Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජිත වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනලදී. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් එසේ පිළිගන්වන ලද සැලැස්ම මෙසේ ය.

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමෙනි,



තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ,
සුමංගල මහ නා හිමි

 



උඩුගම
සද්ධර්ම කීර්ති ශ්‍රී
ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත
මහ නා හිමි


දවුල්දෙණ ඤාණිස්සර මහ නා හිමි

 


වේවැල්දෙණියේ
මේධාලංකාර
මහ නා හිමි

2011 වසරෙහි දී එළැඹෙන, බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යය වෙනුවෙන් වියත් භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ සංවිධාන නායකයනුත් සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද “2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම” ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන නායකයා හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේත් රජයේත් පූර්ණ අනුග්‍රහය ලබා ගෙන යථාවිධියෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඔබතුමා වෙත මේ සමඟ ඉදිරිපත් කරමු. ශ්‍රී ලංකාවේ ආගමික හා සමාජීය වශයෙන් අභිසංවර්ධනයක් ඇති කර ගැනීමට මෙය එකතින් ම හේතු වෙති’ යි සිතමු.

ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රයානුභාවයෙන් අතිගරු ජනාධිපතිතුමාට ආයුරාරෝග්‍ය සම්පත් සැලැසේවා යි ශාසනාලයෙන් පතමු.

ඒ වගත් මෙසේ ම,

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ උත්තරීතර අනුශාසක මණ්ඩලය වෙනුවෙන්,

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ.

උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිරයන් වහන්සේ,

දවුල්දෙණ ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්ථවිරයන් වහන්සේ,

වේවැල්දෙණියේ මේධාලංකාර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්ථවිරයන් වහන්සේ,

2011 වසරෙහි දී එළැඹෙන, බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍යය වෙනුවෙන් වියත් භික්‍ෂූන් වහන්සේත් බෞද්ධ සංවිධාන නායකයනුත් සමග සාකච්ඡා කොට සකස් කරන ලද “2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම” ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන නායකයා හා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙත් රජයේත් පූර්ණ අනුග්‍රහය ලබා ගෙන යථා විධියෙන් ක්‍රියාත්මක කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ ආගමික හා සමාජීය වශයෙන් අභිසංවර්ධනයක් ඇති කරලීම සඳහාත් අතිගරු ජනාධිපතිතුමන් වෙත භාරදීම 2008.05.09 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ ක්‍රියාකාරී මණ්ඩලයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ රැසකගේ සහ සාමාජික සංවිධාන සභාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

මෙම ක්‍රියාකාරී සැලැස්ම වෙනුවෙන් අත්සන් යොදා තිබුයේ එම මණ්ඩලයේ උත්තරීතර අනුශාසක මණ්ඩලයේ අනුශාසකත්වය උසුලන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහ නාහිමි, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහ නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමි යන ගෞරවනීය, ස්වාමීන්ද්‍රයන් වහන්සේලායි. එම ඓතිහාසික අවස්ථාවට පහත නම් සඳහන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද, සමිති සංවිධාන වල දක්වා ඇති ගිහි නිලධාරී මහත්වරුන් ද සහභාගී වූහ.

අග්ගමහා පණ්ඩිත කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්ධර, සාහිත්‍යසුරී බෙල්ලන ඤාණවිමල මහ නාහිමි, ගල්කිස්සේ බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සී නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන මාහිමි, සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ, කොළඹ විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධර්මකීර්ති ශ්‍රී අකුරටියේ නන්ද නාහිමි කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති මහාචාර්ය කන්දෙගොඩ විමල ධම්ම හිමි, කඩවත රන්මුතුගල මහා විහාරාධිපති සීලගම විමල නාහිමි, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ තිරිකුණාමලයේ ආනන්ද අනුනාහිමි, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ජගත් සුමතිපාල මහතා සභාපති, සමස්ත ලංකා ‍ෙබෟද්ධ මහා සම්මේලනය ඕල්කට් ගුණසේකර මහතා සභාපති, ධර්ම විජය පදනම, සුමේධ අමරසිංහ මහතා සභාපති, කොළඹ තරුණ බෞද්ධ සංගමය, එස්.පී. වීරසේකර මහතා සභාපති, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය, උපතිස්ස කරුණාරත්න මහතා සභාපති, ශාසන සේවක සමිතිය, සී.එම්. ප්‍රනාන්දු මහත්මිය සභාපතිනි, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනය වසන්ත ද සිල්වා මහතා සභාපති, මහාබෝධි සංගමය, වසන්ති සෙනරත් මෙනවිය ලේකම්, ජයගහණය ශ්‍රී ලංකා සංවිධානය, වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය සභාපතිනිය, රාජ්‍ය සේවා බෞද්ධ සංගමය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මහා සංඝරත්නය, රජය හා මහා ජනතාව විසින් එකමුතු ව මෙහෙයවනු ලබන වැඩ සැලැස්ම

