Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

නිවනට යන මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යොගා චෙ ඡායතී භූරී – අයොගා භූරි සංඛයො

එවං දේවධාපථං ඤත්වා - භවාය විභවායච

නථතතානං නිවෙසෙය්‍ය - යථා භූරී පවඩඪතී

තම සිත යම් භාවනාවක යෙදවීමෙන් ලෞකික ලෝකෝත්තර නුවණ වැඩෙන්නේ ය. භාවනාවක නොයෙදීමෙන් තිබෙන නුවණ පවා වැනසී යන්නේ ය. යහපතට හා අයහපතට යොමුවන මෙම මාර්ග දෙක දැනගෙන තම සිත යහපතට යෙදවීම නිසා ලබා තිබෙන මෙම මිනිස් ජීවිතය තුළින් නිවන් සැපතට පත්වීමට හැකි වන්නේ ය. තථාගත බුදුපියාණන් වහන්සේ පෝඨල තෙරුන්ට දෙසූ දහමයි. ඒ මෙම ධර්ම මාර්ගය ඉතාමත් ගැඹුරු ය. තේරුම් ගැනීම අසීරු ය. ඒ බව තථාගතයන් වහන්සේම ‘දුද්දසා, දුරනු බෝධා, අතක්කාවචරා” ආදී වශයෙන් සූත්‍ර පිටකයේ බ්‍රහ්ම ජාල සූත්‍රයේදීම වදාළ සේක. එසේ වූවත් ධර්මය දැකීම, අවබෝධකර ගැනීම ඉතාම පහසු වන්නේ මිනිස් වර්ගයාට බව අප තේරුම් ගැනීම ඉතා වැදගත් ය.

මානසික පීඩාවේ අන්තයටම වැටී සිටි පටාචාරාවට ද අහිංසක නම් තරුණයාට ද අසරණ භාවයේ පතුලේම සිටි සෝපාකටද හැකි වූයේ ඒ අයගේ පාරමී ගුණ වැඩී තිබූ හෙයින් යයි අපට ඇඟ බේරා ගැනීම පහසු ය. එසේ උනත් ත්‍රිහේතුක පුද්ගලයින්ද ත්‍රීහේතුක උත්කෘෂ්ඨ පුද්ගලයින් ද අප අතර අපමණ සිටිති. එමෙන්ම අෂ්ඨ දුෂ්ඨ ක්‍ෂණයෙන්ද මිදී මිනිස් ආත්මයට පත් වූ පිරිස අප අතර අපමණ ය. එවැනි අය තථාගතයන් වහන්සේ තෝරා දුන් ලෙස අනුපූර්ව ප්‍රතිපදාවේ යෙදීම හේතුවෙන් නොහොත් යෝනිසෝමනසිකාරයේ යෙදීමෙන් මඟඵල උපදවා ගැනීමට, මේ ආත්මයේ දීම නිවන් සැප විඳීමට නොහැකි යයි තීරණය කිරීමට බැරි ය. වෙනත් විධියකින් කියතොත් මැදුම් පිළිවෙත යයි කියන අරිඅටඟි මග හැසිරීමෙන් මඟඵල උපදවා ගැනීමට පුළුවන.

