Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රම්බඩගල්ල මොනරාගල විහාරයේ ඉදි වනශෛලමය බුද්ධ ප්‍රතිමාව

කුරුණෑගල රිදීගම රම්බඩගල්ල මොනරාගල විහාරයේ දී මෙරට විශාලතම ශෛලමය සම්බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදිවෙමින් පවතී.

ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේට සිදු වූ හානිය වෙනුවෙන් මෙරට තුළ මෙවැනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කළ යුතු යැයි මොනරාගල විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි හිමියන්ට සිත් විය. එම උදාර සිතිවිල්ල යථාර්ථයක් බවට අද පත්වෙමින් ඇත.

උස අඩි 67.5 කින් යුත් මෙරට විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ශ්‍රී සද්ධර්මයෙන් බලගැන්වීම සඳහා 2007 වෙසක් පෝදා සිට දින 365 ක අඛණ්ඩ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි.

ඒ සඳහා බැතිබර අනුග්‍රහය තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලබා දී තිබිණි.

සෙල්පිළිම කමිටුව ජාතික හා ජාත්‍යන්තර ප්‍රධාන සංවිධායක හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ නිරන්තර අනුග්‍රහය ලැබෙන එම සත්කාර්යය ඉකුත් 31 වැනි දා අඛණ්ඩ පිරිත් දේශනය නිමාවට පත්විය.

රම්බඩගල්ල මොනරාගල විහාරය අසල තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගින් නැණසල ශාඛාවක් ද විවෘත කර එම ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක කර ඇත.

කුරුණෑගල රම්බඩගල්ල මොනරාගල විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි හිමියෝ එම ශෛලමය සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම නිමිත්තෙන් මෙසේ අදහස් පැවැසූහ.

එම ශෛලමය සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට “ඊශ්වරන්” නමැති දමිළ ව්‍යාපාරික මහතාගේ මග පෙන්වීමකට අනුව ඉන්දියාවේ සුප්‍රසිද්ධ ගල්කැටයම් ශිල්පී පද්ම ශ්‍රී ඇම්.ඇම්. ස්තපති මහතා විසින් කටයුතු සිදු කර ගෙන යනවා. ඉන්දියාවෙන් පැමිණි සියලු ගල් කැටයම් ශිල්පීන් ඉතා කැපවීමෙන් මෙම කටයුත්තට උර දී සිටිනවා. ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය වනවා. මෙම සත්කාර්යයට රට පුරා විසිරී සිටින බොහෝ බෞද්ධ හා අනෙකුත් ආගමික අය ආධාර කිරීම ගැන සතුටු වනවා.

බුද්ධ ප්‍රතිමාවහන්සේ නිර්මාණය කිරීමට ඉන්දියානු රජය මගින්ද රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් පිරිනමා තිබෙනවා. තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ මූලික මැදිහත්වීම මත ජනාධිපතිතුමා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 25 ක මුදලක් ලබා දුන්නා.

දින 365 ක පිරිත් දේශනා මාලාවට ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ ධජ පිරිත් කරවීමට ද තාරුණ්‍යයට හෙටක් සංවිධානය කටයුතු කර තිබිණි. එසේ පිරිත් කර වූ ධජ ඉකුත් 31 වනදා එම ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, සිවිල් ආරක්‍ෂක බලකායට එහිදී පිරිනැමිණි.

කුරුණෑගල දඹුල්ල පාරේ, කි.මී. 11 ක් ගොස් රුක් අත්තනපිටිය හන්දියෙන් හැරී, කී.මී. 5ක් රිදීගම හරහා පැමිණෙන විට එම ඓතිහාසික සෙල් පිළිම වහන්සේ නිර්මාණය වන අයුරු දැක ගත හැකි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.