01. ප්‍රවේශය

01. සම්බුද්ධ ශාසනයේ ප්‍රායෝගික වූ ක්‍රියාකාරීත්වය සඳහාත් එයින් ශාසනයේ අනාගත ආරක්‍ෂාව සලසා ලනු සඳහාත් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ සදාචාරාත්මක ප්‍රතිසංවර්ධනය සඳහාත් සිංහල - බෞද්ධ සංස්කෘතික අනන්‍යතාව ආරක්‍ෂා කරගනු සඳහාත් 2011 වසරෙහි දී උදා වන බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 2600 සැමරීමේ සම්බුද්ධත්ව ජයන්තිය උපයෝගී කරගත යුතු යැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය මහා සංඝ රත්නයටත් රජයටත් මහජනතාවටත් අවධාරණය කරයි.

02. ඒ සඳහා වූ තෙ වසරක ආරම්භක වැඩ සැලැස්මක් තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා ගේ නිර්දේශයෙන් මහා සංඝරත්නය, රජය හා මහජනතාව ඒකාබද්ධ ව ක්‍රියාත්මක කළ යුතු බව මෙම කාර්ය සාධක මණ්ඩලයේ අදහසයි.

03.2500 බුද්ධ ජයන්තිය මේ සඳහා අගනා පූර්වාදර්ශයක් සපයයි. 2500 බුද්ධජයන්තිය වෙනුවෙන් පේවීම ආරම්භ වූයේ 1944 වැන්නෙහි ය. 1955 එය ඉහළට ම නැංවිණ. 1944 වර්ෂයෙහි ලංකාවේ ජනගහණය 62, 76, 000 කි. පොලිස් වාර්තා අනුව ඒ වසරේ අපරාධ සංඛ්‍යාව 34, 623 කි. 1955 වන විට ජනගහණය 85, 89, 000 ට නැග තිබිණි. ජනගහණ වර්ධයත් සමඟ අපරාධ සංඛ්‍යාව ඉහළ නොගියේ ය. එය ඒ වසරෙහි 18, 163 දක්වා පහළට බැස්සේ ය. 1944 මිනීමැරුම් සංඛ්‍යාව 617 කි. 1955 වන විට එය 466 දක්වා අඩු විය. ආගමික පුනරුදයක් ඇති කිරීමෙන් ලක්දිව සමාජයෙහි අපරාධ මර්දනයත් සදාචාර වර්ධනයත් හොඳින් කළ හැකි බවට මෙයින් මැනැවින් පැහැදිලි වේ.

04. බුද්ධ පරිනිර්වාණයෙන් සලකා ගැනුණු 2500 හා 2550 බුද්ධ ජයන්ති සමරු මෙන් නොව, මෙය බුදුරජාණන් වහන්සේ ගේ සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් පිරීමේ සැමරුම වන හොඳින් වත්මන් සමාජ සදාචාර පරිහානිය වළකාගැනීම සඳහාත් සමාජීය සදාචාරාත්මක අභිවර්ධනයක් සලසාගනු සඳහාත් මෙයින් ප්‍රබල මෙහෙයුමක් ඇති කරගත හැකි ය.

05. මේ කියන සැලැස්ම 2552/2008 වෙසක් පුනු පෝදා සිට ක්‍රියාත්මක කළ යුතු ය. මහා සංඝරත්නයේ රජයේත් මහාජනතාවගේත් එක් බඳු වූ පේවීම අත්‍යන්තයෙන් ම ඒ සඳහා වැදගත් වේ.

02. සැලැසුම්කරණය

01. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සඳහා සැලැසුම් සහගත වැඩ පිළිවෙළක් සකස් කරගත යුතු ය. ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ද පෞද්ගලික හා පොදු වශයෙන් ද ඒවා සැලැසුම් කළ යුතු ය. බුද්ධ ධර්මයෙන් බලාපොරොත්තු වන පරිදි මිනිසා හැදීමේ වැඩ පිළිවෙළක් සඳහා මෙයින් ප්‍රමුඛත්වය ලැබිය යුතු ය.