පන්සිල් අටසිල් හෝ ගහට්ඨ දසසිල් සමාදන්වීමෙන් ගිහි පක්‍ෂයටද ඇවැත් දෙසා ගැනීම හේතුවෙන් පැවිදි පක්‍ෂයට ද සම්මා වාචා, කම්මන්ත, ආජීව යන අංග තුන උපදවාශීලයේ පිහිටිය හැකිය. ඊළඟට ආනාපාන සතිය හෝ සමසතලිස් කර්මස්ථාන වලින් එකක් වඩා සම්මා වායාම, සති, සමාධි අංග තුන උපදවාගත හැකි ය. එලෙස රූපාවචාර ධ්‍යාන හතර උපදවා ගැනීම අරුමයක් වන්නේ නැත. ධ්‍යාන හතරෙන් එකක් හෝ හතරම උපදවා ගත් පසු යෝගියාට ඊළඟට තිබෙන්නේ හමුවන සියලුම අරමුණු අනිත්‍ය දුක්ඛ හෝ අනාත්ම බවට පසක් වන ලෙස වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව හා ධම්මානු පස්සනාව එකවර වැඩීමය. මෙහිදී ධ්‍යාන උපදවා ගැනීම හා තිලක්ඛණ අනුව විදස්සනා වැඩීම ඉතා අසීරු වන්නේ නිවැරැදි ගුරු ඇසුර නැතිවීම නිසා ය. “භාවනා කරන සමහර පින්වත්හු හිස උදුමවා ගන්නෝ ය. සමහරු පිස්සන් වෙන්නෝ ය” මතය අප සමාජයේ නැතිවා නොවේ. ඒ බව ව්‍යවහාරයේ තිබෙන “නොදැන ගියොත් අතරමඟ” යන කියමනෙන්ම ඔප්පු වන්නේ ය. යෝගියා විසින් නිවැරැදිව තේරුම් ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් ඇත. පළමු වැන්න ධ්‍යාන උපදවා ගැනීම ය. දෙවැන්න මඟඵල නිවන සාක්‍ෂාත් කර ගැනීම ය.

සියලු බුදුවරු පසේබුදුවරු හා රහතන් වහන්සේ එම තත්ත්වයට පත් වූයේ ආනාපාන සතිය වැඩීම ඔස්සේම ය. සිදුහත් කුමාරාද ගුරු කුලවලදී නේවසංඥානාසංඥායතනය දක්වා වඩා නිවන ළඟටම පැමිණියාට පසු එතැනින් ඉවත් වූයේ තව ඉදිරියට යෑමක් එම ගුරුවරු වෙත නැති බව ඇසීමෙනි. ඊළඟට කළේ තමා පස්වැනි වයසේ දී වප් මඟුල් දා අහසේ පලක් බැඳගන වැඩූ ආනාපානාසතිය අනුව යෑමෙනි. එසේම මල්ල රජදරුවන්ගේ යමක සාල උයනේ දී ජීවිත හරණය කළේ ද ආනාපාන සතිය වඩා චතුත්ථ ධ්‍යානයට පත්වීමෙනි. එසේම මැදුම් සඟියේ එන ආනාපාන සති සූත්‍රයේදී ද, “සන්තං මෙව පණීතං මෙව” වශයෙන් එයම ශාන්ත ය. එයම ප්‍රණීත යැයි වදාළ සේක. එසේම මහා සතිපට්ඨාන සූත්‍රයේ එන ලෙස නිවන් පත්වීමට කමටහන් විසි එකක් තෝරා දෙමින් මුලටම යෙදුවේ ද ආනාපාන සති පබ්බයමය. එහි ආනාපාන පබ්බය ඉදිරිපත් කිරීමේ දී එහි අවසන ‘යාවදේව ඤාණ මත්ථාය පතිසස්තිමත්ථාය අනිසසිතෝව විහරති’ වශයෙන් ඤාණය මුදුන්පත් වනතුරු, සිහිය පිහිටුවා ගන්නාතුරු ආශ්‍රවයන්ට නොහොත් ඇලෙන දේවන නීවරණයන්ට නොයන ලෙසත් උපදෙස් දුන් සේක.

