Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව වෙසක් පින්කම්

දඹදිව මහබෝධි සමාගමේ වෙසක් පින්කම් මාලාව මැයි 18 සහ 19, 20 දිනයන්හි දී සිදු කැරේ.

මෙවර වෙසක් උත්සවය ඉතා උසස් අන්දමින් දඹදිව කල්කටාවේ ධර්මරාජික මහා විහාරය, බුද්ධගයාවේ ජය ශ්‍රී මහබෝධි මහා විහාරය, සාරානාත් හි මූලගන්ධකුටි මහා විහාරය, ලුම්බිණියේ විශ්ව ශාන්ති මහාමායා විහාරය, දිල්ලියේ බුද්ධ මහා විහාරය, ඔරිස්සාවේ කාලිංග බුද්ධ විහාරය ඇතුළු විහාරස්ථානයන්හි ඉන්දියානු මහාබෝධි සමාගමේ මහලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි පැවැත්වේ.

ඒ අනුව ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වන කල්කටාවේ ධර්මරාජික විහාරයේ දී එම මධ්‍යස්ථානාධිපති ගින්නලියේ පඤ්ඤාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් 18 වන දින 2552 වන බුද්ධ ජයන්තිය නිමිත්තෙන් එදින පුරා විපස්සනා භාවනා වැඩසටහන සහ ධර්ම සාකච්ඡා මණ්ඩපය සවස බෝධිපූජා පින්කම සහ පිරිත් දේශනාව පවත්වනු ලැබේ. වෙසක් පෝය දිනය දා එදින උදෑසන අෂ්ඨාංග ශීල සමාදානයෙන් ආරම්භ වන අතර ධර්ම දේශනා භාවනා වැඩසටහන බුද්ධ පූජාව සාංඝික දානමය පින්කම සර්වඥධාතු ප්‍රදර්ශනය සහ විවිධ ආගමික වැඩසටහන් වලින් සමන්විත වන අතර එදින විශේෂත්වය වනුයේ ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ මූලිකත්වයෙන් කල්කටාව පුරා බෞද්ධ සමිති සමාගම් 42 එකමුතුවෙන් වාර්ෂිකව වීථි සංචාරය කරනු ලබන බෞද්ධ සංස්කෘතික වෙසක් පෙරහරයි. මෙම පෙරහර අවසානයේදී මහා සංස්කෘතික සංදර්ශනය දේශීය විදේශීය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. 20 වනදින කල්කටාවේ ප්‍රධාන රෝහල් කීපයක රෝගීන් සඳහා ආහාර පැකට් බෙදාදීමද මෙම උත්සවයට සමගාමීව සිදුවේ.

බුද්ධගයා මධ්‍යස්ථානයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 18 සහ 19 යන දිනයන් හි ඉන්දියානු මහාබෝධි සමාගමේ උප ලේකම් සහ බුද්ධ ගයා මධ්‍යස්ථානාධිපති පැළැන්වත්තේ සීවලි හිමියන්ගේ මූලිකත්වයෙන් විජය ශ්‍රී ජයශ්‍රී මහබෝධි වහන්සේ අභියස දී එදින පෙරවරු 6 ට අෂ්ඨාංග ශීල සමාදානය බුද්ධ පූජා පින්කම ආරම්භ වන අතර එදින පුරා ධර්ම දේශනා භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා ඇතුලත් වේ. විශේෂයෙන් මෙම පින්කම් මාලාව සඳහා පාසල් ළමුන් හා ඉන්දීය ශ්‍රී ලංකා ටිබෙට් පින්වතුන්ගේ් සහභාගිත්වය සුවිශේෂ වේ. දවල් සංඝගත දක්ෂිණාවකි. සවස 6ට ජය ශ්‍රී මහ බෝධිය අභියස දී බෝධි පූජා පින්කම සිදුවන අතර එය අවසානයේදී ශ්‍රී ලංකා ඉන්දියා සහයෝගිතා සංස්කෘතික සංදර්ශනය ශ්‍රී ලංකා සහ ඉන්දියානු සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සිදුවේ.

ඉන්දියා මහාබෝධි සමාගමේ සාරානාත් මධ්‍යස්ථානය වන බරණැස ඉසිපතනාරාමයේ මූලගන්ධිකුටි විහාරයේදී එම මධ්‍යස්ථානාධිපති ඉන්දීය මහාබෝධි සමාගමේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන්ගේ මූලිකත්වයෙන් වෙසක් පොහෝ දින උදෑසන 6 ට අෂ්ඨාංග ශීල සමාදානය සහ උදෑසන බුද්ධපූජා පිංකම සිදු කරන අතර පෙරවරු 9 සිට 11 දක්වා ධර්ම සභාව පැවැත්වේ.

ඉන්දියාවේ ප්‍රධාන අගනගරය වන නව දිල්ලියේදී මෙවර වෙසක් උත්සවය ඉතා උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානාධිපති අපරැක්කේ දීපානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී බුද්ධ විහාරයේදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා ඇතුලු ශ්‍රී ලාංකික සහ ඉන්දීය බෞද්ධ පිංවතුන්ගේ සහභාගිත්වයෙන් සිදුවන මෙම පිංකම් උදෑසන අෂ්ඨාංග ශීල සමාදානයෙන් ආරම්භ වන අතර උදෑසන බුද්ධ පූජාව සහ හීල දානය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබයි.

එදින දහවල සඟසතු දානය පිරිනැමීම සහ එදින පුරා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා භාවනා වැඩසටහන් සංවිධානය කර ඇති අතර රාත්‍රී බෝධිපූජා පින්කම සිදුකෙරේ.

නේපාලයේ ලුම්බිණි මධ්‍යස්ථානාධිපති කිරිගල්වැව වනරතන හිමියන්ගේ් මූලිකත්වයෙන් මහාමායා විශ්ව ශාන්ති බුද්ධ විහාරයේදී ද වෙසක් පොහෝ දින ධර්මදේශනා භාවනා වැඩසටහන් ආලෝක පූජා සහ බෝධි පූජා පින්කම් ඇතුළු ආගමික වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත. එමෙන්ම ඉන්දියානු මහබෝධි සමාගමේ ඔරිස්සා මධ්‍යස්ථානය වන කාලිංග බුද්ධ විහාරයේදී එම මධ්‍යස්ථානාධිපති ගස්පේ සද්ධාතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන් විශේෂ වෙසක් පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.