02. රජයේත් රාජ්‍ය ආයතනවලත් පෞද්ගලික ආයතනවලත් මනා සම්බන්ධීකරණය හා මහා සංඝරත්නයේ අනුශාසනා යටතේ මෙම ජයන්ති වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂ ප්‍රයත්න දැරිය යුතු ය.

ඒ සඳහා ජනාධිපතිතුමාගේ පුරෝගාමීත්වයෙන් සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතු ය. ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම්වරයකු පත් කිරීම වැදගත් වේ.

03.තවද ගරුතර මහාසංඝරත්නය හා ශ්‍රද්ධාසම්පන්න ගිහි බෞද්ධ නායකයන්ගෙන් සමන්විත වූ 15 දෙනකුට නොවැඩි වූ මෙහෙයුම් කමිටුවක් තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ගේ උපදෙස් පරිදි දේශපාලනීකරණයෙන් තොර ව, ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු ය.

03. ක්‍රියාදාමය

01. දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙන ආගමික නව ජීවනයක් උදා කළ යුතු ය. මහාජනතාව තුළ ශ්‍රද්ධාවත් ශීලයත් පරිත්‍යාගයත් ප්‍රඥාවත් දියුණු වන ආකාරයෙන් ගිහිපැවිදි සබඳතා යථායෝග්‍ය පරිදි තහවුරු කළ යුතු ය. භික්‍ෂූන් වහන්සේලා මේ සඳහා මූලිකත්වය ගත යුතු ය.

02. භික්‍ෂු අධ්‍යාපනය තුළ ශාසනානුලෝමී වූ ප්‍රතිසංස්කරණ ඇති වන අයුරින් ප්‍රතිසංවර්ධන කළ යුතු ය. ඊට අවශ්‍ය පහසුකම් සැලැසිය යුතු ය.

03. ප්‍රත්‍යය පහසුකම් අඩු විහාරස්ථාන සොයා බලා අවශ්‍ය පහසුකම් සැලැසිය යුතු ය. ගොඩනැගිලි නඩත්තු කිරීම, දහම් පාසල් උපකරණ ආදිය ලබා දීම ආදිය සඳහා රජයේ ද පෞද්ගලික ආයතනවලද, අවධානය යොමු කරවිය යුතු ය.

04. සෑම නිවසක ම පන්සිල් සුරැකෙන ආගමික පරිසරය දියුණු කිරීම මෙන් ම දිනපතා බුදුන් වඳින ආගමික වේලාව දියුණු කොට පැවැත්විය යුතු ය.

05. හැම පුනු පොහෝ දිනෙක ම විහාරස්ථාවල සීල සමාදානාදී ආගමික වැඩ සටහන් දියුණු කොට ඊට මහජනතාවගේ වැඩි සහභාගීත්වයක් ඇති කළ යුතු ය. ප්‍රාදේශික ශාසනාරක්‍ෂක මණ්ඩල, ප්‍රාදේශික ලේකම් කාර්යාල මගින් මේ සඳහා පූර්ණ අනුග්‍රහ ලබාදිය යුතු ය.

06. පෝය දිනයන්හි රජයත් සෙසු ආයතනත් ආගමික භාවයෙන් තොර වූ උත්සව පැවැත්වීමෙන් වැළැකිය යුතු ය.

7. පෝය දිනයන්හිත් ඉරිදා උදේ වරුවෙහිත් පෞද්ගලික උපකාර පන්ති පැවැත්වීම නීතියෙන් නතර කරවිය යුතු ය.

08. පාසල් අධ්‍යාපනය තුළ සිසු විනය වැඩෙන අයුරින් ආගමික ක්‍රියාකාරම් වැඩි දියුණු කළ යුතු ය. ඒ සඳහා සියලු ගුරුවරුන් දැනුවත් කිරීම ද බුද්ධ ධර්ම විෂය උගන්වන ගුරුවරුන් සඳහා පුහුණු වැඩමුළු ද ආරම්භ කළ යුතු ය.

09. දහම් පාසල් අධ්‍යාපනය සඳහා වැඩි වටිනාකමක් මෙන් ම පුළුල් ඇගැයීමක් ද ඇති කළ යුතු ය. දහම් පාසල් හා දිනපතා පාසල් අතර දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති වන පරිදි විෂය නිර්දේශ ආදිය සකස් කළ යුතු ය.

10. බුද්ධශාසන පනත හා නිකාය කතිකාවත් පනත සම්මත කරවා ගැනීමට ඉක්මන් පියවර ගත යුතු ය.