සමථය වඩා ධ්‍යාන උපදවන යෝගියා මේ උපදෙස් දැඩිව ගත යුතු ය. පන්සිල් හෝ යම් ශීලයක පිහිටා ඊළඟට විනාඩි කිහිපයක් බුද්ධානුස්සති භාවනාව අරහං, අරහං, අරහං, අරහං වශයෙන් වඩා තමාට “බුදුසරණ”, “බුදු පිහිට” ආරක්‍ෂාව, ගුරු පූජාව ගුරු ගෞරවය උපදවා ගත යුතු ය. එය ඉතා සාර්ථක ආරම්භයක් වන්නේ ය. ඉන්පසු තම හිත නහය ඉදිරියේ රියනක් පමණ දුර තබාගෙන නාස් ගුල් දෙකෙන් ඇතුළුවන ඉතා සියුම් හුළං රැල්ල පියවූ ඇසින් යුතු ව මනසින් දැකීමට උනන්දු විය යුතු ය. උජුං කායං කී ලෙස උඩු කය කෙළින් තබා ගැනීමට ද දෙපා නමා පය¡ංකයා සාදා ගැනීම තමාට වැඩි වේලාවක් නොසෙල්වී සිටීමට පහසු ලෙසක ද විය යුතු ය. එසේ වියයුත්තේ භාවනා වඩන ඉතා වැඩි පිරිස ජීවිතයේ මැද වයස ඉක්මවන දරුණු රෝගාබාධ වලට ගොදුරු වූ අයද වන හෙයිනි. විනාඩියක් දෙකක් හෝ තුනක් පමණ හිතට පැන පැන යන්නට නොදී නහය දෙසටම යොමු කරගෙන සිටින විට නහයෙන් පිටවන හුළං රැල්ල පළමුවද ඇතුළුවන රැල්ල පසුවද දැනෙන්න පටන් ගනී. මෙය දැනෙනුයේ මුලින්ම දක්වන දැඩි ආයාසය හේතුවෙනි. එය නාස් ගුලින් ඇතුල් වී උඩු අතට ඉතා සුළු දුරක් යන තුරු දැනේ. පිටවන රැල්ලද ගුලේ ඇතුලේ ඉතා සුළු දුරකින් ආරම්භ වී පිටවී උඩු තොලේ පිට පැත්තේ වැදී යන වැනි සියුම් වින්දනයක් දැනේ. ආනාපාන දෙකම දැනෙන්න වූ පසු ඇතුළු වෙනවා. පිටවෙනවා, ඇතුළු වෙනවා, පිටවෙනවා යයි එම ක්‍රියාවලිය සමඟම සිතද යොමු කර ගෙන යාමට වග බලා ගත යුතු ය. සිත සෑම විටම “දුරං ගමං ඒක චරං” ය එසේ කියන්නේ සිත නිතරම ඉතා දුරට පැන යන බවයි. සිත පැන යන්නේ නීවරණ ධර්ම පහටය. පි‍්‍රය කරන දෙයට පැනයාම කාමච්ඡන්දයයි අපි‍්‍රය කරන දෙයට පැන යාම ව්‍යාපාදයයි. නිදිමත හෝ කම්මැලි ගතිය දැනෙන්නේ ථීන මිද්ධයයි. මොනවා හෝ බාහිර දෙයට පැනයාම උද්ධච්ච කුක්කුච්ච යයි.

සිත පැන ගිය බව දැනුන වහාම එය ආපසු ආනාපානයට යෙදවීම අවශ්‍යවෙයි. සතිමා විනෙය්‍ය ලොකේ අභිජඣා දෝමනස්සං යනුවෙන් එය ආනාපාන සතියේ අගදී පෙන්වා දී ඇත. කොපමණ වාරයක් පැන ගියත් ආපසු ගත යුත්තේ තමා කරන කටයුත්ත තමාම කරගත යුතු හෙයිනි. “මතු මත්තේ අපි නිවන් දකිනවා” යයි කීවාට පැතුවාට නිවන ඉබේම එන දෙයක් නොවේ. මුලදී සිත පැනයාම නිතර නිතර සිදුවේ. එය තමාම ආපසු ගත යුතු ය . බයිසිකලය පැදගෙන යන තැනැත්තා ඉදිරි රෝද පාර අයිනේ වලට වැටෙන බව පෙනෙන විට අනෙක් පැත්තට හරවා ගන්නා විලසිනි.

