Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සඳහම් දැනුම

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ගොඩ නැගූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය සංඝ සංවිධානයයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක් ම මේ ලක්‍ෂණ මත පදනම් වී ඇති බව විනය පිටකය විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් පැරැණි දඹදිව පැවැති අනෙකුත් ආගමික සංවිධාන වලින් එහි විශේෂයෙන් හඳුනාගත හැකි ලක්‍ෂණ පැහැදිලි කරන්න.

පිළිතුර - සංඝ යනු සාමූහිකත්ව යයි. “ සංඝ” යන පොදු නාමයෙන් හඳුන්වන මෙම භික්ෂු සංඝ සමාජයෙහි සාමාජිකත්වය ලබා ගැනීමට විශේෂිත කිහිප දෙනෙකුට හැර අන් අයට වාරණ කිසිවක් නැත. විවිධ සමාජ කරුණූ සැලකිල්ලට ගෙන විශේෂිත පුද්ගලයන් 39 දෙනෙකුට ඊට ඇතුළත් වීමට අවස්ථාව ලබා දි නොමැත. එය මානව අයිතිවාසිකම් අවතක්සේරු කිරීමක් නොව ඒ අයට ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත විමට කායික හා මානසික වශයෙන් යහපත් තත්ත්වයක් නොමැති වීම නිසා ගත් පොදු තීරණයකි.

බුදුරදුන් ආරම්භ කළ සංඝ ශාසනය විධිමත් සංවිධානයකි .පෞද්ගලික ජීවිතය ශික්ෂණය කරන ප්‍රඥප්ති සමූහයක් (පාතිමොක්ඛය) ද සංඝයා ගේ සාමූහික චර්යාපද්ධතිය සංවිධානය කරන ආශ්‍රමීය සංස්ථා පද්ධතියක් (බන්ධක ) ද දෛනික චර්යා සංස්කරණය කරන ආචාර් ධර්ම මාලාවක් ද යනුවෙන් සංඝ සමාජයේ ව්‍යවස්ථා සංග්‍රහය හෙවත් විනය නීතිය කොටස් 03 කි.

සංඝයාගේ පැවැත්මෙහි දී සෑම ඉරියව්වක්ම විනයානුකූල ව පැවැත්විය යුතු වේ. සාමාජිකයන් බඳවා ගැනීමෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග හා ඔවුන් ගේ සුදුසුකම් ද ඔවුන් ස්ථිර සාමාජිකයන් බවට පත්කර ගැනීමේ දි (උපසම්පදා මහලු පැවිද්ද ) අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ද විනය පිටකයේ දක්වා ඇත.

දිනක් “ ආනන්ද “ හිමියන් භික්ෂූන් වහන්සේ පිරිසක් සමග “සොබ්බ “ නම් ස්ථානයට වඩින විට එහි විසූ “ සන්දක “ පිරිවැජියා සිය අතවැසියන් සමග මහ හඬින් කතා කරමින් අවිචාරශීලි කතාවල යෙදී සිට, ඉදිරියට පැමිණෙන ආනන්ද තෙරුන් වහන්සේ දැක තම පිරිසට මෙසේ පවසයි. “ කෑගහන්න එපා! සිනාසෙන්න එපා! නිශ්ශබ්දව ඉන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ ශ්‍රාවක ශ්‍රමණ ආනන්ද තෙරහු පැමිණෙති. ඒ තෙරවරු නිශ්ශබ්ද බවට ශාන්ත බවට විනීත බවට බෙහෙවින් කැමැති අය වෙති.

සංඝ ශාසනය සංඝයා සඳහා ඇති කර ගැනුණේ සංඝයාගේ ම පාලන ක්‍රමයකි. බුදු දහමෙහි එන සමාජ දර්ශනයට අනුව “ සියලු මනුෂ්‍යයෝ සමානය” (චත්තාරො වණ්ණ සමසමා) යන සංකල්පය පදනම් කර ගෙන සංඝ සමාජය ගොඩ නංවා ඇත. සමාජය (හොඳ හෝ නරක ) ලෙස නිර්මාණය කරන්නේ මිනිසාය.

අහිංසකයකු ලෙස උපත ලැබූ අංගුලිමාල ගුරු ගෙදරින් මිනීමරුවකු කළේය. බෞද්ධ භික්ෂුව විසින් මෙබඳු පෙළපොත් හි එන සටහන් අමතක නොකළ යුතුය.

ප්‍රශ්නය - ධර්මයෙන් හා චරණයෙන් සන්නාහ වූ තථාගතයන් වහන්සේට අනුගාමික ශ්‍රාවකයාණන්ගෙන් ලැබුණේ අපමණ සාදර ගෞරවයකි. මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී විසාරද ව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ ශක්තිය උන්වහන්සේට ලැබුණේ යහපත් චර්යාව උත්තරීතර ආත්ම ශක්තිය හේතු කොට ගෙනයි. බුදු සිරිතේ අවස්ථා පදනම් කරගෙන විමසීමක් කරන්න .

පිළිතුර - කොසොල් මහරජතුමා , භාග්‍යවතුන් වහන්සේට පරම හිතවාදී පුද්ගලයෙකි. එතුමා ගේ දෛනික චර්යාවෙහි එක් අංගයක් වන්නේ භාග්‍යවතුන් වහන්සේ දැකීම , ඇසුරු කිරීම හා සාකච්ඡා කිරීමයි.