11. මද්‍යසාර හා දුම්වැටි අධිකාරි පනත සක්‍රීයව පවත්වාගෙන යෑමට විධිවිධාන සැලැසිය යුතු ය. ඒ පිළිබඳ පසුවිපරම් වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය ය.

12. බෞද්ධයන් වෙනත් ලබිධිවලට හරවා ගැනීමේ ක්‍රියාදාමය වළකාලීම සඳහා නෛතික ආවරණ තහවුරු කළ යුතු ය. බුද්ධ ධර්මයටත් බෞද්ධ සංස්කෘතික ක්‍රියාදාමයන්ටත් එරෙහි ව නැඟෙන සියලු බලවේග දුර්වල කළ යුතු ය. බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා ප්‍රාදේශික මට්ටමෙන් සුදුසු වැඩ පිළිවෙළවල් සකස් කළ යුතු ය.

13. 2002 වසරේ නිකුත් කළ බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරවීමට මූලික අවධානයක් යොමු කරවිය යුතු ය.

14.2550 බුද්ධ ජයන්ති යෝජනා සමාලෝචනය කොට, ක්‍රියාත්මක නො වූ යෝජනා ක්‍රියාත්මක කරවීමට මෙහෙයුම් කළ යුතු ය.

15. ආයතනගතව ආගමානුකූල පරිසරයක් ඇති කිරීමටත් පුද්ගලයන් තුළ චරිත හා ආකල්ප සංවර්ධනයක් ඇති වන අයුරින් සන්තානගත දියුණුවක් ඇති කරවීමටත් සියලු රාජ්‍යායතන හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් පියවර ගත යුතු ය. ඒ සඳහා අධීක්‍ෂණ හා පසු විපරම් කිරීම් අත්‍යවශ්‍ය ය. එසේ ම ඊට අදාළ වන ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගැනීම අවශ්‍ය ය.

16.සම්බුද්ධත්ව ජයන්ති වැඩ සටහන සඳහා සියලු ජනමාධ්‍යවල පූර්ණ අනුග්‍රහය ලබාගත යුතු ය. මේ වෙනුවෙන් ප්‍රබල මෙහෙවරක් කළ හැක්කේ ජනමාධ්‍යවලට ය. සමාජයේ සදාචාරාත්මක අභිවර්ධනයන්ට රුකුල් ලැබෙන අයුරින් මාධ්‍ය හැසිරවීම, නව වැඩ සටහන් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. දිනපතා ම මේ පිළිබඳ වූ ප්‍රචාරණයක් විද්‍යුත් හා මුද්‍රිත හැම මාධ්‍යයක මඟින් ම කළ යුතු ය. “2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු” යන උද්‍යෝග පාඨය නිතර මහාජනතාවගේ අවධානයට ලක් කරවිය යුතු ය.

17. සම්බුද්ධත්ව ජයන්තිය සැමැරීම සඳහා අන්තර්ජාතික බෞද්ධ ප්‍රජාව අතර ද උද්‍යෝගයක් ඇති කරවිය යුතු ය.

18. 2550 බුද්ධ ජයන්ති වැඩ සටහනේ දී යෝජිත වූ ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉඩමක් පවරා ගැනීම අගය කරන අතර ම එම ස්ථානය අදියර කීපයක් යටතේ දියුණු කොට 2011 උදාවන 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේ ස්මාරකය වශයෙන් පූර්ණ බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු ය.

19. ලෝක බෞද්ධයන් ද සහභාගි කරවාගත හැකි වන පරිදි, 2600 සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ උත්සවය දඹදිව බුද්ධගයා ශුද්ධ භූමියෙහි පැවැත්වීමට ඉන්දීය රජය හා ඒකාබද්ධ ව සංවිධාන කළ යුතු ය. ලෝක බෞද්ධ සමඟිය ගොඩනංවා ගැනීමටත් ආගමික, ආර්ථික, සාමාජීය හා සදාචාරාත්මක අංශයන්ගෙන් බෞද්ධයන් මුහුණ පාන ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ඒවා සඳහා විසඳුම් සොයා ගැනීමටත් පොදුවේ බොදු පිළිවෙත සාමූහික ජීවිත ප්‍රත්‍යක්‍ෂයක් කර ගැනීම පිළිබඳවත් මෙය මහඟු අවස්ථාවක් වනු ඇත.

20. 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට 2008 වෙසක් පුන් පොහෝ දා සිට ආරම්භ කරනු ලබන මානව සංවර්ධන ක්‍රියාදාමය හෙවත් මිනිසා හැදීමේ වැඩ පිළිවෙළ 2011 පසුව ද ඉදිරියට පවත්වාගෙන යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.