Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ පොළොවට ගිල ගන්නට නො දුන් පුද බිමක්

බෞද්ධයන් පූජනීයත්වයෙන් සළකන සිදුහත් කුමාරෝත්පත්තිය, සම්මා සම්බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනාව සහ පරිනිර්වාණය සිදු වූ ස්ථාන චතුර්ආශ්චර්යයන් ලෙස සැළකේ. උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනකදීය.


ලුම්බිණියේ සිදුහත් කුමාරෝත්පත්තිය දැක්වෙන සිතුවමකි.

ලුම්බිණි සල් උයනට පැමිණි මායා දේවිය එහි වූ විලෙන් ස්නානය කර පියවර විසි පහක් ඇවිද ගිය බවත් පසුව සල් ගසක් යට සල් අත්තක් අල්වාගෙන සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදුකළ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

ක්‍රිස්තු පූර්ව 249 දී ලුම්බිණිය වෙත පැමිණි අශෝක අධිරාජයා එහි ස්තම්භයක් ඉදිකළ බවත් සඳහන් වේ. පසු කලෙකදී වරින්වර එල්ලවූ විදෙස් ආක්‍රමණ හේතුවෙන් ඉන්දියාවේ බුද්ධාගම පිරිහී ගියහ. පසුව සියවස් ගණනාවක් ගතවනතුරු ලුම්බිණිය පිළිබඳ අවධානයක් නොවූ අතර ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ අවධියක ජර්මන් ජාතික පුරා විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලොයිස් ඒ. ෆ්‍රහ්රර් මහතා විසින් සිදුකළ කැණීම් වලදී ක්‍රි.ව. 1886 දෙසැම්බර් 01 වැනි දින සොයාගත් ගල් කුළුන නිසා බුද්ධ උත්පත්තිය සිදුවූ ස්ථානය මෙය බව ප්‍රකාශ කළේය. අශෝක අධිරාජයා විසින් ඔහුගේ පාලන සමයේ ඉදිකළ ස්තම්භය එය බව ඔහු ගේ නිගමනය විය.

විසිවැනි සියවසේ අගභාගයේදී ලුම්බිණිය පිළිබඳ සම්පූර්ණ ගවේෂණයක් ආරම්භ කළ අතර එවකට එක්සත් ජාතින්ගේ මහ ලේකම් ධූරය දැරූ බුරුම ජාතික බෞද්ධයකු වූ ඌනාන්ම් මහතා එම කටයුත්ත සඳහා ප්‍රධානත්වය ගෙන ක්‍රියා කළේය. ක්‍රි.ව. 1967 දී ආරම්භ කළ එම ගවේෂන කටයුතු සඳහා ජපානයේ බෞද්ධ සම්මේලනය පූර්ණ මුල්‍ය ආධාර සැපයූ අතර, එක්සත් ජාතීන්ගේ සම්මේලනයත්, නේපාල රජයත් එම කටයුත්ත මෙහෙයවන ලදී.

දශක දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා සිදුකළ කැනීම් වල ප්‍රතිඵල ක්‍රි.ව. 1996 පෙබරවාරි 04 වැනිදින ප්‍රකාශයට පත්වූයේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධා භක්තිය වැඩි කරමිනි. නේපාලයේ කත්මන්ඩු ප්‍රදේශයෙන් කිලෝ මීටර් 350 ක් නිරිත දිගින් ලුම්බිණියේ මායා දේවී විහාරය පිහිටි ස්ථානයේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදු වූ බව ස්ථිර වශයෙන්ම ප්‍රකාශයට පත් කැරිනි.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය නේපාලයෙන් වෙන්වෙන දේශසීමාවට ආසන්නයේ පිහිටා ඇති මෙම විහාරය ඉන්දියාවේ හිමාල කඳු වැටියේ කොටසක් වශයෙන් සැළකෙන චූරියා කඳු පාමුල ලුම්බිණි සල් උයනට අයිති වූවකි.

තථාගතයන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ස්ථානයේ වරින් වර ඉදිකළ වෙහෙර විහාර ගණනාවක නටඹුන් පුරා විද්‍යාඥයන් හට සොයා ගන්නට හැකි වූ අතර සුන්දර තුරු ලතාදියෙන් රමණීය වූ පරිසරයක් දක්නට ලැබේ. පුෂ්කර්ණි ලෙසින් හැඳින්වෙන පොකුණක් මායාදේවී විහාරය අසළින් සොයාගෙන ඇති පුරා විද්‍යාඥයෝ, සිද්ධාර්ථ කුමාර උත්පත්තියට පෙර මායා දේවිය එම පොකුණෙන් ස්නානය කර ඇති බවත් සිදුහත් කුමරා පළමුවෙන්ම සෝදා පවිත්‍ර කරන ලද්දේද මෙම පොකුණෙන් බවද සනාථ කරගෙන ඇත.