හිත පැන යනවා මම ගන්නවා ආනාපාන බලනවා ආයිත් පනිනවා ආයිත් ගන්නවා. ආනාපාන බලනවා මෙලෙස තුන් ආකාරයකට හිත හැසිරෙන විට තමා නොදැනම තම සිතේ ස්ථාන පහක විතක්ක, විචාර පී‍්‍රති සුඛ ඒකග්ගතා යන ප්‍රථමධ්‍යානයේ අංග පහ වැඩෙන්න පටන් ගනී. එය ඉතා හෙමින් නොනවත්වා සිදු වන්නකි. ඒ සමඟම වැඩී එන සුඛ අංගය හේතුවෙන් ශරීරයේ බිම වදින කොටස සැහැල්ලු බවට පාවී යන බවට පත්වනවා වැනි ගතියක් දැනෙන්නේ ය. දැන් හිත පැනගිය ද විතක්කයට අසුවී ආපසු ගැනීම ක්‍ෂණිකව සිදුවන්න පටන් ගනී. එසේ ආපසු ගත් සිත විචාරයට හසු වී ආන අපාන බලන්න යෙදවේ. ඉක්මණින් යළි පැන ගියද යලි විතක්කය ආපසු ගනී. විචාරය ඉදිරියට ගෙන යයි. යළි සිත පනී. විතක්කය ආපසු ගනී.විචාරය ඉදිරියට ගෙන යයි. ශරීරයේ පහළ කොටස හිරිගතිය දැනෙන විට කෝ මේ ප්‍රථම ධ්‍යානය මට පත්වන්නට ඕනෑ යයි සිතන විටම අධිෂ්ඨාන කරන විටම අතේ එක ඇඟිල්ලක් ඉතා සුළු සෙලවීමකට පත්උනා වැනි ඉතා සියුම් සෙලවීමක් ශරීරයේ කොතැනක හෝ දැනී මුළු ශරීරයම සන්සුන් වන්නේ ය.

ඒ සමගම මට විතක්කය තිබේ. විචාරය තිබේ.

පී‍්‍රතිය තිබේ සුඛය තිබේ. ඒකග්ගතාවය තිබේ නැවත ප්‍රථම ධ්‍යානයට පත්වෙමියි. යළි අධිෂ්ඨාන කරන විටම පළමු සෙලවුන තැන යළි සෙලවී සන්සුන් වන්නේ ය.

දැන් ආනාපාන බැලීමක් නැත. ධ්‍යානය පංච විධ වශීතාවයෙන් වශී කරන්නේ ය. අංග පහ සිහි කළේ. ප්‍රත්‍ය වේක්‍ෂා වශීයයි. මෙම හතර පුරුදු වෙමින් සිට නැවත නැවත ධ්‍යානයට පත්වෙමින් සිට විනාඩි පහළොවක් පමණ ගතවන විට මම මෙයින් මිදෙමියි සිතන විටම වායු සමීකරණ කළ වාහනයකින් බිමට බැස්සා සේ විදිමින් සිටි සුව ගතිය ක්‍ෂණිකව නොදැනී පරිසරයේ රළු ගතිය දැනෙන්න වේ. ඒ වුටඨාන වශීයයි. යළි යළි ආන අපාන වඩමින් පංච විධ වශීතාවයන් වඩමින් ප්‍රථම ධ්‍යානය පුරුදු කර ගත යුතු ය. ධ්‍යානය පුරුදු වන අවස්ථාවේ ආනාපානය පුරුදු කරන්නේ නැත.

එවේලේම හෝ නැවත අවස්ථාවකදී මෙසේම ආනාපානය වඩා ධ්‍යානය උපදවාගෙන විනාඩි පහක් පමණ එය පුරුදු වී විතක්කය මට එපා දෙවන ධ්‍යානය ලැබේවා කියා අධිෂ්ඨාන කරන විට පෙරසේම ශරීරයේ කොතැනක හෝ සියුම් ඉතා කෙටි සෙලවීමක් දැනී සන්සුන් වන්නේ ය. දෙවන ධ්‍යානයට පත් වන්නේ ය. විචාරය තිබේ. පී‍්‍රතිය තිබේ. සුඛය තිබේ. ඒකග්ගතාවය තිබේ.

දෙවන ධ්‍යානයට පත්වෙමියි දෙවන ධ්‍යානයේ අංග හතර ප්‍රත්‍යවේක්‍ෂා කර එය අධිෂ්ඨාන කරන විටම ඊට පත්වේ. විචාරය තිබේ. පී‍්‍රතිය තිබේ. සුඛය තිබේ. ඒකග්ගතාවය තිබේ. දෙවන ධ්‍යානයට පත්වෙමියි නැවත නැවත එය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් අධිෂ්ඨාන කරන විටම ප්‍රථම ධ්‍යානයේ දී මෙන්ම අතේ එක ඇඟිල්ලක් ඉතා සුළු සෙලවීමකට පත්වුනා වැනි සියුම් සෙලවීමකට පත්වී මුළු ශරීරයම සන්සුන් වී යන්නේ ය.