රාජකාරි කටයුතු බහුල වීම නිසා දින කිහිපයක් බුදු රදුන් මුණගැසීමට නොලැබ, රාජ්‍ය සේවය නිමා වී මාලිගයට පැමිණි විගසින් මධ්‍යහ්නයෙහි ම විහාරයට ගියේය.

ඇතුළු ගඳකිලියෙහි වැඩහුන් බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටි දෙපතුළ සිඹ දෑතින් පිරිමදිමින් ඔහු මෙසේ කියයි.

“ ස්වාමීනි ! මම කොසොල් රජු වෙමි” තමන් පැමිණි බව දැන්වීය. මහරජ ඔබ කුමක් නිසා මෙවැනි පරම ගෞරවයක් මෛත්‍රී උපහාරයක් කරන්නේ දැයි විමසූ භාග්‍යවතුන් වහන්සේට රජතුමා මෙසේ පිළිතුරු දෙයි.

ස්වාමීනි! මම කෘතඥතාව කෘතවේදි බව වටහාගෙන මෙසේ කරමි. භාග්‍යවතුන් වහන්සේ කල්‍යාණ ධර්මතාවයෙන් බහුජනතාවගේ හිත සුව පිණිස ක්‍රියා කරන සේක. ඔබ වහන්සේ ආර්ය සීල සම්පන්න වන සේක. ලද පමණින් සිවුපසයෙන් සතුටු වන සේක. ලොව පින් කෙත වන සේක. අර්හත් වන සේක. එබැවින් මෙවැනි උපහාර දක්වමි. (අ. නි. දනියකොසල සූත්‍ර)

බුදුරදුන් වෙත ජනතාව ඇදී ඒමට හේතු වූ කරුණූ මෙබඳුය. ඒවා වටහා ගත් සමාජයේ ඉහළ පහළ සෑම තලයකටම අයත් ජනතාව මහත් ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ වෙත දැක්වූහ .

ප්‍රශ්නය - රාහුල සාමණේරයන් වහන්සේ පැවිදි වී නොබෝ දිනකින්ම දේශනා කළ සූත්‍ර ධර්මයෙකි “ අම්බලට්ඨික රාහුලෝවාද “ සූත්‍රය .මෙහි අන්තර්ගත බුද්ධ දේශනාව පැහැදිලි කරන්න .

පිළිතුර - දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල සාමණේරයන් බැහැදකින්නට වැඩියහ. උන්වහන්සේ වඩිනවා දුරදීම දුටු රාහුල සාමණේරයන් වහන්සේ පා සේදීමට දිය සූදානම් කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි වනසේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ, ‘රාහුල බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පේනවා නේදැ” යි විමසූහ .

රාහුල හිමියෝ ද ‘එහෙමයි ස්වාමීනි” පිළිතුරු දුන්හ. “ රාහුල හිතා මතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදිය යැයි වදාළහ. අනතුරුව ඒ ඉතිරි ජලය ටික ඉවත දැමු බුදුරජාණන් වහන්සේ “ රාහුල හිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඔය ලෙස ඇසුරෙන් ඉවත ලන ලද්දැකැයි වදාළහ .

“හිස් බඳුන උඩු අතට තැබු බුදුරජාණන් වහන්සේ සිතා මතා බොරු කීමට ලජ්ජාවක් නැති අයගේ ජීවිතය ද හිස්ය. නිසරුය. සිතා මතා බොරු කියන්නට ලජ්ජා නොවන කෙනෙකුට කරන්නට බැරි පාප කර්මයක් නැතැයි මම කියමි. රාහුල, “මම විහිළුවට වත් බොරුවක් නොකියමි’ යි සිතා හික්මීම අවශ්‍ය යැයි වදාළහ.

ළමා වියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි රසවත් නිදසුනක් මගින් සත්‍යවාදිත්වයේ අගය බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

ප්‍රශ්නය - අනුන් ගේ දුක දැක එය බැහැර කරනු රිසිව සාධුන් ගේ සිත්හි ඇතිවන කම්පනය දෙවන බ්‍රහ්ම විහාරය ලෙස හඳුන්වා ඇත. දහමට අනුව හිතානුකම්පී දයානුකම්පී යන වචන ඊට සමාන්තර ව යෙදෙන බව පෙන්වා දී ඇත.විමසීමක් කරන්න .

පිළිතුර - මෛත්‍රියට සව් සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා) අරමුණු වන අතර, දුකට පත් සත්වයා (දුක්ඛපත්තාච නිද්දුක්ඛා) එයින් මුදවාලීම කරුණාවේ ඒකාන්ත අරමුණ වේ.

සම්මා සංකල්පයට ඇතුළත් අව්‍යපාද අවිහිංසා සංකල්ප තුළ කරුණාව දයාව අනුකම්පාව ගැබ්වෙයි. මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහි ද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෙත් සිතිවිලි ඇති කළ යුත්තේ මවක එකම පුතු රකින ලෙසයි.

මෙයින් බුදුසමය අපේක්‍ෂා කර ඇත්තේ කිසිම ලාභයක් සඳහා තවත් අයකු හා හිත මිතුරු ආකල්පයක් ඇති නොකළ යුතු බවයි. පේ‍්‍රමය මෛත්‍රිය නොවේ. (පෙමතො ජායතී භයං ) පේ‍්‍රමයෙන් ශෝකයත්, බියත් ජනිත කරයි. බුදුදහම එය අනුමත නොකරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.