ඉතිහාස පොත්වල සඳහන් වී ඇති ආකාරයට මායා දේවිය ස්නානය කර පියවර විසිපහක් තැබූ පසු බෝසත් උපත සිදු වූ බව සඳහන් ය. පුෂ්කර්ණි පොකුණේ සිට සිදුහත් උත්පත්තිය වූ මායා දේවි විහාරයට හරියටම පියවර විසි පහක් තිබුණේ පුරා විද්‍යාඥයන් මවිතයට පත් කරවමිනි. මෙය පැරණි මායාදේවී විහාරය පිහිටි ස්ථානයයි. සල් අත්තක් අල්වාගත් මායා දේවිය සිටින ආකාරයත් නෙළුම් මලක් උඩ සිදුහත් කුමරු සිටිනා අයුරුත් නිරූපනය වන මැටි විශේෂයකින් නිර්මාණය කර ඇති කැටයම් පුවරුවක්ද මේ අසලින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබීමෙන් මෙය තවත් තහවුරු වේ.

මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ සිදුහත් කුමරු උරුවෙල් දනව්වට පැමිණි බවත්, එහිදී චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පැමිණි බවත්, බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. වර්තමාන උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගයා පෙදෙස අතීතයේ උරුවෙල් දනව්ව ලෙස පුරාවිද්‍යාඥයන් දශක දෙකක් තිස්සේ කළ ගවේෂණ මගින් තහවුරු කරගෙන ඇති අතර සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වූ ස්ථානය පිහිටා ඇත්තේ ද ගයා නගරයේ සිට සැතපුම් දෙකක් (2) පමණ දුරිනි. මෙම ස්ථානයේ අවට වෙනත් කිසිදු ස්ථානයක විහාරයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් එහි ගවේෂණ කටයුතු කළ පුරා විද්‍යාඥයන්ට හමු වී නැති අතර ක්‍රි. පූ. 250 දී පමණ අශෝක රජතුමා විසින් ඉදිකරන ලද විහාරයක නටඹුන් පමණක් එහි තිබී හමු වී ඇත. එහි ඉදිවූ පළමු විහාරය මෙය බවද ඔවුනට ලැබී ඇති සාක්ෂි වලින් සනාථ වී ඇත.

ක්‍රි.ව. දෙවැනි සියවසේදී ඉදි වූ වර්තමාන මහාබෝධි විහාරය ක්‍රි.ව. 450 දීත් ක්‍රි.ව. 1079 දීත් ක්‍රි.ව. 1157 දීත් නැවත නැවත ප්‍රතිසංස්කරණය කර ඇති අතර ක්‍රි.ව. 19 වැනි සියවසේදී සර් ඇලෙක්සැන්ඩර් කනිංග්හැම් මහතා විසින් අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. අවසන් වශයෙන් මෙම මහබෝධි විහාරය පිළිසකර කර ඇත්තේ බුරුමයේ බෞද්ධ ජනතාවගේ අනුග්‍රහයෙන්ය. ඈතට විශාල කුළුනක් ආකාරයෙන් දිස්වන මෙම විහාරයේ ඉහළ කොටස සර්වඥ ධාතූ®න් වහන්සේ තැන්පත් කර ඇති අතර එහි ඇති ශාලාව ආගමික කටයුතු වලට යොදා ගනී.

විහාරය තුළ තැන්පත් කර ඇති විශාල බුද්ධ ප්‍රතිමාව සියවස් දහහතකට වඩා (17) පැරණි එකක් බව පුරා විද්‍යාඥයන් පවසති. හින්දු පූජක සංකරාචාරය විසින් ඉදිකරන ලදැයි පැවසෙන සිවලිංගය බුදුපිළිමය ඉදිරිපස පිහිටා ඇති අතර හින්දූන්ගේ විශ්වාසය වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාර වලින් එකක් බවත් එබැවින් මහබෝධි විහාරය හින්දු බැතිමතුන්ගේ ද පූජනීයත්වයට පාත්‍ර වන බවත් ය.