අධිෂ්ඨාන කලේ අධිෂ්ඨාන වශීයයි. ඉතා සියුම් සෙලවීම ආවර්ජන වශීයයි. ශරීරය සන්සුන් වූයේ සමාපජ්ජන වශීයයි. ඒ සමඟම මට විතක්කය තිබේ. විචාරය තිබේ. පී‍්‍රතිය තිබේ, සුඛය තිබේ, ඒකග්ගතාවය තිබේ. නැවත ප්‍රථම ධ්‍යානයට පත්වෙමියි යළි අධිෂ්ඨාන කරනු ලැබේ. ඒ සමඟම පළමු සෙලවුන තැන යළි සෙලවී සන්සුන් වන්නේ ය. දැන් ආනාපාන බැලීමක් නැත.

ධ්‍යානය පංචවිධ වශී භාවයෙන් වශී කරන්නේ ය. අංග පහ සිහි කළේ ප්‍රත්‍යවේක්‍ෂා වශීයයි. මෙම වශී හතර පුරුදු වෙමින් විනාඩි දහයක් පහළොවක් පමණ ගතකර මම මෙයින් මිදෙමියි. සිතන විටම වායුසමීකරණ කළ වාහනයකින් බැස්සා සේ පරිසරයේ රළු ගතිය දැනෙන්නේ වුටඨාන වශීයයි. යළි යළි ආනාපාන වඩමින් පංචවිධ වශීතාවයන් අනුව ප්‍රථමධ්‍යානය පුරුදු කර ගත යුතුයි.

පසුව අවස්ථාවක මෙසේ විනාඩි කිහිපයක් පමණ ප්‍රථම ධ්‍යානය පුරුදු වී විතක්කය එපා දෙවන ධ්‍යානයට පත්වෙමියි. අධිෂ්ඨාන වශිය කරන විටම පෙරසේ ම ශරීරයේ කොතැනක හෝ සියුම් සෙලවීම දැනී සන්සුන් වී දෙවන ධ්‍යානයට පත්වේ. විචාරය තිබේ, පී‍්‍රතිය තිබේ, සුඛය තිබේ. ඒකග්ගතාවය තිබේ.

දෙවන ධ්‍යානයට පත්වෙමියි අධිෂ්ඨාන වශිය සමගම ආවර්ජන වශිය දැනේ. පළමු ධ්‍යානයට වඩා සියුම් වින්දනයකින් සමාපජ්ජන වශිය හඳුනා ගනී.

එය ද පුරුදු වූ පසු විචාරය එපා තුන්වන ධ්‍යානයට පත්වෙමියි අධිෂ්ඨාන කරන විටම විචාර නැති තෙවන ධ්‍යානයේ සුවයට පත්වේ. පී‍්‍රතිය තිබේ, සුඛය තිබේ, ඒකග්ගතාවය තිබේ, තෙවන ධ්‍යානය වඩමියි මෙයද පුරුදු වී දෙවැන්නට බසිමි. එහි අංග හතර කීප වරක් වඩා පළමු ධ්‍යානයට බසිමි. එහි අංග පහද කිහිප වරක් පුරුදු වී ප්‍රථම ධ්‍යානයෙන් මිදෙමි, ආදී වශයෙන් එකිනෙක වෙන වෙනම වුටඨාන වශිය ද පුරුදු කර ගත යුතු ය.

තුන්වන ධ්‍යානයද පුරුදු වී පී‍්‍රතිය එපා හතරවන ධ්‍යානයට පත්වෙමියි අධිෂ්ඨාන කරන විටම ආවර්ජනාවද දැනී යයි. සුඛය තිබේ, ඒකග්ගතාවය තිබේ. හතරවන ධ්‍යානය ද පත්වෙමියි එයද පුරුදු වන්නේ ය. වශී පහම අනුව මේ ධ්‍යාන හතර පුරුදු වූ පසු ඊළඟ දිනයකදී මුල ධ්‍යාන හතර එකක් විනාඩි තුන බැගින් පමණ පුරුදු වී සුඛය එපා. පස්වන ධ්‍යානයට පත්වෙමියි අධිෂ්ඨානය සමඟම ආවර්ජනාවද දැනේ. එහි සුඛයද නැතිව ඒකග්ගතාවය පමණක් ඉතිරිව පස්වන ධ්‍යානයට ද පත්වේ. එය ඉතාමත් සන්සුන් ය.

