්ථාව (විවේකය) යන මෙම අවස්ථා හතර වැරැදි ලෙස යෙදවුවහොත් එකකින් පමණක් වුවත් විපත් ගෙන දිය හැකිය. මෙම හතරම යමෙකුට ලැබුණොත් එය වැරැදි ලෙස යෙදවුවොත් ඔහු ඒකාන්තයෙන්ම විනාශයට පත් වන්නේය. මෙවැනි බලසම්පන්න අවස්ථා වැරැද්දට යොමු කර ඇතැම් හු ආලෝකයෙන් අඳුරට යති.

සමාජයෙහි බලපෑමද පුද්ගල පරිවර්තනය පිණිස විවිධාකාරයෙන් බලපානු ඇත. ආලෝකයේ සිටි අහිංසක , අංගුලිමාල නමැති අය අඳුරට ගමන් කරන්නේ සත් පුරුෂ ඇසුර නොලැබුණු බැවිනි. ආලෝකයෙන් අඳුරට නොයන්නට ප්‍රඥාවත් ඉවසීමත් වැඩිය යුතුය.

“ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පුද්ගලයා” වඩාත්ම යහපත් ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදි දේශනා කළහ. ඔහුට උපතින් සියලු සම්පත් ලබන අතර, එම සම්පත් ආරක්‍ෂා කර ගෙන යහපත් ජීවිතයක් ගත කරයි. ආර්ථික ශක්තියෙන්ද ආලෝකයේ සිටින ඔහු තව තවත් එහි දියුණුව සලසා ගෙන තව තවත් ආලෝකවත් වේ. මෙවැනි පිරිස් තුළ පෙර පින ද පවතී . (පුබේබෙබ්ච කත පුඤ්ඤතා මංගල සූත්‍රය)

‘තමෝ තම පරායන ‘ සූත්‍රයේ සඳහන් පරිදි ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පුද්ගලයා “ කායික වාචසික හා මානසික සුචරිතයේ යෙදි කටයුතු කරයි. ගුණ ධර්ම නිරතුරුව වර්ධනය කරයි. දුසිරිතයට තිදොර යොමු නොකරයි.

මොවුන්ගේ සියලු සමාජ සම්බන්ධතා ඉතා පිරිසුදුය . ඔවුහු නකුලමාතා නකුල පිතා වැනි පී‍්‍රතිමත් යුග ජීවිත ගත කරති. මවුපිය දූ දරු සබඳතාද දැහැමින් පවත්වති. ශ්‍රද්ධා, ශීල , චාග, ප්‍රඥා ධනය සේ සුරකින ආර්ථික ශක්තියෙනුත් ආධ්‍යාත්මිත ශක්තියෙනුත් හෙබි මොවුහු මෙලොවත් සතුටින් ගත කරන අතර පරලොවත් සතුටින් ගත කරති. (කත පුඤෙඤා උභයත්ත නන්දති - ධම්මපදය )

මේ අනුව මෙහි සඳහන් පුද්ගලයන් හතර දෙනා අතර පළමු සහ තෙවන පුද්ගලයන් පරිහානියට හෙවත් අඳුරට යන්නන් වන බැවින් එම තත්ත්වයෙන් මිදිය යුතුය. දෙවන සහ සිව්වන පුද්ගලයන් දියුණුවට හෙවත් ආලෝකයට ගමන් කරන පුද්ගලයන් බැවින් එම තත්ත්වය වර්ධනය කර ගැනිමට උනන්දු විය යුතුය. ඔබද මේ පුද්ගලයන් හතර දෙනා අතර කොතැනක සිටින්නේ දැයි තේරුම් ගෙන, වඩාත්ම උතුම් පුද්ගලයා වන ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා බවට පත්වන්නට අදිටන් කර ගනු මැනවි.

තෙරුවන් සරණයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.