බෞද්ධයන්ගේ අති පූජනීය වස්තුවක් වශයෙන් සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා ඇත්තේ මහා බෝධි විහාරය පසුපසිනි. වර්තමානයේ වැඩසිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේ හින්දුන් විසින් නොයෙක් අවස්ථාවලදී අතු කපා විනාශ කිරීමට කටයුතු කළා. ප්‍රාතිහාර්යයක් පෑවා සේ ඒ සෑම අවස්ථාවකදීම යළි දළුලා වැඩී ඇත. එය සිදුහත් කුමරා බුද්ධත්වයට පත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ශාඛාවකි. සිද්ධාර්ථ කුමරා බුද්ධත්වයට පත් වූ බව සංකේතවත් කරන සමාධි බුදු පිළිමය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පිහිටා ඇත.

බුද්ධ ගයාවේ අවට ඇති තවත් ස්ථාන රැසක් පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත වන අතර, ඒවා බෞද්ධ බැතිමතුන්ගේ හා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. බුද්ධ ඤාණ , විමලමිත්‍ර, අසිත, පද්මාසම්බව හා නාගර්ජුන යන මහායාන භික්ෂූන් වහන්සේලාද මෙම ස්ථානයට පැමිණ බවුන් වැඩූ බව ඉතිහාසඥයන් සඳහන් කර ඇත.

කුසිනාරා නුවර හිරන්යාවතී ගංගාව අසබඩ පිහිටි මල්ල රජ දරුවනට අයත් රමණීය සල් උයනේදී තමන් වහන්සේගේ අවසන් මොහොත ගතකළ තථාගතයන් වහන්සේ එහිදී පිරිනිවන් පා වදාළ සේක. එබැවින් බෞද්ධ බැතිමතුන්ට කුසිනාරානුවර අතිශය ශුද්ධ භූ®මියකි. මෙම භූමිය පිළිබඳ සඳහන් කරන විට බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වදාළේ කවර වසරකදැයි දැනගැනීම බෞද්ධයන් වශයෙන් අපට ඉතා වැදගත් වේ.

ක්‍රි.පූ. 487 ත් 488 ත් අතර වසරේ වෙසක් පුර පසළොස්වක දින සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ බව දකුණු ආසියාතික රටවල සඳහන් වෙන අතර අග්නිදිග ආසියාතික රටවල සඳහන් වන්නේ ක්‍රි.පූ. 543 දී සිදු වූ ලෙසයි. ශතවර්ෂ ගණනාවක් වෘක්ෂලතාවන්ගෙන් වැසී සැඟවී තිබූ මෙම ස්ථානය 19 වැනි සියවසේදී සොයාගන්නා ලදී. පැරැණි ගවේෂකයන් දෙපලක් වූ චීන ජාතික හුයිං ට්සාං සහ අයි - ට්සිං යන අය මෙම ස්ථානය පිළිබඳ කර තිබූ ගවේෂණ සටහන් වල තොරතුරු ඔස්සේ දක්ෂ පුරා විද්‍යාඥයකු වූ ජෙනරාල් ඒ තනිංග්හැම් මහතා ඉතා දුෂ්කර ගමනක අවසානයේදී එම ස්ථානය සොයා ගන්නා ලදී. කටු පඳුරු හා පස් වලින් වැසී තිබූ එම ස්ථානයේ පළමුව දක්නට ලැබී ඇත්තේ අඟල් 40 ක් පමණ මතුපිටට තිබූ ගඩොල් කැබැලි කීපයක් පමණි.

ක්‍රි.ව 1861 සිට 1862 දක්වා වර්ෂ තුළ එහි කළ කැණීම් වලින් සර්වඥයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ තැන ඉදිකර තිබූ මාති කුමාර් විහාරය හමු වී ඇත. එයින් වසර ගණනාවකට පසු ඒ.සී. ඇල්. කර්ලයිල් නමැති බ්‍රිතාන්‍ය ජාතික පුරා විද්‍යාඥයා එහි කඳවුරු බැඳ තවදුරටත් කැණීම් කටයුතු සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් තවත් ඓතිහාසික හා ආගමික වටිනාකමින් යුත් වටිනා පුරාවස්තු මතු වන්නට විය. එහිදී මතුවූ භූමි ස්පර්ෂ මුද්‍රාව පිළිබිඹුවන ශෛලමය බුද්ධ ප්‍රතිමාව අසලින් තවදුරටත් කැණීම් කටයුතු සිදු කිරීමේදී දිගින් අඩි 25 ක් වූ හරි හතරැස් විහාරයක් සොයා ගැනීමට කර්ලයිල් මහතාට හැකිවිය.