ශරීරය හෝ ඇඳුම පවා නොදැනී යයි. ඉන්න ස්ථානය පවා නොදැනේ. කිසිම දෙයක් නොතේරෙන හිස් බව පමණක් දැනෙන්නේ ය. එය උපේක්‍ෂාව ය. උපේක්‍ෂාව තිබේ. ඒකග්ගතාවය තිබේ. පස්වෙනි ධ්‍යානයේ සිටිමියි එයද වඩන්නේ ය.

වශී කරන්නේ ය. මෙලෙස පංචවශියම පුරුදු කළ පසු තමා දසවන වේහප්ඵල බඹලොව බඹකුගේ තත්ත්වයට පත් වන්නේය. දැන් ලොව දෙස විවිධාකාරයෙන් බලන අවස්ථාවය. ලොව කිසිම දෙයක් සදාතන නොවේ. කැඩෙන සුළුය. නැසෙන සුළු ය.

එහෙයින් අනිත්‍යය. අනිත්‍ය දේවල් සමඟ විසීම නිසා ඒවා නැතිවී ගොස් අනිත්‍ය බවට පත්වීමෙන් දුක දැනේ. එහෙයින් දුකය. එසේ දුක ඇති වන්නේ ඒවා කිසිම දෙයක් මා කියන ලෙසට මට ඕනෑ ලෙසට පවත්වා ගැනීමට බැරි හෙයින් ය. එහෙයින් අනත්තය.

දැන් යෝගියා අනිත්‍යය, අනිත්‍යය, අනිත්‍යය, අනිත්‍යය, දුකය...... අනත්තය, අනත්තය.... වශයෙන් අනිත්‍ය දුක්‍ඛ අනත්ත කියමින් විදස්සනා වඩන අවස්ථාවය.

එකක් පස් වරක් පමණ තිලකුණු වඩන විට ආනාපාන බලන අවස්ථාවේදී සේ වචන තුන මෙනෙහි කරමින් සිටින විට ඉවරයක් නැති අරමුණු එකින් එක පහළ වන්නේ ය. ඒවා නීවරණ නොවේ. විදස්සනා අරමුණු ය. සමහරවිට පි‍්‍රය දේවල් ය.

නැතිනම් අපි‍්‍රය දේවල් ය. එහෙයින් සුඛ හෝ දුකය. නැතිනම් අදුක්ඛම සුඛ වේදනාවන් ය. පහළ වූ දර්ශණය වූවද අනිත්‍යය සිතන විටම නැති වී යන්නේ ය.

දුකයයි සිතන විට ද නැති වී යන්නේ ය. ඒත් නැතිනම් අනත්තයයි සිතනවිටද නැති වී යන්නේ ය. ඒ වේදනානු පස්සනාවය.

ඊළඟට ඒ පහළ වූ දෙය මා හමුවූ සිතුවිල්ලක්මය. එය රාග හෝ වීතරාගය, දෝසහෝ වීත දෝසය. මෝහ හෝ වීත මෝහය. ආදී වශයෙන් සිතිවිලි මාලාවෙන් එකක්මය. ඒවාද ඇතිවී නැතිව ගියේ ය. එහෙයින් අනිත්‍යය, අනිත්‍ය වූ දෙය නිසා දුකය. දුක ඇතිවූයේ අනත්ත හෙයිනි. සියලුම ධර්මතාවයන් මම හෝ මාගේ නොවේ. ඒවා අනත්තය.

මෙලෙස පහළ වන සියලුම දර්ශණයන් තිලකුණට නංවන විට තමා තුළ තමානොදැනම නව මහ විදර්ශනා ඤාණ පහළ වන්නේ ය. තමා නොසිතූ නොපැතූ නොතේරෙන ඉතා ආශ්චර්යමත්, භයානක, ගාම්භීර අවස්ථා පහළවෙමින් එම ඵලයටද පත්ව නිවන් සැපතට ද මොහොතකට පත්ව හදිසියේ අවදි වන්නේ ය.

වීර්යය වන්තයෝ, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා,


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.