Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මියන්මාර්හි විපතට පත් වූවනට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ පිහිට

මියන්මාර්හි විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැපයීමට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ඉදිරිපත්ව සිටිති.

විපතට පත්වූවන් වෙත නූඩ්ල්ස්, බිස්කට්, වැනි වියළි ආහාර, මුංඇට, කඩල, පානීය ජලය සහ අලුත් ඇඳුම් සැපයීමට හැකි අය වෙතොත් කෝට්ටේ ශ්‍රී නාග විහාරය, නාරාහේන්පිට අභයාරාමය, බේස්ලයින් නාගදීප ශාඛා විහාරය, ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරය යන විහාරස්ථානවලට ගෙනවිත් භාරදිය හැකිය. සංචාරක ඇමැති මිලින්ද මොරගොඩ මහතා මෙවැනි හදිසි විපත් අවස්ථාවලදී සහය වන රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ සඳහා අවශ්‍ය ගුවන් වියදම ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමට කටයුතු යොදා තිබේ. අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ඉත්තෑපානේ ධම්මාලංකාර, බ්‍රාහ්මණ වත්තේ සීවලී, බෙල්ලන්විල විමලරතන, මාදුළුවාවේ සෝභිත, මුරුත්තෙට්ටුවේ ආනන්ද, දරණාගම කුසලධම්ම සහ තිනියාවල පාලිත යන නා හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ කමිටුවක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති අතර, දැනටමත් විහාරස්ථාන, පාසල්, ප්‍රජා සේවා මධ්‍යස්ථාන හා ව්‍යාපාරික ආයතන සම්බන්ධකර ගනිමින් ආධාර කටයුතු සම්පාදනය කෙරේ.

මේ සම්බන්ධව දෙමටගොඩ ශ්‍රී නාග විහාරය 0112692071, කෝට්ටේ නාග විහාරය 0112852966 සහ නාරාහේන්පිට අභයාරාමය 0112584084 යන දුරකථන අංකවලින් විමසීම් කළ හැකිය.

කෝට්ටේ නාගවිහාරාධිපති මාඳුළුවාවේ සෝභිත හිමියන් සහ මියන්මාර ශ්‍රී ලංකා තානාපති ටින් ඕල්වින් මහතාගේ සහභාගිත්වයෙන් කෝට්ටේ නාගවිහාරයේදී වැඩසටහනක් ආරම්භ කෙරිනි.

බෞද්ධ රාජ්‍යයක් වූ මියන්මාරයේ භික්ෂූන් වහන්සේලාට හා පන්සල් ඇතුලු වෙනත් ආගමික ස්ථානවලට දැඩි අලාභහානි වී ඇති බවත් මෙවැනි ශෝචනීය අවස්ථාවකදී එරට බෞද්ධ ජනයා වෙනුවෙන් හැකි සෑම උපකාරයක්ම ඉටු කිරීම බෞද්ධයින් වශයෙන් ඒ කැප කිරීම ඉටුකළ යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.