නැගෙනහිර දිශාවට දොරකඩ සහිත එම විහාරය අසල භූමියේ කැණීම් කරන්නට වූ කර්ලයිල් මහතා ගේ අපේක්ෂාව වූයේ චීන ගවේෂක හූයිං ටසාං ගේ ලේඛනයේ අනුව මෙහි ඇති පරිනිර්වාණ මංචකය සහ සැතපෙන බුද්ධ ප්‍රතිමාව සොයා ගැනීමය. කැණීම් කටයුතු කඩිනම් කළ කර්ලයිල් මහතා මාති කුමාර් විහාර භූමිය තුල අඩි 10 ක් පමණ ගැඹුරට කැණීම් කරන්නට වූයේන් එහි දී ඔහු අපේක්ෂා කළ බුද්ධ ප්‍රතිමාව හමුවිය. දිගින් අඩි 24 ක් වූ එහි පලල අඩි 5 1/2 කි. කර්ලයිල් මහතා විසින් සිදුකළ තවත් කැණීම් කටයුතු වලදී ක්‍රි.ව. 1867 දී මීටර් 2.74 උස නිර්වාණ චෛත්‍ය සොයා ගන්නා ලදී. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මෙම ස්ථානයේ ආදාහනය කළ බව බ්‍රාහ්මී අක්ෂරවලින් සටහන් කර තිබු තඹ භාජනයක් මෙම ස්ථානයෙන් හමු වී ඇති අතර උන්වහන්සේ ගේ ශ්‍රී දේහයේ දකුණු පස සිහිවීම පිණිස මෙම චෛත්‍ය තනා ඇති බවත් සොයාගෙන ඇත. මෙම නිර්වාණ චෛත්‍යයට යාර 400 ක් දුරින් භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් වැඩ හිඳින ශෛලමය බුදුපිළිමය සහ මාති කුමාර් විහාරය පිහිටා ඇත. පිරිනිවන් පෑමට පෙර තථාගතයන් වහන්සේ අවසාන ධර්ම දේශනාව සිදු කරන ලද්දේ මෙම ස්ථානයේදීය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය කළ ස්ථානයේ පිහිටා ඇත්තේ රාමබාර් ස්තූපයයි. මුතූර් බන්ධන් විහාරය හෙවත් ආදාහන ස්තූපය ලෙසින් ද මෙය පැරණි බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ. මෙම කැණීම් වලින් පසු කර්ලයිල් මහතා තමා විසින් සොයාගත් බුද්ධ ප්‍රතිමා සහ වෙහෙර විහාර සියල්ලම ඉතා සුපරික්ෂාකාරීව ප්‍රතිසංස්කරණය කළ අතර පරිනිර්වාණය සිදු වූ නියම ස්ථානය එය බව ඔහු විසින් ස්ථිරවම සනාථ කළහ.

භාරතයේ දීර්ඝ කාලයක් රාජ්‍ය පාලනය කළ අශෝක රජතුමා ක්‍රි.පූ. 230 සිට ක්‍රි.පූ 413 දක්වා වූ කාල පරාසය තුළ තථාගතයන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය ඇතුළු තවත් පූජනීය ස්ථාන රැසක සිහිවටන, විහාර, ස්තූප තනා ඇත. එතුමා එසේ නොකරන්නට කිසිදු දිනක එවැනි වටිනා ස්ථානයන් අනාගත පරපුර ට දායාදයක් නොවනු ඇත. වරින් වර එල්ල වූ විදෙස් ආක්‍රමණයන් හමුවේ ඉන්දියාවේ බුද්ධාගම පිරිහීමට පත්වීමෙන් එම වටිනා සිද්ධස්ථාන වනයට හා පොළොවට යටටී සැඟැවී තිබූ අතර පැරණි තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් නැවත ඒවා බෞද්ධ ජනතාවට දායාද කිරීමට වෙහෙස මහන්සි වූ පුරාවිද්‍යාඥයන් වන සර් ඇලෙක්සැන්ඩර් ෆ‍්‍රහ්රර්, හිටපු ආසියානු මහලේකම් ඌතාන්ට්, ජෙනරාල් කනිංග්හැම්, සහ ඒ. සී. ඇල්. කර්ලයිල් යන මහත්වරුන් ලෝකවාසී බෞද්ධයන් සැමදා සිහිපත් කළ යුතුය.

මක්නිසාද යත් පොළොවට වැළලී සදාකල්ම සැඟව යන්නට තිබූ ඓතිහාසික බොදු සිද්ධස්ථාන නැවත සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට දායාද කළ බැවිනි.

(පුරාවිද්‍යා තොරතුරු ආශ්‍රයෙනි)


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.